කඩුල්ලට අවුරුදු පහයි.


DSC08041

කඩුල්ලට අවුරුදු පහයි.

කඩුල්ල වියමන් කරන්න පටන්ගත්තේ 2008 දෙසැම්බර් මාසේ. සිරිපාද සමය පටන් ගත්ත උදුවප්  පෝය දවසේ තමයි සිරිපාදේ යන්න ඇරවුම් කරගෙන කඩුල්ල විවර වුනේ.  2009,2010 සහ 2011 වසර තුනේ කඩුල්ලට ලංකාව පුරා ඇවිදින්න වරම් ලැබිලා තිබුනා. ඉතින් ඒ වාර්තා තමයි කඩුල්ලත් කියවන සහෘදයෝත් වැඩිපුර  අගේ කරමින්  ලිව්වෙත් කියෙවුවෙත්.

ඊයේ   සිරිපාදේ යන්න ලෑස්ති කරගෙන  වියමනක් කරන්න හිටියත්  ඒ අඩුම කුඩුම ටික බැන්ද පොදිය ලිහා ගන්න විවේකයක් ලැබුනේ නැහැ. සිදුහත් කුමාරයට වගේ කඩුල්ලටත් 2011 දෙසැම්බර් මාසේ 29දා උපන්න රාහුලයෙක් ඉන්නවා. එයා සීයාට කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. සීයත් එයාටම කාලය ඇරලා ගොළු වෙලා !.මේ අතරේ ඊයේ විචාරක ලියන අසමි බලමි සොයමි අඩවියට ඔළුව දැම්මා. දෙයියනේ අපි දෙන්නටම වෙලා තියෙන්නේ සමාන උදැල්ල වැටීම් වුනත් විචාරකට මුණුපුරු – සියෝ කරදරය නැති නිසා කඩුල්ලට වඩා දශම දහයක් විතර නිදහස් කියලා කඩුල්ල හිතුවා.     මෙතැනින් ගොස් විචාරක හමුවන්න

බිරින්දෑයි මගේ බිරින්දෑගෙයි නීතිරීතිවල වෙනසක් නැහැ. මමයි විචාරකයි  බිරින්දෑන්ට දක්වන ප්‍රතිචාර වලත් වෙනසක් නැහැ. සමානයි.  බලනකොට අපි කවුරුත් යටත්වු පුරවැසියෝ .

2008  ඉදන් බලන කොට අවුරුදු පහක් වයස කඩුල්ල පුංචි ලමයෙක් නම් ලබන ජනවාරියේ පළවන වසරට ඇතුල් කරන්න පුළුවන්. ඒත් අල්ලපු වැටේ තියෙන ස්කෝලෙට ඇතුල් කරන්න වුනත් ඉල්ලන ලියුම් කන්දරාවයි ස්කෝලෙට දෙන්න වෙන ගානයි හිතලා.  කඩුල්ල  ළමයෙක් නොවුන එක නම් හොදයි කියලා හිතුනා.

ජීවන වියදම අහස උසට ගිහිල්ලා පරිප්පු සීනී ටික ගන්න සල්ලි ඉතිරිවෙන්නෙත් නෑ කියන උදවියගේ ගෙවල් වල  හතර දෙනෙක් ඉන්නවා නම් හතරදෙනාටම මොබයිල් පෝන් හතරක් තියෙනවා. ලෑන්ඩ් පෝන් එකක් තියෙනනවා. ටෙලිවිෂනයට පියෝ ටීවී හරි ඩයලොග් හරි සම්බන්‍ධතාවයක් තියෙනවා. මාසේ පඩිය අතට අරගෙන විදුලි බිලයි වතුර බිලයි අර භාණ්ඩ ටිකට බදු ගාස්තුයි  වෙන් කරලා ගෙදරට ඔනී අනිත්  බඩු ලිස්ට් එකක ලියාගෙන ෂොපින් යනවා. එකේ උඩින්ම තියන්නේ ෂැම්පු, කන්ඩිසනර්, බොඩි ලෝෂන්, බාත් සෝල්ට්. වොෂින් පවුඩර්, ටයිල් ක්ලීනර්,ටොයිලට් ක්ලීනර් ග්ලාස් ක්ලීනර්………………………………………වගේ  භාණ්ඩ ටික අරගෙන ගිහින් තමයි දියළුනු ටික ගන්න හිතන්නේ . ලිස්ට් එකේ පිලිවෙලින් බඩු ටික අරගෙන නිසා අන්තිමට ගෙදර යන්නේ ළුනුත් නැතිව . අපි ඉස්සර සන්ලයිට් කෑල්ල අරගෙන නාන්න ගියාම රෙදිත් සෝද ගෙන ඒකම ඇගේ ගාලා නාලත් එනවා. තාමත් කොණ්ඩේ එහෙමමයි .කෙස් ගිහිල්ලා  තට්ටේ පෑදිලා නැහැ. අපේ ජීවන රටාව වෙනස් වෙලා ඔක්කොටම මුල ඒකයි. අපි සරල නැහැ. ජීවන පැවත්ම සංකීර්ණයි.

එන අවුරුද්ද කඩුල්ල හයවෙනි වසරට යන්න හදන්නේ Word press එක්ක  Bloggers  එක්ක අත්වැල් බැදගෙන.  කඩුල්ලේ පලවන සෑම වියමනක්ම http://www.miduma.blogspot.com/ හි පලකරනවා. බ්ලොග් දෙකක් වියමන් කිරීමට කාලය හරස්  වෙලා. අවිවේකය එක හේතුවක්.ඒ ගැන හිත හිතා ඉන්න කොට  විචාරක අනුගමනය කිරීම පලදායි කියලා හිතුනා.

2004 වසරේ අළුතෙන් හිතන්න පටන් ගන්නවා. මුණුපුරා සීයට නිදහස දෙයි. මුනුපුරාත් තව අවුරුද්දකින්  මුහුකුරා වැඩෙන කොට !

4 thoughts on “කඩුල්ලට අවුරුදු පහයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න