දැයෙන් සමුගන්නා ගාන්ධර්වයා.


දැයේ සංගීතයත් දැයේ සුගායනයත් සේම දැයේ සංස්‌කෘතික ආත්මයේ පරම පිළිබිඹුවද වූ අමරදේව අප්‍රමාණ කලාකරුවාණෝ ස්‌වකීය අමරණීය නාමය හැම ජන හදවතක්‌ තුළම ඉතිරි කරවමින් ඊයේ දැයෙන් සමුගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් පිරිසක්‌ විසින් මීට දශක කීපයකට පෙර සම්පාදනය කරන ලද “අමරදේව ප්‍රතිසංවේදය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කොටස්‌ ඇසුරෙන් සකස්‌ කෙරුණු පහත සඳහන් ලිපිය පණ්‌ඩිත් අමරදේවයන්ගේ ළමා කාලයත් එතුමන් ” “අමරදේවයන්” බවට පත්වූ ආකාරයත් විචිත්‍ර ලෙස විස්‌තර කෙරෙන්නක්‌ වේ. – නොවැ 04 දා දිවයින.

ගාන්ධර්වයා අමරදේව වූ හැටි.

භාරතීය මහා සංගීත සම්ප්‍රදාය පිළිබඳ විශාරදත්ත්වයක්‌ ඇතිව අවශේෂ සංගීත සම්ප්‍රදායයන්ගේද ආභාෂයත් ප්‍රභාවත් ලබා ගැනීමට තරම් සුඛනම්‍ය මනසකින් සංගීත නිර්මාණ ව්‍යාපාරය අර්ථවත් කළ අමරදේව අප සංස්‌කෘතියේ අන්තර් අංග කවරේද? ජාතික අවශ්‍යතා කවරේද? අපේ අනන්‍යතාව කවරේදැයි සැක හැර දැන ගත්තේය. මෙරට සංගීතයත් අමරදේවත් අතර, අවියෝජනීය සම්බන්ධතාවක්‌ ඇති වූයේ මේ අවබෝධයත් අධ්‍යයනයත් හේතුවෙනි. සුසංගත ස්‌වර චලන මඟින් ජාතියේ හද වෙණ පහරා නිනාද දෙවන්නට හැකි වූයේද මේ හේතුවෙන්මය.

අමරදේව මේ අවබෝධයත් අධ්‍යයනයත් ලැබුවේ මෙරට පොදු ජනතාවගේ පුත්‍රයෙකු වශයෙනි. දිගු ගමනකට සෑහෙන ජන්ම බලයක්‌ ඔහුට නොවීය. වඩුබාස්‌ කෙනෙකුගේ පුතකුට ජන්මයෙන් උරුම විය හැකි බලය කුමක්‌ද? මේ වඩු පුත්‍රයා සිංහාසන යෝගයක්‌ ඇතිව උපන්නේ නම් ඔහු අතිශූර වඩුවකු විය යුතුය. මාලා කර්ම ලතාකර්මාදියෙන් දැව දඬු හැඩ ගැන්මෙහි ශුරත්වයක්‌ ඔහුට හිමි විය යුතුය.

එක්‌තරා රිද්මයකට මිටි පහර නියනට වදී. වට මට කළ කළු මැදිරිය ලීයට හෝ සියඹලා ලීයට වදින මේ මිටි පහරින් මතුවී මැවෙන්නේ අපූරු ලිය වැලෙකි. මිටි පහර වදින හඬ වියෑකෙත්ම කොරළවැල්ලේ වෙරළ බඩින් නැගෙන රළ බිඳෙන හඬ මේ වඩු පුත්‍රයාගේ සවනට වැටේ. ඈත සිතිජයෙන් ඇරඹී නැග බැස රළ පෙළ විසල් සුදු සේලයක්‌ මෙන් වැල්ලෙහි තුනීවී මැකී යයි.

පියාගේ මිටි පහරින් වැටෙන ලියවැලෙහි රිද්මයත් නිබඳ කන වැකෙන මුහුදේ රළ බිඳෙන රිද්මයත් ස්‌වකීය සවන් බඳුනින් ගන්නා ” වඩු පුත්‍රයා” ගේ ගමන කිමෙක්‌දැයි නැකැත් ඇදුරන් පළ කළ බවක්‌ දැන ගන්නට නැත. මොරටුවේ කොරළවැල්ලේ වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස්‌ බාස්‌ට දරුවන් සයදෙනෙකි.

බලාපු වඩුගේ මැගී වෙස්‌ලියානු මැන්දිස්‌, ජිනෝරිස්‌ බාස්‌ උන්නැහැගේ බිරිඳ සිය සය වැනි දරුවා ප්‍රසුත කළේ 1927 දෙසැම්බර් 5 වැනිදාය. දූ පුතුන් පස්‌ දෙනකු සිටින පවුලක සවැන්නාගේ උපත එතරම් සුවිශේෂි දෙයක්‌ විය නොහැකිය. මෙතොදිස්‌ත ආගම ඇදහූ ඇය ඡේසු පිහිටෙන් සිය සයවැනි දරුවා බිහි කළාය. සෙසු දරුවන් උපදින කාලයේ මෙන්ම සයවැනි දරුවා උපන් පසුවද ඇය දෙවියන්ට ස්‌තෝත්‍ර ගීතිකා ගායනා කළාය.

සාමාන්‍ය වඩු පවුලක දරුවන්ට කිරෙන් කා තෙලෙන් අත සේදීමේ වරමක්‌ නැත. මේ වඩුරාල ගමේ සෙසු වඩුවන්ගෙන් මඳක්‌ වෙනස්‌ විය. ඔහු සියුම් වැඩට දක්‌ෂයෙකි. ගමේ වටපිට ඇති වයලීන අලුත්වැඩියා කිරීමට ගෙන ආවේ ජිනෝරිස්‌ බාස්‌ උන්නැහේ වෙතය. වැඩ අවසන් කර තබන වයලීනය අතින් ගෙන තත් පහරා එහි කම්පනයෙන් ප්‍රකම්පනය වීමට පවුලේ බාල දරුවා වන්නකුවඩුගේ දොන් ඇල්බට්‌ පෙරේරා පුරුදු විය. මව ගීතිකා පොත දිගහැර දෙවියන් වෙනුවෙන් ගායනා කරද්දී හේ වයලීනය වයන්නට තැත් කළේය.

පියා අලුත්වැඩියා කරන වයලීනය වයන්නටත් මවගේ ගීතිකා ගායනය අනුව ගයන්නටත් පුරුදු වූ මේ බඩපිස්‌සා ගායනයෙහි ලා දැක්‌වූ සමත්කම දැනගත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, ඔහු ලවා දොරකඩ අස්‌නක්‌ කියවිය යුතු යෑයි යෝජනා කළහ. ගමේ පන්සල අතුරු සිදුරු නැති පිරුණු දා කුඩා ඇල්බට්‌ මධුර ස්‌වරයෙන් දොරකඩ අස්‌න කීය. ඇල්බට්‌ගේ ගායනා මාධූර්යය දැනගත් ගමේ පල්ලියේ ස්‌වාමි, ඔහුගේ මවට කතා කොට ඇල්බට්‌ ප්‍රධාන ළමුන් පිරිසක්‌ යොදවා නත්තල් කැරොල් කණ්‌ඩායමක්‌ තැනීමට යෝජනා කළේය. ඇල්බට්‌ ප්‍රමුඛ කැරොල් කණ්‌ඩායම සිය මධුර ගායනයෙන් ගම පතළ විය.

සිය මෑණියන්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඉඳිබැද්දේ ආරොන් බාස්‌ කලාකාමියෙකි. ගමේ නාඩගම්වල රඟපෑ ඔහු කවි ගීත ගායනයටත් සමර්ථයෙක්‌ විය. සිය නැඟණියගේ පුතු ගායනයටත්, වාදනයටත් සමත්කම් දක්‌වනු දුටු මාමා අතිශයින් පැහැදුණේය.

කුඩා ඇල්බට්‌ කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලට ඇතුළත් කරනු ලැබීය. මුල් ගුරුතුමා හෙළ හවුලේ කු. ජෝ. ප්‍රනාන්දුය. මුනිදාස කුමාරතුංග පඬිවරයාට හේ දෙවියකුට මෙන් සැලකුවේය. ඔහු බොහෝ විට සැන්දැව ගත කළේ කුමාරතුංගයන්ගේ හෙවණේය. ඔහු ගඟේ තොටුපළින් ඔරුවෙන් එගොඩ වන්නේ කුඩා ඇල්බට්‌ ද සමඟිනි. කුමාරතුංගයන්ගේ හෙවණ කුඩා ඇල්බට්‌ට රසෝඝයක්‌ විය. කුමාරතුංග, කු. ජෝ. ප්‍රනාන්දු ප්‍රමුඛ වියතුන් කරන වාද විවාද අසා සිටීම ඔහුට ආස්‌වාදජනක විය. ඇතැම් විට කුමාරතුංගයන් හමුවේ කවි ගායනා කිරීමට ඔහුට සිදු විය. මෙම හෙවණේ ඇසුර නිසා කුඩා ඇල්බට්‌ රස හඳුනන්නෙක්‌ විය. ලොකු අයියා ඩබ්ලිව්. ඩී. චාල්ස්‌ පෙරේරා ද වඩුකම් කරන්නෙකි. ඔහු ලද අවසරයෙන් මරදානේ ඇම්. ජී. පෙරේරා වෙතින් සංගීතය හදාළේය. එහිදී හදාරන කමාඡ්, බිලාවල්, යමන් ආදී රාග රෑ මැදියම වනතුරු ගායනා කරද්දී කුඩා ඇල්බට්‌ නෙත නිදි නොලබා අසා සිටී. ඔහුගේ ආසාව දුටු අයියා සංගීතයට මෙතරම් ලැදි මලයණ්‌ඩියටද තමා උගත් පාඩම් ගෙදරදී කියා දුන්නේය.

ඇල්බට්‌ පුතා කෙමෙන් සංගීත ලෝකයට ඇදෙනු දුටු ජිනෝරිස්‌ බාස්‌ උන්නැහේ පුතුගේ හත්වැනි උපන් දිනේදී සියතින්ම තැනූ වයලීනයක්‌ තෑගි කළේය. කුඩා ඇල්බට්‌ සිය පියාගේ වයලීනය අරගත්තේ කෙබඳු අධිෂ්ඨාන ශක්‌තියකින් දැයි මතකයක්‌ හෝ සඳහනක්‌ නැත. මෙකල තවත් හිතෛෂී ගුරුවරයෙක්‌ පාසලේ විය. ඩැනිස්‌ටර් තෝමස්‌ ප්‍රනාන්දු පාසලේ කලා කටයුතුවල නියෑළෙමින් කුඩා ඇල්බට්‌ටද වගකීම් පැවරුවේය. ජීවන ප්‍රභා, ශුද්ධ නුවරට බලා යන නාට්‍ය රඟ දැක්‌විය. පාසල් ගීත, වෙසක්‌ ගීත ගැයිණි. පාසලට සම්බන්ධව ඇරඹුණු කල්‍යාණ මිත්‍ර සංගමයේ කොළඹ කලා සංගමය මෙහෙයවූ ගායනා තරගයෙන් ඇල්බට්‌ ප්‍රධාන ගායක පිරිසට රන් පදක්‌කම් හිමි විය. සෙසු තෑගි ගණනාවක්‌ද පාසලට අත්විණි. අයියාගේ ගුරුහරුකම් ලබමින් කුඩා ඇල්බට්‌ වයලීනය සිය සුරතලා බවට පත් කර ගත්තේය.

ඔහු නින්දට වැටෙන්නේ අයියා වයලීනය වයන හඬ අසමිනි. අවදි වන්නේද වයලීනයේ නාදයෙනි. ඇල්බට්‌ගේ පරම මිත්‍රයා වයලීනය විය. හෙතෙම පස්‌වැන්නේ උගනිද්දී කළුතර ඩබ්ලිව්. ජී. ප්‍රනාන්දු සංගීත ගුරුවරයා වශයෙන් පාසලට ආවේය. දේවිකාරානි, අශෝක්‌ කුමාර් රඟපෑ චිත්‍රපට බැලීමට ඔහු සමඟ ගියේ ජපන් මැන්ඩලීනයද රැගෙනය. එහි කන්කළු ගීත ගයද්දී සිනමා ශාලාවේදී මැන්ඩලීනය වයන්ට ඇල්බට්‌ පුරුදු විය. ඔහු කොතරම් දක්‌ෂ වීද යත් ගුරුතුමා නැති අවස්‌ථාවලදී කුඩා ඇල්බට්‌ සංගීත පන්තිය කරගෙන ගියේය.

කුමාරතුංග පඬිවරයා සංගීතය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සමයේ ඇල්බට්‌ 15 හැවිරිදි කොලු ගැටයෙකි. පානදුරේ සරික්‌කාමුල්ලේ වින්සන්ට්‌ සෝමපාල මීයෑසියට ස්‌වර සම්පාදනය කළේය. මෙකල බස්‌ සටනට උරදුන් මනුවෙල් පෙරේරා කවි පෙළක්‌ ලීවේය.

වැලපෙව වැලපෙව මදුරු තතේ
තනිවම වැලපෙව අඳුරු පෙතේ
අලුවද නොරැඳෙයි සැලෙන අතේ
එකද කතෙක්‌ නොරැඳෙයි මසිතේ

කුඩා ඇල්බට්‌ භාෂා රසයෙන්ද මත් විය. ආශා සංවේදිතා තියුණු විය.
කුඩා ඇල්බට්‌ගේ ගායන, වාදන හපන්කම් මේ වන විට ගමින් ඔබ්බට පැතිර ගියේය. මේ හපනාට ශිෂ්‍යත්ව දීමට පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටුවේ විද්‍යාලයද ඉදිරිපත් විය. පානදුරේ ශ්‍රී සුමංගලයේ සිටියදී ශිෂ්‍ය වැඩ වර්ජනයක්‌ සිදු විය. මේ නිසා විභාගයට වාඩිවන සිසුන්ට සිදු වන පාඩුව මඟ හැරවීමට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පැමිණ රෙජි පෙරේරාගේ නිවසට ගෙන්වූ සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වූ අයුරු කුඩා ඇල්බට්‌ගේ මතකයේ රැඳිණි. ඉන්පසු ඔහු මොරටුව විද්‍යාලයට අවේය. එහිදී ඉතා සුවිශේෂ සිද්ධියක්‌ විය. ඇල්බට්‌ ප්‍රථම වරට “වයර්ලස්‌” කන්තෝරුවට ගියේ මොරටු විද්‍යාලය මැදිනි. මොරටු විද්‍යාලයේ කවි තරගයෙන් මුල් තැන් ගත් ඔහුට වයර්ලස්‌ එකෙන් ඒ කවි ගායනය ඉදිරිපත් කිරීමට ගුරු මණ්‌ඩලය ඉඩ ලබා දුන්නේය. ඔහු වයර්ලස්‌ එකෙන් ප්‍රථම වරට රටටම ඇසෙන්නට කවි කීවේය. ඔහු මුල්වරට නාට්‍යයකට සංගීතය සම්පාදනය කළේය. ඒ විද්‍යාලය ඉදිරිපත් කළ කිරිහාමි නාට්‍යයටය.

වයලීනයට ආදරය කළ කුඩා ඇල්බට්‌ ජීවිතයේ ප්‍රථම වරට අංග සම්පූර්ණ වාදක මණ්‌ඩලයක්‌ දුටුවේ එදාය. මොරටුවේ ජෙරාඩ් ඡේ. පීරිස්‌, ගවුස්‌ මාස්‌ටර්ට ඇල්බට්‌ හඳුන්වා දුන්නේය. ගවුස්‌ මාස්‌ටර් නොබෝ වේලාවකින් ඔහුගේ කුසලතා හැඳින ගත්තේය. වාදක මණ්‌ඩලයේ ප්‍රධාන වයලීන ශිල්පියා වශයෙන් කුඩා ඇල්බට්‌ පත් කර ගත්තේය. එදින වයලීනය අතට ගනිත්ම පාසල අතහැර දැමීමට ගේ තීරණය කළේය. මයිකල් සන්නස්‌ ලියනගේ, එමලින් දිඹුලාන, දොන් එඩ්වඩ්, මොහිදීන් බෙග් ආදීහුද එවකට ගවුස්‌ මාස්‌ටර් වෙතින් ශිල්ප හදාළහ.

1953 දී ඇල්බට්‌ පෙරේරාගේ ජීවිතයේ පෙරැළියකට මඟ පාදන තවත් පඬිවරයකු වෙත ඔහු කැඳවාගෙන යනු ලැබුවේ ගුවන් විදුලියේ කුලසිරි අමරතුංග විසිනි. එවකට ගුවන් විදුලියේ යෞවන සමාජය මෙහෙයවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇල්බට්‌ පෙරේරාට තමන්ගේ “පබාවතී” නාට්‍යයේ සංගීත සම්පාදනය භාර කළේය. ඇල්බට්‌ පෙරේරා යන ගමන ඉසිවරයකු මෙන් ඔහු දුටුවේය. භාරතීය මහා සංගීත සම්ප්‍රදායේ ආශිර්වාදය මොහුට ලබා දීමට අවශ්‍ය පියවර ඔහුට පෙනිණි. සිය කල්‍යාණ මිත්‍ර පත්‍ර කලා ගුරු ඩී. බී. ධනපාල මහතාගේ “ලංකාදීප” පත්‍රයේ ඇල්බට්‌ පෙරේරා අරමුදලක්‌ ආරම්භ කරවීමෙහිලා ප්‍රොaත්සාහී විය. මහජන ආධාර ගලා ආවේය. නාට්‍ය ශිල්පීහු ඔහු වෙනුවෙන් රැඟුහ. ගායක ගායිකාවෝ ගැයූහ. වාද්‍ය ශිල්පීහු වැයූහ. ජනතා ආධාරද, ආශිර්වාද ද මධ්‍යයේ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ඇල්බට්‌ පෙරේරා අමරදේව නම් අමරණීය නාමයෙන් අභිෂේක කළහ.
-දිවයින නොවැම්බර04

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )