මහින්ද අදූරදර්ශී නායකයකු විය යුතු ද ?.


 
images

ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට ඊට එරෙහිව ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය අතිවිශාලය. නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය.

යුද්ධය අවසන් කිරීමෙන් පසු මතුවූ ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ප‍්‍රඥාවන්ත ලෙස ක‍්‍රියාකරන්නට රට සමත් වී නම් ලොකු වන්දි ගෙවීමකින් තොරව එම ප‍්‍රශ්න නිරාකරණය කරගනිමින් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට යෑමේ හැකියාව රටට හිමිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව මුල සිටම එම ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ක‍්‍රියා කළ ආකාරය ඉතාමත් අදූරදර්ශී විය. දැන් මෙම යෝජනාව සම්මතවීමත් සමග රට ඇද වැටී සිටින්නේ මහා විනාශයක මුවවිටය. එහිදී අප තෝරාගන්නට යන්නේ ඊට එරෙහිව සටන් කරන මාවතක් නම් ආණ්ඩුව පමණක් නොව රටද මහා ප‍්‍රපාතයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.

දේශප්‍රේමය
මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම් උද්දීපනය කිරීම අමාරු නැත. එහෙත් ඒ සඳහා ක‍්‍රියාවට නගන වැඩසටහන් මහජනයා කෙරෙහි විශාල පීඩාවක් ඇතිකරන්නේ නම් එම දේශපේ‍්‍රමී වැඩසටහන්වලට එරෙහිව නැගී සිටින්නන් බවට පත්වන්නේද මුලදී දේශපේ‍්‍රමී ආවේගයන් මත ක‍්‍රියා කළ දේශපේ‍්‍රමී ජනතාවමය. 1977ට පෙර ශ‍්‍රී ලංකාවේ ජනතාව විවෘත ආර්ථික ක‍්‍රමයක රස බලා නොතිබුණි. ඔවුන් ජීවත්වූයේ වර්තමානයට වඩා සරල හා අල්පේච්ඡ සමාජ වටාපිටාවකය. නිදහස ලැබීමෙන් පසු 1970-77 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව දක්වාම බලයට පත් හැම ආණ්ඩුවක්ම කතා කළේ ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ගැනය. එය සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේද ප‍්‍රධාන සටන් පාඨය විය.

එම ආණ්ඩු කාලයේදී ලෝක මට්ටමෙන් ඇතිවී ලංකාව කෙරෙහි විනාශකාරී ලෙස බලපාමින් තිබූ ආර්ථික අර්බුදයකට මුහුණදීම පිණිස රට වගා සංග‍්‍රාමයකට යොමුකරනවාට අතිරේකව රටේ ආර්ථික ආරක්ෂාව සඳහා මහජනයා කෙරෙහිද පීඩාකාරී ලෙස බලපාන ආකාරයේ සම්බාධක පනවන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට එම ආණ්ඩුවට සිදුවිය. ආණ්ඩුව එසේ කළේ මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම් පුබුදු කරමිනි. මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වූ මහජනයාද ආණ්ඩුව ක‍්‍රියාවට නගන ලද පියවරයන්ට සහයෝගය පළකරමින්, ‘සීනි නැතිව තේ බොන්නම්, හාල් නැතිව බත් කන්නම්’ කියමින් පෙළපාළි ගියේය. එහෙත් ආර්ථික වශයෙන් පැවති පීඩාකාරී තත්ත්වය ඉවසිය නොහැකි තත්ත්වයකට පත්වූ විට එම ආණ්ඩුව අතිවිශාල පරාජයකට ලක්කරනු ලැබුවේද මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් ක‍්‍රියා කළ එම ජනතාවමය.

වර්තමාන ජනතාව එදා සිටි ජනතාවටත් වඩා වෙනස්ය. ඔවුහු අල්පේච්ඡ ජීවිතයකට හුරු පුරුදු වූ ජනතාවක් නොව සුවපහසු විවෘත ආර්ථිකයකට හුරුපුරුදු ජනතාවකි. ඔවුන් මේ මොහොතේ දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකරන තත්ත්වයක සිටිය හැකි වුවත් සම්බාධක පනවන තත්ත්වයක් ඔවුන්ගේ හුරුපුරුදු ජීවිත වෙනස් කොට ඔවුන් කෙරෙහි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවේ නම් ආණ්ඩුවට එරෙහිව කෝපයෙන් හැඟීම්බරව ක‍්‍රියාකරන තත්ත්වයට යොමුවනු ඇත්තේද මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකළ එම මහජනතාවමය.

සම්බාධක
අප හිතුවක්කාරීව ක‍්‍රියාකරන තැනකට ගියහොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම ආරම්භ වනු ඇත්තේද පුංචියටය. ඒවා ලොකු මහත් වූ දේවල් බවට පත්වනු ඇත්තේ ක‍්‍රම ක‍්‍රමයෙනි. දකුණු අපි‍්‍රකාවට මෙන් සමහරවිට අපේ කි‍්‍රකට්වලට පවා තහංචි පනවන තත්ත්වයක් ඇතිවිය හැකිය. සම්බාධක පැනවීම්වලට ලක්වූ වඩා බලවත් රටවල් පවා විනාශ මුඛයට පත්වූවා මිස එවැනි තත්ත්වයකට මුහුණ දී විශාල හානියක් ඇතිකර ගැනීමකින් තොරව නැගී සිටි කිසිම රටක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. ආරාවුල දුරදිග යන තත්ත්වයක් ඇති වුවහොත් කොළඹ වරායද නැව් නොඑන වරායක් බවට පත්විය හැකිය. කටුනායක ගුවන්තොටුපොළද ගුවන්යානා නොඑන ගුවන්තොටුපළක් බවට පත්විය හැකිය. අපේ අපනයන වෙළෙඳාම නැත්තටම නැතිවිය හැකිය. ඒ සමග අපේ ආනයන වෙළෙඳාමද මහා අර්බුදයකට ලක්වනු ඇත. තේ වතුවලින් තේ ඉවත් කොට ඒවාහි අල, බතල සිටුවන්නට සිදුවන තත්ත්වයක් ඇතිවිය හැකිය. අවසානයේ කාපට් කරන ලද මහා මාර්ගවල මෝටර් රථ වෙනුවට ගමන් කරනු ඇත්තේ ගොන් කරත්තය.

වැරදි තක්සේරුව
ආණ්ඩුවට නූතන ලෝක රටාව ගැන හෝ සම්බාධක හා ඒ නිසා ඇතිවිය හැකි ප‍්‍රතිඵල ගැන හෝ නිසි අවබෝධයක් හෝ තක්සේරුවක් ඇති බවපෙනෙන්නට නැත. තාවකාලික තහනමකින් පසුව නැවත ලබාගත හැකි තත්ත්වයක තිබූ යුරෝපා සංගමයේ ජීඇස්පී ප්ලස් සහනය ගැනද කීවේ එය නැතිව ඉදිරියට යෑමේ හැකියාව ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට තිබෙන බවය. අවසානයේ එය අහිමිකර ගැනීමෙන් අපනයන කර්මාන්ත අංශයට සිදුවූ හානිය අතිවිශාලය. කර්මාන්ත විශාල සංඛ්‍යාවක් වැසී ගියේය.

කම්කරුවන් විශාල සංඛ්‍යාවකට රක්ෂා අහිමි විය. ආර්ථිකයේ 33%ක තත්ත්වයක තිබූ අපනයන කර්මාන්තය 17% දක්වා පහත වැටුණේය. එවැනි පුංචි සම්බාධකයකින් විය හැකි හානිය එතරම් විශාල නම් හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරන තැනකට ගියහොත් පනවන සම්බාධකවලින් රටට විය හැකි හානියේ තරම තේරුම් ගැනීමට අපහසු නැත.

අවසානයේ දේවල් සිදුවන්නට යන්නේ රටේ විනාශයට හේතුවන ආකාරයට නම් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නාමය ඉතිහාසයට එකතුවනු ඇත්තේද ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගත් ඉන්පසු බෙදී සිටි ජාතිය එක්සත් කිරීමට හා එම ජාතියේ නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත්වීම නිසා හා ආත්මාර්ථකාමී වීම නිසා ශ්‍රේෂ්ඨ ජන නායකයකු වීමට තිබුණු හැකියාව අහිමි කරගනිමින් රට මහා කාලකණ්ණි තත්ත්වයකට ඇද දැමූ අදූරදර්ශී නායකයකු වශයෙනි.

මාතෟකාව පමනක් මගෙනි.

රාවය – වික්ටර් අයිවන්.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )