ජිනීවා – රාවය කියන මතවාදයක්.


රාවය පලකල මේ ලිපිය මා කියවන පාඨකයින්ටත් කියවන්න නැවතත් පලකිරීමට අදහස් කලෙමි. රජය ජිනීවා වට මුහුණ දෙන ආකාරය පිලිබදව චිත්‍රයක් මෙම ලිපියේ ඇතැයි සිතමි.කියවන්න රාවයට – වික්ටර් අයිවන් ලියු මේ ලිපිය.

1926944_823881760970569_1676769201_n

 ………….ප්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් වීරයා ලෙස සැලකිය හැකි ජනාධිපතිවරයා එම යුද්ධය හා ඉන්පසු ඇතිවූ තත්ත්වයන් ආශ‍්‍රයෙන් ජිනීවාවල මතුවී තිබෙන වගවීම පිළිබඳ ප‍්‍රශ්නයේදී දැන හෝ නොදැන දැනට රට රැගෙන යමින් තිබෙන්නේ මහා විනාශයකටය. පුංචි පහේ විනාශයකට නොව මීට පෙර කොයි කවර කාලයකදී වත් රට ඇද වැටී නැති තරම් මහා විනාශයකටය.ඒ නිසා ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව පමණක් නොව මුළු රටද විනාශ වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් රාජ්‍ය නායකයා යනු රටේ තාවකාලික භාරකාරවරයා මිස රටේ අයිතිකාරයා නොවන්නේය. සමහර නොවැදගත් ප‍්‍රශ්නවලදී රාජ්‍ය නායකයාට තමන්ට හා තෝරාගත් සුළු පිරිසකට සීමාවන ලෙස තීන්දු ගැනීමේ අයිතියක් ඇතත් ජාතියේ ඉරණම කෙරෙහි බලපාන තීරණාත්මක ජාතික වැදගත්කමක් ඇති ප‍්‍රශ්නවලදී හිතුවක්කාරී ලෙස තීන්දු ගැනීමේ අයිතියක් රාජ්‍ය නායකයාට නැත.

ඔහු එවැනි අවස්ථාවලදී තමන්ට ලැබෙන ඵල ප‍්‍රයෝජන මත හොඳ නරක නොසලකා හැම දේකටම එහෙයි කියන එහෙයියන්ට සීමා නොවී වඩා පුළුල්ව කරුණු සලකා බලන තැනකට යා යුතුය. ආණ්ඩු පක්ෂයේ සියලූ ප‍්‍රවණතාවලට ඇහුම්කන් දිය යුතුවා සේ ම විරුද්ධ පක්ෂවලටද ඇහුම්කන් දිය යුතුය. විෂය ගැන විශේෂඥ දැනුමක් ඇති අයට සේ ම පළපුරුද්දක් ඇති අයටද ඇහුම්කන් දිය යුතුය.

ඒ ගැන කෙරෙන සාකච්ඡා හා සංවාද මහජනයාටද ඇසෙන්නට සැලැස්විය යුතුය. එහිදී ඉදිරිපත් වන වැදගත්කමක් ඇති මහජන අදහස්වලටද ඇහුම්කන්දෙමින් ඒ සියලූ දෙනා තීන්දු ගැනීමේ ක‍්‍රියාවලියට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත යුතුය.

 ජාතියේ ඉරණම

එහෙත් ජාතියේ ඉරණම තීන්දු කෙරෙන මෙම ප‍්‍රශ්නයේදී දැනට ආණ්ඩුව ක‍්‍රියාකරමින් සිටිනුයේ ජාතියේ යහපතට හේතුවන ප‍්‍රශස්ත ආකාරයකට නොව ජාතියේ විනාශයට හේතුවිය හැකි ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. ජාතික වැදගත්කමක් ඇති තීරණාත්මක ප‍්‍රශ්නයක් ඉදිරියේ විපක්ෂය ක‍්‍රියාකරමින් තිබෙන්නේද ප‍්‍රශස්ත ආකාරයකට නොව අවිචාරවත් ආකාරයකටය.

ආණ්ඩුව මහජනයාට පෙන්වන්න උත්සාහ කරන්නේ මෙම පළාත් සභා මැතිවරණ දෙකෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ආණ්ඩුවට ලබාදීම ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ල වී තිබෙන අභියෝගය ජයගැනීමට තිබෙන හොඳම විසඳුම බවය.

ජාතියේ ඉරණම තීන්දු කෙරෙන එවැනි බැ?රුම් ප‍්‍රශ්නයක් මුවවිට තිබෙන අවස්ථාවකදී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් කරළියට ගැනීමෙන් ප‍්‍රදර්ශනය කළේද තම දේශපාලන චින්තනයේ පටුබවේ තරමය. මහජනයා බොරු දේශපේ‍්‍රමී ආවේගයන්ගෙන් චූන් කොට මුලාකරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට මෙම අර්බුදය හමුවේ ආණ්ඩුවක් වශයෙන් තමන් ඊට මුහුණ දෙන්නට යන ආකාරය හා ඒ නිසා මහජනයාට විඳින්නට සිදුවන ඵලවිපාක පැහැදිලි කරදෙමින් මෙම පළාත් සභා ඡුන්ද දෙක ඒ පිළිබඳව මහජන මතය විමසන ජනමත විචාරණයක් බවට පත්කර ගන්නේ නම් එය අයහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය.

මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළහොත් තමන් ඊට සහාය නොදෙන බවත් ඒ නිසා රටේ ජනතාවටද විශාල ප‍්‍රමාණයකට දුක් වේදනාවන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් සමහරවිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමේ අයිතිය පවා අහිමිවිය හැකි බවත් ඒ නිසා ක‍්‍රිකට්ලෝලී ජනතාවට ශ‍්‍රී ලංකාව තරග කරන ජාත්‍යන්තර තරග වෙනුවට දේශීය තරග නැරඹීමෙන් පමණක් සතුටුවීමට හිත හදාගත යුතු බවත් තවත් සමහරවිට රටේ ගුවන්තොටුපොළවලට හා වරායවලට ගුවන්යානා හා නැව් ඒම නැවතී ආනයන අපනයන වෙළෙඳාම සේ ම ගමනයද බිඳ වැටී ප‍්‍රභාකරන් යාපනය පාලනය කළ කාලයේදී යාපනයේ ජනතාව පවත්වාගෙන ගිය ජීවිතයට සමාන දුක් කම්කටොලූවලින් පිරුණු ජීවිතයක් පවත්වාගෙන යෑමට ජනතාවට සිදුවිය හැකි බවත් රටේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා එවැනි දුෂ්කර තත්ත්වයක් වුවද විඳ දරාගන්නට සූදානම් බව ආණ්ඩුවට ඡුන්දය පාවිච්චි කිරීම මගින් ප‍්‍රකාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ නම් එය මහජනයාට යථා තත්ත්වය පැහැදිලි කරමින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා මහජන අනුමැතිය ලබාගැනීමට දරන සාධාරණ උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

එහෙත් දැන් සිදුවන්නේ එය නොව මෙම තීරණාත්මක ප‍්‍රශ්නය හමුවේ මහජනතාව නරකම ලෙස මුලාකිරීමකි.

රට මුහුණ දී තිබෙන බැ?රුම් තත්ත්වය මහජනයාට තේරුම් කරදීම සඳහා එක්කෝ විරුද්ධ පක්ෂය මෙම මැතිවරණය වර්ජනය කළ යුතුව තිබුණේය. එසේ නැතිනම් ඉතා බලවත් ලෙස මහජනයාට කරුණු පැහැදිලි කරදීමට මෙම මැතිවරණය අවස්ථාවක් කරගත යුතුව තිබුණේය. ඒ මගින් මෙම අර්බුදයේදී ආණ්ඩුව රටේ පැවැත්ම පරදුවට තබන හිතුවක්කාරී පිළිවෙළකින් ඉවත් කොට රටේ යහපතට හේතුවන ප‍්‍රඥාවන්ත ලෙස ක‍්‍රියාකරන තැනකට ආණ්ඩුව තල්ලූ කළ යුතුව තිබුණේය.

 මෙම අර්බුදය හමුවේ රටේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන්නේ ඉතාමත් පසුගාමී හා විනාශකාරී භූමිකාවකි. ලංකාව මුහුණදී තිබෙන අර්බුදයේ නියම ස්වභාවය මහජනයාට කියා දිය යුතුව තිබුණේ ඔවුන්ය. මහජනයාට නියම තතු පැහැදිලි කරදෙනවා වෙනුවට ඔවුන් කරමින් සිටින්නේද නියම තතු වසන් කිරීම මගින් මහජනයා මුලාකිරීමය. පසුගිය ඉරිදා සිංහල මහජනතාව වැඩියෙන්ම කියවන පුවත්පත ලෙස සැලකිය හැකි පුවත්පතක් සිය දේශපාලන ඕපාදූප කොලමට ශීර්ෂ පාඨ ලෙස යොදා තිබුණේ ‘ජිනීවා බිය පුස් වෙඩිල්ලක්’ යන්නය. ජාත්‍යන්තර වශයෙන් පත්තුවන්නට නියමිතව තිබෙන්නේ පුස් වෙඩිල්ලක් නම් බියවීමට හෝ කනගාටුවීමට හේතුවක් තිබිය නොහැකිය.

මේ ප‍්‍රශ්නයේදී අපේ රටේ ආගමික නායකයන් අවවාද අනුශාසනා කරන්නේද අපේ රටේ පාලකයාට හෝ පාලක පක්ෂයට නොව අපේ රටේ පැවැත්ම ප‍්‍රශ්න කිරීමකට ලක් කරන විදේශීය බලවතුන්ටය. එම විදේශ බලවතුන් සර්ව සාධාරණ නැතත් අපේ රටේ පැත්තෙන් සිදුවී තිබෙන වැරදිද අපමණය. මුලදී නියපොත්තෙන් කඩා ඉවත් කළ හැකි තත්ත්වයක තිබූ පුංචි පැලයක් පොරවෙන් වත් කපා ඉවත් කළ නොහැකි මහා වෘක්‍ෂයක් බවට වර්ධනය කරගත්තේ අප විසිනි.

 අපි අනුන්ගේ වැරදි දකිනවා මිස අපේ වැරදි දකින්නට අසමත්ව සිටිමු. විදේශීය බලවතුන් ජිනීවාවලදී ලංකාව සම්බන්ධයෙන් අසාධාරණ තීන්දුවක් ගතහොත් ඉෂ්ට දේවතාවුන් ලංකාව බලාගනු ඇතැ’යි එක් ප‍්‍රසිද්ධ හිමිනමක් ප‍්‍රකාශ කරනු රූපවාහිනි නාලිකාවක් මගින් අසන්නට ලැබුණි. ඉෂ්ට දේවතාවුන්ගේ පක්‍ෂපාතීත්වය තිබෙන්නේ අපට නම් විදේශ බලවතුන්ගෙන් එල්ල වන තර්ජනයන්ට අප බිය වියයුතු නැත.

 අපූරු සාකච්ඡාවක්

 මෙම පුපුරනසුලූ විෂය පිළිබඳව අපූරු සාකච්ඡාවකට සවන්දීමේ අවස්ථාව පසුගිය සතියේදී මට ලැබුණි. එම සාකච්ඡාව කැඳවා තිබුණේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසිනි. ජිනීවා ප‍්‍රශ්නය ගැන කතා කරන්නටය. එම සාකච්ඡාවට ස්වාධීන අදහස් දරන පිරිසකට අතිරේකව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනකුද සහභාගිවන්නට නියමිත බව දැනගන්නට ලැබුණු විට එම මැති ඇමතිවරුන් මෙම ප‍්‍රශ්නය ගැන කල්පනා කරන ආකාරය දැනගැනීම පිණිස ඊට සහභාගිවීමට මමද තීරණය කළෙමි.

දයාන් ජයතිලක හා තමරා කුනනායගම්ද සභාව අමතා කතා කළේය. ඔවුන් ඒ ගැන දරන අදහස් මීට පෙරද පළකර තිබූ නිසා මාගේ උනන්දුව වඩාත්ම යොමුවී තිබුණේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දරන අදහස් ගැනය. ඒ ගණයට වැටෙන පුද්ගලයන් හත්දෙනකු ඊට සහභාගි වුවද අදහස් පළ කළේ පස්දෙනෙකු පමණය. ඔවුන් පළකළ අදහස් එක සමාන නොවූවද ඒ සියලූදෙනා සිදුවෙමින් තිබෙන දේවල් ගැන ඇති කරගත් බලවත් කම්පනයකින් පසුවන බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

ඉන් එක් අයකු කීවේ තමාට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ මැරුණු මිනිසකු වශයෙන් වන බවය. ඒ නිසා අදහස් පළකිරීමෙන් තොරව සිදුවන දේවල් දෙස නිශ්ශබ්දව බලා සිටින්නට සිදුවී තිබෙන බවය.

එහිදී කතා කළ ආණ්ඩු පක්ෂයේ සියලූ දෙනා ජිනීවා ප‍්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත කෙරෙහි අතෘප්තියෙන් සිටින බවද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ප‍්‍රශ්නය දුරදිග ගියහොත් ඇතිවිය හැකි භයානක ප‍්‍රතිඵල ගැන ඉන් සමහරෙකුට හොඳ අවබෝධයක් තිබෙන බවද පෙනෙන්නට තිබුණි.

මෙය ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයකට වඩා රටේ පැවැත්ම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් වන බවද ඉන් එක් අයෙක් කීවේය.

මෙම පුපුරනසුලූ ප‍්‍රශ්නය පිළිබඳව ආණ්ඩුවට පිළිගත් පොදු මතයක් නැති බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම ප‍්‍රශ්න පිළිබඳව බරපතළ සාකච්ඡාවක් සිදුවී නැති බවත් ඉදිරියේ ඇතිවිය හැකි බිහිසුණු ප‍්‍රතිවිපාක පිළිබඳව නිසි අවබෝධයක් නැති අන්තවාදී ලෙස සිතන සුළු පිරිසක් රටේ ඉරණම පරදුවට තබා හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරමින් සිටින බවත් ඉන් පෙනීයයි.

මෙය ඉතාමත් නරක ප‍්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

දැන් අප තල්ලූ වී සිටින්නේ මහා ප‍්‍රපාතයක මුවවිටටය. ඉතාමත් අවාසනාවන්ත දේ වනුයේ එහි සිටින සාමාන්‍ය ජනයාට පමණක් නොව ඔවුන් අතර සිටින උගතුන්ට පවා තමන් මහා ප‍්‍රපාතයක මුවවිට සිටින බව නොපෙනීමය. සුළු තෙරපීමකින් වුවත් මහා විනාශයක් ඇතිවිය හැකිය.

දැන් අප රටක් වශයෙන් සිටින්නේ ශක්තිමත් තැනක නොව ඉතාමත් දුර්වල හා අසරණ තැනකය. එවැනි තත්ත්වයකට අප ඇද වැටී සිටින්නේ අනුන්ගේ වැරදි නිසා නොව අපේම මෝඩකම් නිසාය.

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සාධාරණ හා නිහතමානී වෙනවා වෙනුවට අප උද්දච්චභාවයෙන් පිම්බී ක‍්‍රියාකරන තැනකට ගියේයැ’යි කිව හැකිය. ඒ නිසා යුද්ධය ජයගැනීමට සමත් වුවත් සාමය දිනාගැනීමට අසමත්වූවේයැ’යිද කිව හැකිය.

නූතන ලෝකයේ මොනම රටකටවත් හුදකලාවී පැවතිය නොහැකිය. ලෝක ආණ්ඩු ක‍්‍රමයක් ඇතිවී නැතත් හැම රටක්ම පිළිගත යුතු පිළිගත් ජාත්‍යන්තර නීති හා රීති පවතී. බරපතළ සීමාසහිතකම් තිබියදීත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලූ ජාතීන් එකට ඒකරාශි කළ ජගත් සංවිධානයක් ලෙස සැලකිය හැකිය. එම ජගත් සංවිධානය තුළ අනුගතවී සිටින සාමාජික රටවල් පිළිපැදිය යුතු පිළිගත් නීතිරීති සේ ම ගුණධර්මද පවතී. එම සංවිධානයෙන් පරිබාහිර වී රටකට තනිව පැවතීම ඉතා දුෂ්කර වන අතර සාමාජික රටක් සංවිධානය පිළිගත් නීතිරීති උල්ලංඝනය කරන අවස්ථාවකදී එම රටට එරෙහිව ක‍්‍රියාකිරීමේ බලය එම සංවිධානය සතු බවද අප අමතක නොකළ යුතුය.

 ජාත්‍යන්තර ප‍්‍රශ්න කිරීම්

 මෙය ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කිරීමකට ලක්වූ පළමු අවස්ථාව නොව සිව්වැනි අවස්ථාව ලෙස සැලකිය හැකිය.

1971 කැරැල්ල ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කිරීමකට ලක්වූ පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. 1971 කැරැුල්ල මර්දනය කිරීමෙන් පසු ඒ ආශ‍්‍රයෙන් පැනනැගි ජාත්‍යන්තර ප‍්‍රශ්න කිරීම්වලට එදා පැවති ලෝක යථාර්ථයට ගැළපෙන ලෙස ක‍්‍රියාකිරීමට එවකට පැවති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව සමත් වීයැ’යි කිව හැකිය.

ඇය කැරැල්ල මර්දනය කිරීමෙන් ඒ නිසා ඇතිවූ ජීවිත හානි හා දේපළ හානි පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. ආරක්ෂක හමුදා විසින් නිරුවත් කොට මරාදමන ලද පේ‍්‍රමවතී මනම්පේරි සිද්ධිය ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වෙමින් තිබූ ලොකුම සිද්ධිය වූ අතර ඇගේ ආණ්ඩුව එම අනුවේදනීය සිද්ධියට වගකිවයුතු හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු පවරන ලදුව අධිකරණය නඩුව විභාග කොට වරදකරුවන්ට සිරදඬුවම් පැමිණවීය.

ඉන්පසු ජාත්‍යන්තර වශයෙන් දරුණු ප‍්‍රශ්න කිරීමකට ලක්වූයේ 1983 ජූලි සිද්ධීන් පිළිබඳව 1984 සැසිවාරයේදීය.

එහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගැනීමට ඉන්දියාව උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.

ඉන්පසු දෙවැනි ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසුත් එවැනි ජාත්‍යන්තර ප‍්‍රශ්න කිරීමක් සිදුවිය.

එහෙත් මර්දනය කළ ජේවීපීය වෙනුවෙන් බලවත් ලෙස හඬ නගන්නට බලවත් සිංහල ඩයස්පෝරාවක් නොතිබුණි. ඒ නිසා හා එකල ලෝකය අද තරම් නවීන නොවීම නිසා එම ප‍්‍රශ්න කිරීම අද තරම් ප‍්‍රබල තත්ත්වයක නොවීය. අනෙක් අතට එම ප‍්‍රශ්න කිරීම්වලදී එකල පැවති ආණ්ඩු ජාත්‍යන්තර බලවේගයන් සමග රණ්ඩු කරන පිළිවෙතකට නොගිය අතර එම ගනුදෙනු බේරාගත්තේ විදේශීය සේවයේ නියුතු පළපුරුදු පුද්ගලයන් විසින් පිළිගත් රාජ්‍යතාන්ත‍්‍රික ආකාරයකටය.

එල්ටීටීඊයට එරෙහිව මහින්ද රාජපක්ෂ යුගයේදී කෙරුණු යුද්ධය කෙරෙහි බටහිර බලවතුන් සැකයෙන් හා විමතියෙන් බලන තත්ත්වයක් පැවතියද රනිල් වික‍්‍රමසිංහ යුගයේදී ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ අතරමැදියා ලෙස ක‍්‍රියා කළ නෝර්වේ රාජ්‍යය හැර කිසිදු බටහිර බලවතකු එල්ටීටීඊය ආරක්ෂා කරගත යුතුයි කියන පිළිවෙතක පිහිටා ක‍්‍රියා කළ බව පෙනෙන්නට නැත.

ඇමරිකාව හා ඉන්දියාව එල්ටීටීඊයේ මුහුදු සැපයුම් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු ලබාදීමෙන් ආණ්ඩුවේ එම යුදමය ක‍්‍රියාමාර්ගයට සහාය වීයැ’යි කිව හැකිය. යුද්ධය පැවති කාලයේදී එල්ටීටීඊය වෙනුවෙන් ගුවන් නාශක මිසයිල් තොගයක් මිලදී ගැනීමට දරන ලද උත්සාහයකදී එය ව්‍යර්ථ කරන ලද්දේ ඇමරිකාව විසිනි. එල්ටීටීඊයේ රඳා පැවැත්ම ආරක්ෂා කිරීමට ඇමරිකාවට අවශ්‍ය වී නම් ඔවුන් එම මිසයිල් තොගය මිලදී ගැනීමට දරන උත්සාහයේදී අහක බලාගෙන සිටීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හැකියාව ඇමරිකාවට තිබුණි.

එම මිසයිල් තොගය එල්ටීටීඊය අතට පත්වී නම් එල්ටීටීඊය පරාජය කිරීම මීට වඩා දුෂ්කර වන්නට ඉඩ තිබුණා සේ ම ආරක්ෂක හමුදාවන්ට සිදුවන හානිය මීට වඩා විශාල වන්නටද ඉඩ තිබුණි.

එහෙත් ඇමරිකාව ඇතුළු සියලූ බටහිර බලවතුන් අතර එල්ටීටීඊය අවසන් වශයෙන් පරාජය කෙරෙන ආකාරය පිළිබඳව සැකයක් හා කුකුසක්ද තිබුණි. එහිදී ප‍්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන සිටි දෙමළ ජනතාවට කුමක් විය හැකිද යන ප‍්‍රශ්නයක් ඔවුන්ට තිබුණි. එසේම ඒ වනවිට එල්ටීටීඊයට හිතවත් දෙමළ ඩයස්පෝරාව බටහිර රටවල වීදි බසින තත්ත්වයකට පත්ව සිටීම තුළ ලංකාවේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අවසන් වන විට එල්ටීටීඊයට හිතවත් ඩයස්පෝරාව ආශ‍්‍රයෙන් යුරෝපයේ ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදයක් ඇතිවේද යන ප‍්‍රශ්නයද ඔවුන් ඉදිරියේ තිබුණි. ඒ සමග දෙමළ ඩයස්පෝරාවට යුරෝපයේ හිමි ප‍්‍රබල තත්ත්වය නිසා හා ලංකාවේ සිංහල ආණ්ඩුව දෙමළ ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් ලබාදී නැති බවට බටහිර බලවතුන් අතර පැවති විශ්වාසයද බටහිර බලවතුන් මෙම ප‍්‍රශ්නය දෙස බලන ආකාරය තවදුරටත් සංකීර්ණ කර තිබුණේය.

යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ බටහිර බලපෑම් බටහිර රටවල පැවති එම ව්‍යාකූල මානසික වටාපිටාවේ තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. යුද්ධය අවසන් වන තෙක් බටහිරින් එල්ල වන බලපෑම් නොසලකා ශ‍්‍රී ලංකා ආණ්ඩුව සිය යුද්ධ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම නිවැරදිය.

එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු බටහිර බලවතුන්ගෙන් එල්ල වන ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ඔවුන්ට සන්සුන් ලෙස හා තර්කානුකූල ලෙස කරුණු පැහැදිලි කරදෙන පිළිවෙතින් පිට පැන එවැනි රටවලට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැණ වදිමින් ප‍්‍රතිචෝදනා එල්ල කරමින් පහර දෙන පිළිවෙතකට යොමුවීම පිළිගත හැකි සුදුසු පිළිවෙතක් ලෙස සැලකිය නොහැකිය.

යුද්ධය අවසන්වීමෙන් පසු ප‍්‍රශ්න කරන්නන්ට එරෙහිව ක‍්‍රියාත්මක කළ මෝඩ සටන්කාමී පිළිවෙත කෙරෙහි විශේෂ න්‍යායවාදයක්ද බලපා තිබුණේයැ’යි කිව හැකිය. ඇතැම් තරුණ න්‍යායවාදීන් දෘෂ්ටිමය වශයෙන් දුප්පත් තත්ත්වයකට තිබූ ආණ්ඩුවේ මොළයට කාවද්දා තිබූ එම න්‍යායවාදයට අනුව ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් ඉන්නේ ඔවුන්ට තිබෙන ලෝක ආධිපත්‍යය අහිමිවෙමින් තිබෙන අවස්ථාවකය. ලෝක ආධිපත්‍යය බටහිරින් පෙරදිගට මාරුවෙමින් තිබෙන අතර ලෝක ආධිපත්‍යයට අලූතෙන් හිමිකම් කියන එම රටවල් කණ්ඩායමේ නායකත්වය හිමිකරගෙන සිටිනුයේ චීනයයි.

ඒ නිසා ලංකාව ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ට බියවිය යුතු හෝ ඔවුන්ට බර තබා ක‍්‍රියාකළ යුතු හෝ නැත. ඒ වෙනුවට ශ‍්‍රී ලංකාව ඉදිරියට යායුත්තේ බටහිර විරෝධී චීනය ප‍්‍රමුඛ විකල්ප ලෝක බලවතුන් සමගය. චීනය හා රුසියාව අප සමග සිටින තෙක් බටහිර බලවතුන්ට අපට එරෙහිව කළහැකි කිසිවක් නැත. මෙම න්‍යායවාදයේ ඇති අරුත් විරහිතභාවය මීට කලකට පෙර විස්තරාත්මකව කතා කර ඇති බැවින් ඒ ගැන මෙහිදී සලකා බලනු නොලැබේ.

 ආණ්ඩුව එම න්‍යායවාදයේ මෝඩ සිරකරුවකු වීම නිසා රටට සිදුවූ හානිය අතිවිශාලය. අපගේ අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළ ගොඩනැගී තිබුණේ ඒ කියන විකල්ප බලවතුන්ගේ ලෝකයේ නොව බටහිර බලවතුන්ගේ ලෝකයේය. ඒ නිසා බටහිර බලවතුන්ගේ හොඳ හිත අපේ පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියක් බව තේරුම් ගැනීමට අපි අසමත් වීමු.

 ගතයුතු මග

 යුද්ධයෙන් පසුව වගවීමක් ඉල්ලා සිටීම සේ ම ප‍්‍රතිසන්ධානය ඉල්ලා සිටීම ඉතාමත් ස්වාභාවිකය.

ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට හේතුවී තිබෙන සිද්ධීන් කිහිපය තෝරාගෙන ඒවා ගැන සාධාරණව සොයා බලන තැනකට ගියේ නම් හා දෙමළ ප‍්‍රශ්නයට පිළිගත හැකි සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදෙන තැනකට ගියේ නම් විශාල වන්දි ගෙවීමකින් තොරව මෙම ආරාවුල බේරාගත හැකිවන්නට ඉඩ තිබුණි. එවැනි පිළිවෙතකට යෑම ශ‍්‍රී ලංකාව දිගින් දිගට ප‍්‍රතික්ෂේප කළේය. ඒ නිසා අවසානයේදී බටහිර බලවතුන් පමණක් නොව අසල්වාසි ඉන්දියාවද අප සමග උරණ විය.

දැන් අප ඉන්නේ තීරණාත්මක අවස්ථාවකය. වගවීමට අදාළ ප‍්‍රශ්න ගැන දේශීය වශයෙන් අපට ලබාදී තිබූ අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට අපි අසමත් වීමු. ඒ තත්ත්වය තුළ ජාත්‍යන්තර පරීක්ෂණයක් නොවැළැක්විය හැකි යථාර්ථයක් බවට පත්වී තිබේ. එම ක‍්‍රියාවලියට එකඟවෙමින් ඊට අනුගතවී සහයෝගයෙන් ක‍්‍රියාකරන තැනකට නොගියහොත් සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවිය හැකිය.

සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවුවහොත් රට නැත්තටම නැතිවන තත්ත්වයක්ද ඇතිවිය හැකිය. සම්බාධක පනවන තත්ත්වයක් ඇති වුවහොත් එය කවර මට්ටමකින් ක‍්‍රියාත්මකවේදැ’යි මේ මොහොතේ කිව නොහැක.

සමහරවිට ලිහිල් විය හැකිය. තවත් සමහරවිට එය ඉතා දරදඬු විය හැකිය.

සම්බාධක පනවන තත්ත්වයකට මුහුණදී එම තත්ත්වය සාර්ථක ලෙස ජයගත් කවර රටක්වත් නැති තරම්ය. සම්බාධක පනවන තත්ත්වයකට මුහුණ දුන් අපට වටා ඉතා බලවත් රටවල් පවා නැත්තටම නැතිවන තත්ත්වයකට පත්වී තිබේ. චීනයට හෝ රුසියාවට ඒ රටවල් බේරාගත හැකිවූයේ නැත. ප‍්‍රශ්නය දුරදිග යන තත්ත්වයක් ඇතිවුවහොත් අපේ ගුවන් තොටුපොළවලට හා වරායවලට ගුවන්යානා හා නැව් ඒම පවා තහනම් කළ හැකිය. අවසානයේ අපට සියලූ පැරණි හුරු පුරුදු අතහැර අප වවා ගන්නා දේවල් පමණක් පරිභෝජනය කළ යුතු වෙළෙඳාම හා කර්මාන්ත අහිමි කරගත් උසස් අධ්‍යාපන හා විදේශ ගමනාගමනය අහිමි කරගත් කාලකණ්ණි ජාතියක් බවට පත්විය හැකිය.

අවසාන වශයෙන් විය හැකි හානියේ ස්වභාවය මේ අවසාන මොහොතේදීවත් ආණ්ඩුව සේ ම විරුද්ධ පක්ෂද රටේ ජනතාව සේ ම බුද්ධිමතුන්ද තේරුම් ගත යුතුය. විය හැකිව තිබෙන හානිය අවම කරගත හැකි පිළිවෙතක් අප තෝරාගත යුතුය.

 මේ මොහොතේ කළ හැකි හොඳම දේ සර්ව පාක්ෂික ලෙස සර්ව වාර්ගික හා සර්ව ආගමික ලෙස පොදුවේ කරුණු සලකා බලන තැනකට රට යොමු කිරීමය. සියලූ පක්ෂ හා දේශපාලන පක්ෂ සම්බන්ධ කරගන්නා සර්ව පාක්ෂික සාකච්ඡාවක් ආරම්භ කොට වගවීම හා ප‍්‍රතිසන්ධානය සඳහා පිළිගත හැකි ක‍්‍රියාකාරී වැඩපිළිවෙළක් සර්ව පාක්ෂික මට්ටමෙන් ප‍්‍රකාශ කළ හැකිය.

එවැනි වැඩසටහනක් ජාත්‍යන්තර ප‍්‍රජාවගේද පිළිගැනීමට හේතුවිය හැකිය.

ඒ මගින් රටේ දේවල ක‍්‍රියාකාරීත්වය වඩා ප‍්‍රශස්ත ආකාරයකින් සිදුවන තත්ත්වයක් ඇති කළ හැකිවා සේ ම එවැනි ජාතික වැඩසටහනක් ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය අවම කරගැනීමට ද හේතුවිය හැකිය.

අවසාන වශයෙන් අපට තෝරාගැන්මට තිබෙන්නේ ජාත්‍යන්තර පරික්ෂණයකට ඉඩ දෙනවාද නැද්ද යන ප‍්‍රශ්නය නම් ඒකපාර්ශ්වික පරීක්ෂණයකට ඉඩ නොලැබෙන ලෙස ඊට හවුල් වී ඇතිවිය හැකි හානිය අවම කරගත යුතුය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )