ඇසුරුමේ අර්බූදය.


ඇසුරුමේ අර්බුදය ගැන හිතන කොට කඩුල්ලට හෙල්මටය සිහිපත්විය.එජාපය රජයක් පැවති අවධියක  ප්‍රවාහන ඇමති ව සිටි එම්.එච්.මොහොමඩ් මහතා හෙල්මටය අනිවාර්ය කරනු ලැබීය.හෙල්මටය ඇතිව ගියහොත් අඩු තරමේ ඔළුව හෝ බේරාගන්න හැකි බව අද වන විට අපි තේරුම් ගෙන ඇත.හෙල්මටය නැත්නම් පොලිසියෙන් දඩ කොලයක් දුන්නත්  නුදුන්නත් අද නම් හෙල්මටයක් නැත්නම් මෝටර් සයිකලයට නගින්නේ නැත .මේ වන විට හෙල්මටය පැලදීමේ පුරුද්ද ඇගටම පත්තියම් වී ඇත.

එහෙත් එදා පස් පඩංගුවේ එම්.එච්.මොහොමඩ් මහතාට බැණ වැදුනේය. එම්.එච්.මොහොමඩ් මහතාගේ පුතා පමනක් ලංකාවට හෙල්මට ආනායන කරන නිසා මේ නීතිය යොදා හෙල්මට අළවිකිරීමට උපක්‍රමයක් ඇති කර ඇති බවද සමහරු කීවේය.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජෝන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා තදියමේ මේ කටයුත්තට අත ගසා ඇත්තේ සත්භාවයෙන්ද නැතිනම් වෙනත් ව්‍යාපාරික අරමුණකින්ද  යන්න අප නොදන්නා නමුත් මෙවැනි කටයුත්තකදී තදියම්වීම නම් සුදුසු නැති බව  අපට අවධාරණය කල හැක.

ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී සහ රැස්‌ කිරීමේදී දේශීය එළවළු සහ පලතුරු වර්ගවල අස්‌වැන්නෙන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් හානි වන අතර ඉන් වාර්ෂිකව රුපියල් බිලියන 20 ක පමණ පාඩුවක්‌ සිදුවන බවට ගණන් බලා ඇත.මේ සම්බන්ධයෙන් කරන ලද  අධ්‍යයනයක්ින් පසු  ආහාර සුරක්‍ෂිත කිරීමේ අමාත්‍ය අනුකමිටුවේ තීරණය වූයේ එළවළු හා පලතුරු ප්ලාස්‌ටික්‌, ඝන කඩදාසිය හෝ දැවවලින් සැකසූ ඇසුරුම් භාවිත කොට ප්‍රවාහනය කිරීමෙන් මෙම පසු අස්‌වනු නාස්‌තිය වළකා ගත හැකි බවයි.

මේ අනුව “2011 ඔක්‌තෝබර් 17 වැනි දින නිකුත් කරන ලද අංක 1728/5 දරන අතිවිශේෂ ගැසට්‌ නිවේදනය මගින්, එළවළු වර්ග 24 ක්‌ සහ පලතුරු වර්ග 13 ක්‌ ප්‍රවාහනයේදී, රැස්‌කිරීමේදී සහ ගබඩා කිරීමේදී ප්ලාස්‌ටික්‌, ඝන කඩදාසි හෝ දැවවලින් සකසා ඇති ඇසුරුම් භාවිත කළ යුතුය.” යන්න ප්‍රකාශයට පත්විය.

එම නීතිය 2011.12.11 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය.  ඒ මදිවාට ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නොමැතිව එළවළු සහ පළතුරු ප්‍රවාහනය කළ ලොරි 40 ක්‌ පමණ අත්අඩංගුවට ගත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් එම ලොරි උසාවියට ඉදිරිපත් කර දඩ මුදල් අයකර ගැනීමෙන්  පසුව මුදාහැර ඇත. මෙසේ අයකර ගත් දඩ මුදල රුපියල් 8000/=  බැගින් 3,20000/= කි. මේ තරම් තදියමක් ඇති වීමෙන් ගොවීන් සහ වෙළදුන් පාරට බැස උද්ඝොෂන සහ වර්ජනය කිරීම් ඇති කරන්නට පටන් අරන් ඇත.

එයත් සාධාරණය. නැත්නම් ලොක්කන්ට ඇහැරෙන්නේ නැත . ඔවුන් තද නින්දේය.

අපේ රටේ ගොවීන් මහා පරිමාන වගා කරුවන් නොවන අතර සුළු පරිමානයේ වගාවන්ගේ අස්වැන්න පෞද්ගලිකවම වෙළදපලට එවීමට තරම්  ශක්තිමත් වගාකරුවෝ නොවෙති. ගොවියාගෙන් අස්වැන්න එකතු කර වෙළද මධ්‍යස්ථාන කරා ගෙන ඒමට පෙර මේ කටයුත්තට අඩු තරමේ සුළු ව්‍යාපාරිකයන් දෙදෙනෙක්වත් මැදිහත් වන්නේය.

ගොවීන්ගෙන් මිළදි ගන්නා හෝ රැස්කරගන්නා   කෘෂි ද්‍රව්‍ය සුළු වෙළදුන්  එළවළු සහ පළතුරු  මුලින්ම දවසේ එකතුව එක් තැනකට රැස් කර ගෙන ත්‍රිරෝද රථ, බට්ටන් වැනි කුඩා  වාහන උපයෝගී කරගෙන ලොරිවලින් ප්‍රවාහනය කරනු ලබන වෙලෙදුන් වෙත ගෙන දෙනු ලබන පිලිවෙතක් අනුගමනය කරන්නේය. මේ කුඩා වාහනයක ප්‍රවාහනය කළ හැකි කූඩ ප්‍රමාණය අපට හිතා ගත හැක.

එළවළු ගොවින් තම නිෂ්පාදන අලවි කිරීම සදහා ඇසුරුම් මිළදී ගත යුතුය.නැත්නම්  සුළු ව්‍යාපාරිකයන්  හෝ ආර්ථික මධ්‍යස්ථාන වල නැත්නම් මැණිං වෙළදපලේ වෙළදුන් මැදිහත්ව ඇසුරුම් ගොවීන්ට සැපයිය යුතුය. මෙම ඇසුරුමක මිල රු 1600/= ක් පමණවේ. කෙටි කාලීනව  වෙළෙඳුන්ට හෝ ගොවීන්ට ඇසුරුම් සදහා විශාල මුලක් ආයෝජනය කල හැකිද  යන්න මහ පොලොව මත ජීවත් නොවන ඇමතිතුමා ඇතුළු ටයි පටිධාරි ක්‍රියාධරයින් විසින් සිතා බැලිය යුතුය.

නීතිය හොදය. පහසුකම් සපයාද නීතීය නොසලකන්නේ නම්  ඒ ගැන කටයුතු කල යුතුය. පහසුකම් ඇති නොකර මේ කරන වැඩේ නම් වැරදිය.