යහපාලනේ ඇක්ටිව් වෙලා .


donkey

මේ සිංහල අවුරුදු සමයයි. පාරිභෝගිකයන්ට වගේම විවිධාකාරවු ව්‍යාපාරිකයනටත් කාර්ය බහුලයි . ඒ අතරේ ආණ්ඩුවේ නිළධාරි ගොල්ලන් පාරිභෝගිකයෝ ආරක්‍ෂා කරන්න වීදී බැහැලා.ඒ අයත් කාර්යක්‍ෂම වැටලීම් කරනවා. විවිධ පරමාර්ථ තියාගෙන.ඒවා විශ්ලේෂණය කරගන්න අමාරුයි.

පුංචි පහේ සංචාරක ව්‍යාපාරිකයෙක් හමුවුනා. එයාගේ කතාවෙන් ව්‍යාපාරික දුක්ගැනවිල්ල සටහන් කරන්න පටන් ගන්නම්.

ගමේ වෙළද සැල්වලට පාරිභෝගික භාණ්ඩ අළවි කරන එකයි එයාගේ රාජකාරිය. එයාගේ මිම්මට මේ පාර අවුරුදු සේල් එක ගිය අවුරුද්දෙන් දෙකෙන් පංගුවකුත් නැහැ. එයාගේ කතාවේ  මගේ අවධානයට යොමු වුන එක් කරුනක් තිබුනා. රතිඥ්ඥා අළවිය පිළිබදව  එයා කියාපු ගැටළුවක් ගැන.පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අළවි කිරීමට බලපත්‍රයක් ගන්න ඕනී.එයයි නීතිය . මේ බලපත්‍රයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත්කරන්නේ තවත් අදාල ආයතන කිහිපයක නිර්දේශ ලැබුනහමයි.මේ නිර්දේශ සම්පුර්න කරගෙන ගියත් තම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේදී – ව්‍යාපාර ස්වභාවය වශයෙන් රතිඤ්ඤා වැනි පුපුරන ද්‍රව්‍ය අළවි කිරීම සදහා ඉල්ලුම් කර නොතිබුනොත් ප්‍ර.ලේ අළවි හෝ ගබඩා කර ගැණීම සදහා බලපත්‍රයක් නිකුත් කරන්නේ නැහැ.

මම හිතනා අන්දමට සිල්ලර තුනපහ විකුණන ආයාතනයක්, රෙදිපිළි විකුණන ආයතනයක් හෝ විසිතුරු තෑගි භාණ්ඩ විකුණන ආයාතනයක් හෝ සුපර් මාකට් එකක ව්‍යාපාර ලියාපදිංචියේදී තමන් අළවි කරන භාණ්ඩ වල ලැයිස්තුවක් ව්‍යාපාර ස්වභාවය යන තීරුව යටතේ  රතිඤ්ඤා වැනි පුපුරණ ද්‍රව්‍ය අළවි කරන්න  විශේෂ සදහනක් කරන්නේ නැහැ.පුපුරන ද්‍රව්‍ය පාලනය කරන පොලිසීය මේ නීතිය ගැන මේ දවස් වල විමසිල්ලෙන් . ඉතින් මේ දවස් වල මාර්ග නීති කඩකරන්නන් සෙයන්නා වගේ පොලිසිය පුංචි පුංචි සංචාරක ව්‍යාපාරිකයන්ගේ බට්ටෝ ලොරි වලටත් එබිලා කරන්න  රාජකාරියක් තියෙනවා.

පුංචි පහේ ව්‍යාපාරිකයන්ට අපල කාලයක් උදාවෙලා තියෙන්නේ. යහපාලනය කියන්නේ අකුරටම නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්. බදු නියමිත පරිදි නොගෙවන අය වටලා නිසි පරිදි බදු අයකරගැණිම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකීමයි. බදු ගෙවන්නන් ගේ අඩුවක් තියෙන නිසා ගෙයින් ගෙට තියෙන පුංචි පුංචි ව්‍යාපාරික ස්ථාන පවා මේ දැළට අහුවෙනවා.මේ නිසා නිසි පිරිවැටුමක් නැති පුංචි ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර පවා අත්හැරලා දානවා. මම නම් හිතන්නේ තියෙන නීතී රාමුවට අනුගත වෙලා සුළු ලාභයක් සොයාගන්නත් මේ අයට හරිම අපහසු ඇති.

අවුරුදු සමය මේ කී නොකී  නිළධාරින් ව්‍යාපාරික ස්ථාන වැටලීමට  යන තවත් පරමාර්ථත් තියෙන්න පුළුවන්. මගේ මිත්‍රයෙක්  මාර්තු අවසාන සතියේ සිට අද වනතෙක් ඔහුට මුණගැසුන රාජ්‍ය නිළදාරීන් කණ්ඩායම් ගැන කිව්වේ මෙහෙමයි.

“ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු නිළධාරින්ට පැමිණ වැට් බද්ද , ජාතිය ගොඩ නැගීමේ බද්ද සහ ආදයම් බද්ද පිළිබද කරන ලද පරීක්‍ෂන වලට උත්තර බදින්න සිද්ධවුනා. යාන්තම් ඒ රාජකාරි කටයුතු එවර කර ගත්තා විතරයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කණ්ඩායම අපිව වටකලා.” රට බීම බලපත්‍රයක් හිමි ඔහු දෙවෙනි දවස පටන් ගත්තේ සුරා බදු නිළදාරින්ගේ මාසික පරීක්‍ෂණයට මුහුණ දෙමින්.

මම හිතුවා මේ සතියට කරදර එවරයි කියලා .සේවක අර්ථ සාධක මුදල් ගෙවීම  නිසි පරිදි සිද්ධ වෙනවද බලන්න කම්කරු දෙපාර්තමේන්තුවත්  – සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින්  සේවා නියුක්තියන්ගේ අරමුදලට දායක මුදල් නිසි ලෙස ගෙවනවාද බලන්න බදාදා දවසේ පරීක්‍ෂණ පටන් ගත්තා.ඒ  අතරේ පාරිභෝගික ආරක්‍ෂක කා ර්යංශයත් ඔවුන්ගේ නීතී රේගුලාසි කඩ කරනවද  බැළුවා.

සංචාරක නිවහනක් වු ඔහුගේ ව්‍යාපාරයට  වනජීවි නිලධාරින් දඩ මස් හොයන්න  පැමිණියා.මේ අතරේ ඩෙංගු මදුරුවෝ ඉන්නවද බලන්න පරිසර පොලිසිය ආවා. මේ ඔක්කොම සනස්වන්න අකුරටම වැඩකරන ව්‍යාපාරිකුයෙකුට නම් පුළුවන් වේව්. එහෙම කලත් පුංචි පුංචි වැරදීම් වන   අවස්ථාත් නැත්තෙත් නැහැ.ඒ වෙලාවට මේ නිළධාරින්ගේ යහපාලන නීතිය අනුව නම් සමාවක් නැහැ.

උඹ දන්නවානේ මේ හොටලේ වත්ත අක්කර දෙකක් විතර ඇති . හැමතැනම ඇවිදලා ඇවිත් ගස් බෙන දෙකක වතුර රැදිලා  . ඒ වයේ මදුරු කීටයෝ ඉන්නවා කියලා මාව උසාවි ගෙනියන්න හැදුවනේ !. මගේ මිත්‍රයාගේ කතාව අවසන් වුනා.ආයෙත් උත්සව සමයක එළිපත්තේ මේ ඔක්කොම එයි .ඔහු කිව්වා.

 

අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.


10150782_478975022231275_5289638506368388832_nමගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව අදුරේ සුසුමක්ව වැළපෙන බව  තවමත් තවමත් මට හැගෙන්නේය.

අපි කෙළි සෙල්ලම් කළ කෙළි බිම වර්තමානයේ දියුණුයයි කියා ගන්නා ක්‍රීඩා භුමියක් මෙන් නොවීය. වෙල්යායක් මැදින්  පොඩි අඩිපාරක  වංගු ගසමින් දිය කඩිති හරහා ඉදිවු පාලම් තරණය කරමින්  ( ලෑලි කෑලි ,කොට කෑලි) හැතැම්ම බාගයක් පමණ එක දිගට ධාවනය වන අපේ වාහන සකස් වී තිබුනේ බත් කන බෙලෙක් පිගන් වලින් හෝ හරහට අල්ලා ගන්නා පුංචි ලී කැබලි වලින්ය.

එදා අපේ කෙළිබිමවු මේ පාර කුඹල්ගම සිට , නැදුන්ගම .කිංචිගුනේ , කලවැල්පේ ,බිබිල, නෙල්ලිගස්තැන්න පසුකරමින්  වෙල්යාය තරණය කර   ප්‍රධාන පාරට එක්වුයේ වෙල්යායට ඉදිකර තිබු කඩුල්ල හරහාය.

කඩුල්ල අපේ රැස්වීම් ශාලාව විය. හවස් වන විට කඩුල්ල උඩ වාඩිවන අපි තරුන වියට ලංවන තුරුත් එක් එක් වයසට ගැලපෙන නොයෙක් මාදිලියේ වාද විවාද සාකච්ඡා කඩුල්ල මත සිට පැවත්විය. තීන්දු තීරණ ගත්තේය. හෙට කළ යුතු දේ මෙන්ම දැන් කල යුතුදේද තීරණය වුයේ මේ කඩුල්ල මතදීය.

අපෙන් හිස්වු කඩුල්ල කවදාවත් තනිවුයේ නැත. අපිට පසුව ආ මල්ලිලා ගෙන් අපේ අඩුව පිරවීය.(පසු කාලයක සමනල වැව ව්‍යාපෘතිය නිසා නැදුන්ගම .කිංචිගුනේ , කලවැල්පේ යන ගම් අහිමිවී මත් මංමාවත් ඉදිවීමත් නිසා  ගමන් මග කෙටිවිය. වෙල්යාය තැනින් තැන නිවාස ඇතිවීම නිසා අපේ රැස්වීම් ශාලාව සදහටම අපට අහිමිවී එය වෙනත් ස්ථානයක ස්ථාන ගතවිය. )

අවට ගම් වලින් පැමිණි සහෝදර සහොදරියන් පාසල අළුත් අළුත් මිත්‍ර සමාගම් ගොඩනගා ගැණීමට  ඉඩ කඩ ඇතිකර දුන්නේය. කුමක් හෝ හේතුවක් නිසා   කඩුල්ලේ කණ්ඩායම  මේ සමාගම් වල නායකත්වයට පත්විය. ළමා කාලය මෙසේ ගෙවීයනවිට වඩාත් සුදුසුයයි හිතනා නගරයේ පාසල්වලට විසිර ගිය මේ කණ්ඩායමේ සාමාජිකයෝ  සෑම විවේකයක් ලැබෙනා විටම කඩුල්ල මත රැස්විය.

වසරකට වරක් පැවත්වු අවුරුදු උත්සව, වෙසක් පොසොන් උත්සව ගමේ පන්සලේ ආගමික උත්සව, නොයෙක් ක්‍රීඩා උත්සව , නොකඩවා පවත්වමින් ඊලග පරම්පරාවට සාමුහිකත්වයේ ආදර්ශය දෙමින් වැඩිහිටියන් බවට පත්විය. කඩුල්ලේ කණ්ඩායම මැකීගියේ වඩාත් දියුණුවු සමාජ ක්‍රමයක් ස්ථාපනවන මින් දශක තුනක හතරකට පමණ පෙරදීය.  එතෙක්  අපේ කඩුල්ලේ කණ්ඩායමේ ක්‍රියා කරම් අයියලාගෙන්  මල්ලීලා අතට පත්ව දිගටම පැවතුනේය.

අයියලාගේ කඩුල්ලේ කණ්ඩායම වැඩිහිටියන් බවට පත්විය . නොයෙක් මාදිලියේ රැකියාවන් සදහා විසිර ගියේය. විවාහ විය.  දරුමල්ලන් ලැබීය.විවිධාකාර හැලහැප්පීම් මැද ඔවුන්ගේ ජීවිතය ගලා ගෙන ගියේය. දු දරුවන්ද ලොකු මහත්වී දරු මුණුමුණුපුරන්ද ලැබීය. මේ සියල්ල මැද්දේත් එදා මෙන්ම අප හමුවිය සාකච්ඡා කලේය .නොයෙක් ක්‍රියා කාරකම් කලේය.

අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.

මම ගොළු වු සිතින් අදුරේ අතපත ගාමින් සිටිමි. මම හැමදාමත් ඔබෙන් අහිමිවු අවකාශය මත සිට බටහිර අහසේ රතු සිත්තම් හාගල කදු යාය මතින් මැකීයනු දකිමි. ඒ සමග අපි  දුව පැන ඇවිද්ද වෙල්යාය අදුරේ ගිලෙන අයුරුත්  දකිමි. දිනක තවත් අය  , මා වෙනුවෙන් ද එසේම දකිණු ඇත.

එයයි ජීවිතයේ ස්වභාවය.

සරුංගලේ – වරල් සැලේ.


quote-if-the-people-have-no-bread-let-them-eat-cake-marie-antoinette-66-11-58

බොහෝ සරල දේවල් අතහැර අපේ ආණ්ඩුව ගැන ලිවීමට අදහස් කලේ රතන හාමුදුරුවන්ට සිදුවු මානසික අබග්ගයට අපත් මුහුන දෙමින් සිටින නිසායි. උන්වහන්සේ දෙරන රූපවාහිණියේ “ මොකද වුනේ ”වැඩ සටහනට සහභාගී වෙමින් මේ ආන්ඩුව අවුරුදු දෙකකට මොකක්ද කලේ යයි අපගෙන් විමසන ලදී. අපි කුමක් කියන්නද ? . උන්වහන්සේලාගේ ආණ්ඩුව ඇත්තෙන්ම මොකක්ද කලේ ?.

මහින්ද ඇතුළු නඩය එළවා දමා නව පාලනයක් පිහිටුවීමේ අභිලාෂයක් 2013 -2015 කාලයෙදී ජනතාව අතර මෝදු වෙමින් පැවතිනි. එය “නිතර දකින කුකුළාගේ කරමළය සුදුයි  වැනි සිතිවිල්ලක්  මෙන්ම මහින්ද නඩයේ බලහත්කාරී පාලන ක්‍රියා දාමයන්ට එරෙහිවු  ජනතා ප්‍රතිචාරයක් විය.රණිල්ට බලය ලබා දීමේ ප්‍රයත්නයට ගණන් හිලව් බලා මෛත්‍රී ඇමට යොදා කරන ලද ඒ වික්‍රමය සාර්ථක කරගත්තා මිස එතනින් එහාට යමක් හිතන්නට මහින්දට විරුද්ධව ඡන්දය භාවිතා කල අපට එදා නොහැකිවිය. අද රණිල් ගේ ආවේනික ක්‍රමයට  මෛත්‍රීගේ නොවැඩුනු රාජතාන්ත්‍රික භාවය යටවී රටට නොගැලපෙන පාලන ක්‍රමයක් ඉපදී නූල කැඩුන සරුංගලයක් මෙන්  රට ආයාලයේ පාවෙමින් යන අයුරු අපට දකින්නට ඇත.

අපි අද දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නට ප්‍රයත්න දරන පිරිසක් බවට පත්ව ඇත.මේ වෙනස 2015ට පෙර ගලපා බලන විට පෞද්ගලික මට්ටමෙන් දැඩි වේදනාකාරීය. සුළු ,මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයෝ මෙන්ම මහා පරිමාන ව්‍යාපාරිකයෝද තමන්ගේ ව්‍යාපාර මුදල් සංසරනය අවම වීමෙන් කඩාහැලෙන තත්වයකට පත්ව ඇතැයි මැසිවිලි නගන්නේය. ජනතාවගේ දෛණික ආදායම අඩුවීම සහ භාණ්ඩ මිළ කෘතිම ලෙස ඉහලයාමත්  මිළදී ගැණිමේ හැකියාව අඩුවීමත් වෙළදපල මුදල් සංසරණයට විශාල බලපෑමක් කර ඇත.ආර්ථිකය ගැන දැනමිත්තන්ගේ ප්‍රකාශයන් කියවන විට මේ තත්වය තවදුරටත් ඉහල යනු ඇතැයි බියක්  අපට ඇතිවන බව සටහන් කළයුතුය.

මා කියවු ලිපියක අපේ ආර්ථිකය හැසිරෙන ස්වභාවය විස්තර වෙන්නේ මෙලෙසින්ය.  ඉන්ධන මිළද පහල බැස ඇති විටත්  අපගේ ආනයන වියදම ඩොලර් බිලියන 20.5 කි. මෙයට සමානුපාතිකව අපගේ අපනයන වියදම ඩොලර් බිලියන 8.5 කි. මේ දෙක අතර වෙනස ඩොලර් බිලියන 12කි. මේ වෙනස රටකට නොව නිවසකට වුවද දරා ගත හැකිද ?

විදේශීය රටවල සේවය කරන අපේ ශ්‍රමිකයන් රැගෙන එන මුදල ඩොලර් බිලියන 6.2 කි.සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.2 කි. පුනාරවර්ථන වියදම ඩොලර් බිලියන .15 ක් සහ ප්‍රාග්ධන වියදම ඩොලර් බිලියන 4.2 ක් වෙද්දී රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 3.2 තෙක් පල්ලම් බැස ඇත. විදේශ සංචිත මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා පැමිණ තිබේ.

ස්වභාවික තත්වයන්ද රටට එරෙහිව කටයුතු කරමින් සිටීම කාගේ අභාග්‍යක්දැයි සිතිවිල්ලක් ඇතිවේ. මේ වසරේ කලට වැසි මෙන්ම කලට නියගයද පැමිණියේ නැත. අකලට වැසි වසින්නත් අකලට ආ නියගයත් කෘෂිකාර්මික කටයුතු අවුල් වියවුල් කලේය . මේ නිසා
සහල් ඇතුළු කෘෂිකර්ම ක්‌ෂේත්‍රයේ ආදායම සියයට තිහත් හතළිහත් අතර ප්‍රමාණයක අඩුවීමක්‌ සිදුවෙතැයි අපේක්‌ෂා කෙරේ.   පෙර දිනක අගමැති – ජනාධිපති යුගල 2018 මාර්තුවල ඇතිවිය හැකියයි අපේක්‍ෂිත ආහාර හිගයකට මුහුණදීමේ අවධානම පිලිබදව අදහස් පල කර තිබු බව මාධ්‍ය වාර්තා කර තිබිනි.

2014 වර්ෂයේ 4.5% ක්වු විරැකියාව 2017 වසරේදී 5.4% කි.

ආණ්ඩුව මේ අර්බුදය සදහා පිළියම් සොයන්නේ රාජ්‍ය දේපල විදේශීය ආයොජකයන් සතුකිරීමෙනි.චීන කොළණිය ප්‍රතික්‍ෂෙප කල අපි එදාට වඩා හොදින් කොළණිය වැළද ගන්නට සිදුව තිබේ.මත්තල වී ගබඩාවක් වු හෙයින් කටුනායක ප්‍රතිසංස්කරණය කරන තෙක් දවල්ට ගුවන් ගමන් නතර කරන්නට සිදුව තිබේ.

මේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා කරන ලදැයි කියන විප්ලවයේ ප්‍රතිපල නම් ජනතාවට ප්‍රති විප්ලවයක් කර පැරණි තැනට යලිත් යා යුතුයයි සිතන කාලය එළඹ ඇති බව කතා බහින් ඇසෙන්නකි.වර්තමානයේ බිහිව ඇති දේශපාලන පක්‍ෂවල ආරාජිකත්වය තවත් රට අවුල් කරන්නකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරය අතර පිල් දෙකකි. මින් ජනාධිපතිවරයා නිල නායකයා වන විට ජනතාවගේ නායකයා බවට හිටපු ජනාධිපතිවරයා බවට පත්ව ඇති බව නොරහසකි. වාමාංශික කණ්ඩායම් අතර ඇත්තේද බල අරගලයකි. ජනතාව අතර සක්‍රීය වාමාංශික ව්‍යාපාරයවු  ජවිපෙය ගිලන්වු සහ කණ්ඩායම් කිහිපයක් අතර බෙදී ගිය ආවේගයකි.ආගම් පදනම් කරගෙන , ජාතීන් පදනම් කරගෙන ද ඇතිවී ඇති බෙදීමද භයානකව පැතිරෙමින් පවතී.

රටකරවන පාලකයෝ අසීමාන්තික ලෙස වරප්‍රාසාද භුක්ති විදිමින් සිටී. සරල උදාහරණයක් ලෙස වාහන ගැන සිතමු. ජනතාව 15%ක් වු වැට් බද්දත් ජාතිය ගොඩ නැගීමේ බද්දත් සෑම පාරිභෝගික භාණ්ඩයකටම ගෙවද්දී   පාලකයෝ මිලියන හැට හැත්තෑවේ වාහන තමන්ගේ සුඛවිහරණය තකා ගෙන්වතී. ජනතාව පීඩාවට පත් කරන බදු ඉවත් කරන්නට නොහැකිව තිබියදී ඒවාට වියදම් කරන්න විදේශ මුදල් තිබේ.

නීරෝ වීණා වයති. ජනතාවට පාන් බැරිව සිටිති. පාලකයෝ කේක් කති.

මගේ


16473190_626293670895340_5393055313513397590_n

අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත්  සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්මයේ අනාගත පැවත්ම සංඝ සමාජයත් සමග බැදෙන්නේ නැහැ කියලා මට නැවත නැවතත් හිතුනා.

මේ මගේ කතාව සයිටම් ගැන නොවේ . වසර දෙදහස් පන්සිය පනහකටත් වැඩිය වයසට ගිය          අපේ රටේ  බෞද්ධකම ගැනයි.

මම පන්සල් නොයන බෞද්ධ ප්‍රතිපත්ති හැකිතාක් දුරට රකින පුරවැසියෙක්. පන්සලකට යතත් යන්නේ මට කරදරයක් නොවන  හාමුදුරුවරුන් ඉන්න පන්සල් වලට විතරයි. පන්සලක දායකයෙක් වෙලා ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. හිතේ කුසල් රැස් කර ගන්න පන්සල්ම යන්න ඕනී නැහැ කියලා මට හිතෙනවා. මම දවසක ලිව්ව  පන්සල – “පහන් – සලක්”  විය යුතුයි කියලා. ඒත් අපේ පන්සල් –  පහන්සල් ද ?.

පන්සල් යන දායක දායිකවෝ පන්සලේ හාමුදුරුවෝ මග ඇරලා පන්සලට ගිහින් එන්න තරම් සර්ධාවක් හිතේ ඇති කරගන්නවා. පන්සලේ හාමුදුරුවෝ දැක්කොත් වැඩ ගොඩයි. කවදාවත් නිමා නොවන පන්සලේ සංවර්ධණ ව්‍යාපෘති උපාසික උපාසිකාවන්ගේ චිත්ත සංතානය දෙදරවනවා. හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ ගිහියන්ට තියෙන කරදර කලබල . ඒ වයින් හිත සැහැල්ලු වෙන්න මල් පහන් පුදා බුදුන් වැද පන්සල් පරිසරයේ  ටික වෙලාවක් ගත කරන්න යන ගිහියන්  ආපසු පන්සලෙන් නික්මෙන්නේ තවත් හිතේ බරක් පුරවා ගෙන නම් ඒ පන්සල් ගමනෙන් වැඩක් තියෙනවද ?.

අපේ රටේ තාමත් කටුමැටි ගහලා පිදුරු හරි පොල් අතු වගේ තාවකාලික වහලක් යොදා නිවසක් හදාගන ඉන්න පවුල් කීයක් ඉන්නවද ?. එවැනි ගම්මාන පවා තියෙන්න පුළුවන්. එ වැනි ගම්මානයක පවා ඉදිකරගෙන තියෙන විහාරාධිපතීන් වැඩ වාසය කරන නිවාසවල සුඛොපභෝගීත්‍වය දෙස බලන කොට මේ ගොඩනැගිලි ඉදිවෙලා තියෙන්නේ ඒ අසරනවු දුක්පීඩා මැද ජීවත්වන ගම්වැසියන්ගේ රුපියලෙන් ශ්‍රමයෙන් වීම නිසාවෙන් සසර මේ තරම් නිසරුද කියලා හිතෙනවා.

අපේ ඇත්තෝ අතේ තියෙන හැටියට තමන්ගේ අපල උපල දුරු කර ගන්න බාර හාර වෙනවා. වදිනවා පුදනවා. තිරුපතිවලින් පටන් අරන් ගමේ නුගරුක යට වැඩ වසන දෙවියන් දක්වා යතිකා කරනවා. අපේ මිනිසුන්ගේ කාලය දියකරන බලවේග බවට පල්ලි කෝවිල් පන්සල් පත්වෙලා. ආගම් බේදයකින් තොරව මෙම පූජණිය ස්ථාන මුදල් උපයන ආර්ථික මධ්‍යස්ථාන බවට පත්වෙලා. රජය කරවන ඇත්තෝත් සත්භාවයෙන් එම කටයුත්තේ නියලෙන්නේ නැති නිසා දෙවියනට බියයි. ඒ  නිසා තාමත් මේ තැන් වලින් වැට් බදු , ආදායම් බදු ,ජාතිය ගොඩ නැගීමේ බද්ද අයකරන්නේ නැහැ. නැත්නම් බුලත් කොලේ පූජා වට්ටියේ තියෙන මුදලට තවත් 20% ක් විතර අමතරව මුදලක් පීඩාවෙන් යදින යදින්නන්ට සිදුවේවි.

දේව විශ්වාශය ශාන්තිකර්ම නානාප්‍රකාර පූජා විධි  ප්‍රවර් ධණය කරන්න සැදී පැහැදී ගත් ඇත්තෝ බොහෝමයි.එමගින් උපයන මිළ මුදල්ද බොහොමයි.පීඩා වෙන් වෙසෙන දනන් මුලා කර මුදල් උපයන මෙවැනි වෘත්තිකයන් ගැන දෙවියන් නොබලයි. ඒ දෙවියන් නොසිටින නිසාද ?.

කාලෙකට පස්සේ.


free-your-mind-blowing-screensavers_149597

නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට   වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන්න ඕණි මේ රාළලා ඒ වැඩේ නොකර  අපිට කොස් කොළ ක්‍රොටන් කොළ  කන්න    උපදෙස් දෙනවා.

“මුන් නම් රටත් පාලකයොත් කාලා අපිත්  කන්නම උපන් මිනිස්සු  !.

සෙනසුරුත් බටකොළ කෑවළු.

ඒ මේ ඇත්තන්ගේ උපදෙස් අරන් වෙන්න ඇති.

මේ සෙනසුරුගේ මොකක්ද තියෙන කාලේ කියනවානේ. ”

මහත්වරු  පිරිසක් බරපතල සාකච්ඡාවක.

ගැටෙන වීදුරුත් හැඩෙන හඩත්පැතිරෙන උස් හඩත්  මගේ අවධානය ඔවුන්ගේ කතා බහට නිකම්ම යොමු වුනා. උන්නැහේලාට පදම ඉක්මවා යා ගෙන යන්න ඇවිල්ලා වගෙයි මම හිතුවා.හෙමින් මුමුනමින් පටන් ගන්නා පිළිසදර මිලි ලීටර් 100…150….200….250…300 පහුවෙන කොට ටිකින් ටික වේගවත් වෙනවා. අවට ඉන්නේ කවුද කියන්නේ මොනවද මායිම් නැතිව වා තලය ගිණියම් වෙනවා.

අනුන්ගේ කතාවලට කන්දීම හොද පුරුද්දක් නොවුනත් ඇහෙන එක වලක්වා ගන්න මා ස්ථාන ගත වී සිටි  තැනට පුළුවන් කමක් නැහැ. වරින් වර මා ගැන සොයා බලන සේවක මහතා හැර මගේ මේසේ පාළුයි. මගේ තනියට කවුරුත් නැහැ.තනියට ඇහෙන කතා මම අහගෙන හිටියා.

සෙනසුරුට වැඩි ප්‍රතිචාරයක් නැතිව කතා අතීතයත් වර්තමානයත් අතර ගැටුමක්වු මාතෘකාවකට මාරුවුනා.

“ මචන් උඹට මතකද ?  අපේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු මුහන්දිරම් ?.

ඇයි බන් අමතක ?

ඌ  ලංකාවට ඇවිල්ලා ….

මම කතා කලා…. ඌ කියනවා මාව අදුරන්නේ නැහැ කියලා.

මචං වයස යනකොට කල්පනාව අඩුවෙනවා.

උබේ වයස කීයද ?

මට හැත්තෑ එකයිනේ බන්.

ඉතින් ඌටත් හැත්තෑ එකයි නේ බන් .

ඌ උබට හමුවුනේ අවුරුදු හතලිහකට විතර පස්සේනේ .ඉතින් ඌට උබව මතක නැතිවෙන්න ඇති.

වයසයි – මතකයයි අතර සම්බන්‍ධයක් තියෙනවානේ.

එනෙම් යකෝ මට මතක තියෙන්නේ ?”

 

මේසේ වටේ කතාව යනවා. එකට කා ගෙන බී ගෙන හිටපු යාළුව හදුනා නොගත් සිද්ධියට බරපතල විවේචනයක්.

හිතේ අමාරුවක් .

 

මේ කතා බහ අස්සේ මගේ මතකයට මින් වසර කිහිපයකට පෙර උන  ඔය වගේ නොවුනත් පුංචි අකරතැබ්බයක් මතක් වුනා. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා පොලොන්නරුවේ. මම මාතලේ මළ ගෙදරක ගියා. අවසන් කටයුතුත් අවසන් වෙලා එන්න සැලසුම් වෙලා තිබුන නිසා ඒ අතර දවසක විවේක කාලයක් තියෙනවා. ඒ දවස ප්‍රයෝජනයට අරගෙන කාලයකින් හමු නොවුන සහෝදරයා සොයා ගෙන මම පොලොන්නරුවට යනවා. සහෝදරයා එවකට සේවාගම විද්‍යාලයේ විදුහල්පතිවරයා.

මම දිවා කාලය නිසාවෙන්  එකවරම  නිවසට නොගිහින් විදුහලට යන විට විදුහල්පතිවරයා කලාප කාර්යාලයට ගිහින්.

නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හමුවු මම මා හදුන්වා දී ආ ගිය කතා කීවිට

මාව කාර්යාලයේ අසුන් ගැන්වු නියෝජ්‍ය විදුහල්පතිවරයා

“ සර් නම් නැහැ  – සර්ගේ දුව උසස් පෙල පන්තියේ ඉන්නවා . ඉන්න මම එන්න කියන්නම්.

දුව එනවා ..

නියෝජ්‍ය විදුහල්පතිවරයාත් ඉන්නවා.

හ්ම්…  මම අදුනන්නේ නැහැ ..දැරිවි  කියනවා.

මම දරුවා හදුනා ගන්නවා. ඒත් මේ දැරිවි මාව  හදුනාගන්නේ නැහැ . මම මෙහොතකට අසරන වෙනවා.

මගේ ජාතික  හැදුනුම් පත දැරිවියගේ අතට දික් කරන මම

“ මෙයාව හදුනනවාද ?”

අප්පේ …. මේ ………බාප්පානේ.

යාන්තම් විදුහල්පතිවරයා එනකම් මාව බේරෙනවා.

 

මේ කතා දෙක අතර සහසම්බන්‍ධයක් නැතිව ඇති.

 

කාලෙකින් හමුනොවුනාම මතකය වියකෙනවා. අපේ අවධානය තිබෙන මතකයන් පමනක් රැදිලා තියෙනවා. අවධානයෙන් ගිලිහෙන මතක රැදී තියෙන්නේ නැහැ. ධන සම්පත් පංති ස්ථරයන් අතරත්  සම්බන්‍ධතා ගිලිහි යනවා. මගේ සේවා දායකයාට උසස් පෙල මිත්‍රයා දැක්වු ප්‍රතිචාරයත් අතර එවැනි සාධකයක් තියෙන්න ඇති.

මගේ ව්‍යාපාරක මිත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ දුරකතනයේ ඇති ග්‍රාහක අංක දහසකට ආසන්නයි. ඔහුට කතා කල සැනින් හඩින් හදුනා ගන්නවා. තිරයේ දිස්වෙන නමින් තහවුරු කරගන්නා හඩට අනෙක් කෙළවර ආමන්ත්‍රනය කරනවා. අවුරුදු හතලිහක පමණ අතීත පාසල්වියේ මිතුරන් රෑනක් ඔහු වටා තාමත් ඉන්නවා. මම හිතන්නේ ඔහු      ධනයත් සමගම පිරිසත් රැස්කරගන්නවා  කියලා. සමහර උදවියට මේ අවශ්‍යතාවය නැහැ . ධනය සම්පත් ගොඩනගා ගත්තම ඇති. පිරිසක් ඕනී නැහැ. පිරිස කරදරයක්.

 

මළ පසු දුක් ගී ගයන්න  ගෙදර හතර පස් දෙනා විතරක් ඉතිරි වන මළ ගෙවල් වලට අපිට  ගොඩ නගින අවස්ථා ඇතිවෙනවා. ඒ  මෙවැනි හුදකලා වෙන්න කැමති  අයගේ කියන සිතිවිල්ල සමග මා අතරමං  වෙනවා.

 

 

පුංචි කෝච්චිය


15027936_1576444932380911_212266602245921101_nපුංචි කෝච්චිය මගේ මතකයට ආපුංචි කෝච්චිය දැකලා  නෙමෙයි.දැන් කාලේ  පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති උයනක සිගිත්තන්ගේ සෙල්ලම් කෝච්චියක කතාවක්. තියෙන පාර කොන්ක්‍රිට් කරගන්නවත් බැරිව දුෂ්කර ආර්ථිකයක හීන දකින අපිට  කෝච්චි පාරක් අළුතින් හදනවා කියන එකත්   ලොකු ම  ලොකු  හීනයක්.

ඕපනායක පොලිස් ස්ටේෂමේ තියෙනවා සංරක්‍ෂිත කරන ලද දුම්රිය මැදිරි වල බර කිරන තරාදියක් . මේ තරාදිය දැකපුවම ආයෙත් මට පුංචි කෝච්චිය මතක් වුනා කීවාම නිවරදියි. දැන් කාලේ ඕපනායක පොලිස් ස්ටේෂම පිහිටා තියෙන්නේ –  ඒ කාලේ පුංචි කෝච්චියේ අවසාන ගමනාන්තය වු ඕපනායක කෝච්චි ස්ටේෂමේ.  ඒ කාලේ  ඕපනායක ස්ටේෂමේ ප්‍රධානියා “ ස්ටේෂන් මහත්තයා” – අද කාලේ නම් “ ඉනිස්පැට්ටර් මහත්තයා ! .”

1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  ‘රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ “ජෝර්ජ් ස්ටීවන්සන්ට”  ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා.  සුද්දන්ගේ  හිරු නොබසින  යටත් විජිතයේ රටින් රට ඔවුන්ගේ ලාභාංශ තරකර ගැණිම පිණිස   සංවර්ධණ කටයුතු සිදුවිය. මෙම සංවර්ධනයේ අතුරු පලයක් ලෙස දකුණු අප්‍රිකාවේ  දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සුද්දො සැලසුම් කරනව.

14980695_1576445095714228_4770967279515930232_n

මෙම සැලසුම අනුව ලන්ඩනයේ සමාගමකට කිලෝ මිටර් 100  ක පමණ දුම්රිය මගක්  ඇතුළු දුම්රිය පද්ධතියක් සැදීම සදහා ඇනවුමක් ලැබෙනවා . මෙම ඇනවුම සම්පුර්ණ කර   දකුණු අප්‍රිකාවේ ස්ථාන ගත කරන්නට ගිය විට අප්‍රිකාණුවෝ   සහ එවකට සිටි යටත් විජිත ආණ්ඩුකාරයා එම දුම්රිය මග ස්ථාපනය කිරීමට විරුද්ධ වෙනවා. අප්‍රිකාණුවන්  බලාපොරොත්තුවු යේ  පුළුල් අමාන දුම්රිය ව්‍යාපෘතියක්.  එහෙත් ඔවුන්ට ලැබුනේ   පටු අමාන දුම්රිය ව්‍යාපෘතියක්.   කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.

1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි රේල්පාර හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා.  කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට ක්‍රියාශිලි මගී ගමනාගමන සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.

15055610_1576445159047555_4561508199023301651_n

1919 මැයි මාසේ 02 දා ඉදන් ඕපනායකට ආපු පුංචි කෝච්චිය 1997  පමණ වන විට අවට ගියාට එන ගමනක් වී  වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් සමග    ඕපනායක ඉදන් ආපසු කොළඹ ගියාට පස්සේ තාමත් ආපසු ආවේ නැහැ.

මම  පුංචි කෝච්චිය දකින්නේ පැල්මඩුල්ලේ ගන්කන්දේ ඉගනා ගන්නා කාලයේ.  ( එකල පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය )  සති අන්තයට ගෙදර යන එන අතර වාරයේ. තනියෙන් ගමනක් බිමනක් යන්න හිතේ  වාරු නැති ඒ වයසේ පුංචි කෝච්චියේ සවාරියක් යන්න හේතුවාසනා තිබුනේ නෑ. බස් එකේ යන එන අතර වාරේ හුණුවල ඉදලා ඕපනායක දක්වා මහා මාර්ගයට සමාන්තරව පිහිටලා තියෙන කොටසේ මම ගිය බස් එකත් එක්ක ( ඒ කාලේ බසුත් දැන් වගේ කගවේනා පිම්මේ ගියේ නෑ ) ඉබි ගමනේ තරගයක ගියා මට මතකයි. “දවස පත්‍රයේ සති අන්ත පත්‍රය වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙනවා. පසු කාලෙක මේ කවිය ඕපනායක කෝච්චියේ ගමන ගැන හොද උදාහරනයක් වුනා

15073569_1576444842380920_6446735138673641371_n

“පුංචි කෝච්චිය යයි හරි වේගෙන් – පැය හතරට එක හැතැම්මේ වේගෙන්

කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් – දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

 කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ – අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ – යකාට ගියදෙන් ටයිම් ටේබලේ….,…”