මම ලංකාවෙන් යන කොට හිටියේ 225 යි.


මම ලංකාවෙන් යන කොට හිටියේ 225 යි.

අද 10 යි.

එත් ලියන්නේ ගිය සතියේ වුන කතාවක් .
සතියට දවසක් දෙකක් මගේ සහෝදරයෙක් මාත් එක්ක IDD කතාවකට එනවා. මමත් ඔක්කෝම නතර කරලා ලෑන්ඩ් පෝන් එක කනේ තියාගෙන ඉද ගන්නවා. ගෙදර දොරේ කතාවලට අමතරව රටේ තොටේ කතාත් එක්ක මේ අනම් මනම් කතාවට අඩුම තරමේ පැය භාගයක් වත් කාලේ ගත වෙනවා.
පෙරේදා අතුරු මාතෘකාව වුනේ ලංකාවේ පොල්. මට එලොව පොල් නොපෙනෙන්නේ මාස ගාණකින් පොල් සල්ලි වලට ගන්න ඕනි වුනේ නැති හින්දා.
දැන් කීයද පොල් ? ප්‍රශ්නයක් .
40/= ඉදලා 50/= අතරේ මිළක පාවෙනවා මම උත්තර බදිනවා . දැන් කතාව දිගින් දිගට ඇදෙන්නේ පොල් ගැන.
සහෝදරයා ජනතාවතු සංවර්ධන මණ්ඩලයේ ඉදලා – වතු ටික කොම්පැණි කාරයන්ට දුන්නට පස්සේ වතු කොම්පැණියක රැකියාව කළ වැවිලිකරුවෙක්.
දැන් රට අත්හැරලා ගිහින්.

ඇයි පොල් ගනන් ?. ආයෙත් ප්‍රශ්නයක්.
වැස්ස හින්දා -පොල් වතු ටිකත් පර්චස් දහයට පහලොවට කඩලා ගෙවල් හදන්න දීලා නේ.
මම උත්තර බැන්දා .
අනික් කොනෙන් “ බම්බුව —- ”මට ඇමති කෙනෙක් සිහිවුනා.
ඒත් මේ ඇමති තුමා නෙමෙයි – මේ මගේ සහෝදරයා.
ඒක නෙමෙයි පොල් ගනන් ගියේ . එහා කොනෙන් විස්තරයක් ඉදිරිපත් කරනවා.
වතු සමාගම් වලට අවුරුදු ගානනක ඉදලා පොහොර සහනාධාරේ නතර කලා.
වත්ත සමාගමේ නෙමෙයි ආණ්ඩුවේ.
කළමනාකරනය විතරයි සමාගමේ.
උන් පොල් ටික කඩා ගන්නවා මිසක් පෝර දාන්න උනන්දුවක් නැ.
උන්ට ඕනි එදා ලාබේ විතරයි.
අවුරුදු තුන හතරක් පෝර නොදා හිටපුවහම පොල් කඩන්නේ කොහොමද ?
මට උත්තර නෑ අහගෙන ඉන්නවා .
පොල් පිටරටින් – නැවෙන් ගෙනවිත් බෙදා දෙනවා කියන්නේ. මම කියන්න දෙයක් නැති නිසා සම්බන්ධතාවය සුරකිනවා.
නැවක් ලංකාවට එන්න පොල් පටවගෙන …?
එහා පැත්තෙන් ප්‍රශ්න කරනවා.
නැවක පොල් කොච්චර ගේන්න පුළුවන්ද ?.
තවත් ප්‍රශ්නයක් .
මම – ගනන් හදන්නේ නැතිව අහගෙන ඉන්නවා.
ආයෙත්ප්‍රශ්නයක්.
බිත්තර වගේ කියලා හිතනවාද?
ප්‍රවාහනේට කොයිතරම් ගානක් යනව‍ද ?. කීයට දෙන්නද ලංකාවේදී ?
ප්‍රශ්න වැලයි.

නිව්යෝර්ක් වල පිලිපීනයෙන් ගෙන්වන පොල් කිරි කෑන් තියෙනවා.
ලංකාවේ මුදලින් රුපියල් පනහක් විතර වෙන්නේ.
ගෙඩි පහක විතර කිරි තියෙනවා. සහෝදරයා කියනවා.
එතකොට ගෙඩියක් රුපියල් දහයක් විතර වෙන්නේ .
ඒත් ඉතින් අපි නිව්යෝරක් යන්නයැ.
මම හිතනවා .

ඔය පර්චස් දහයේ පහලොවේ කෑලි කඩලා විකුණන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ විතරයි.
හලාවත පුත්තලම කුරූනැගල වගේ ප්‍රදේශවල කෘමි වසංගතයක් කාලෙකට ඉස්සර තිබුනා.
ඒ නිසා අස්වැන්න අඩු වෙන්න ඇති .
මටත් උත්තර බදින්න ඔනී නිසා කියලා දැම්මා.

කෘමි වසංගතේ අතුරු කතාවක් වුනා.
ඔයා දන්නවද පොල් වතු වල බූරුවෝ ඇති කරන්නේ ඇයි කියලා ? . සහොදරයා ප්‍රශ්නයක් දැම්මා.
මම මෙහා පැත්තේ සද්දයක් නැතිව අහගෙන ඉන්නවා .
උත්තරේ දන්නේ නැති හින්දා
බුරුවො සද්දේ දාන කොට පොල් කුරුමිනියන්ගේ කන් අඩි පුපුරලා මැරෙනවා.
බුරු සංඛ්‍යාතය කුරුමිනියන්ගේ කන්වලට ඔරොත්තු දෙන්නේ නෑ.
විද්‍යාත්මක මතයක් ඉදිරිපත්වෙනවා.
දැන් ඒ බුරුවො පොල් වතුවල නෑ.
පොල් ගස් කුරුමිනියෝ කාලා මැරෙනවා .
ගස් අඩුවෙනවා පලදාව නැතිවෙනවා.
පොල් ගනන් යනවා.
සහෝදරයා දිගටම කියවනවා.
මම බුරුවන්ගේ තොරතුරු දන්නේ නැති හින්දා “ බුරුවෝ වද වෙලාද ? . කියල ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.
නෑ.
මම ලංකාවෙන් යන කොට හිටියේ බුරුවෝ 225 යි.
උන් පහුගිය කාලේ දියවන්නාවේ පොල් වත්තක ට ………….ගිහින් !.

මට එලොව පොල් පෙනුනා .
ටෙලිපෝනයත් විසංදිවුනා.