Merry Christmas !.


Merry_Christmas_wallpapers_xmas_festival_jesus_christ_holidays_06

මා කිතුනුවෙකු නොවේ. කිතුනුවෙකු නොවන මගේ ඇසින්  නත්තල මම දකින විට යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි. එබැවින් කියවන්නෝ මා කෙරෙහි කමා විය යුතුය. වරද පෙන්වා දිය යුතුය.තරවටු නොකල යුතුය.

කිතු සමිදාණන් මෙලොව බිහිවීම සමරන නත්තල ලොව පුරා කිතුනුවෝ ඉතා උත්කෘෂ්ඨ අන්දමින් සමරමින් පවත්වන  උත්සවයකි. නත්තල ආගමික උත්සවයකට වඩා සැණකෙළියක ස්‌වරූපය දරන බව  කඩුල්ල ට සිතෙයි.”නත්තල” යනුවෙන් සමරනු ලබන ආගමික උත්සවය ශාන්ත ලූකස්‌තුමාගේ සුවිශේෂයේ සඳහන්ව ඇති අන්දමට  ලයාන්විත සිත් සසල කරන පුවතකි .

ජන සංගණනයක්‌ සඳහා තම උත්පත්ති ප්‍රදේශයට පැමිණිය යුතු යෑයි එකල රෝම අධිරාජ්‍යයා වූ ඔගස්‌ටස්‌ සීසර් සියලුම යටත් වැසියනට නියෝග කළේය. මේ අනුව දාවිත්ගේ රාජ්‍යයෙන් ( තම උපන්  දේශයට)      පැවත ආ ශාන්ත ජුසේතුමා ගැබ්බර මරියතුමිය සමඟ බෙත්ලෙහෙම් නගරය කරා පැමිණියේය. එදින බෙත්ලෙහෙම් නුවර නවාතැන් පලවල්  සියල්ල පිරී ඉතිරී පැවැති හෙයින් ජුසේතුමාට සහ මරියතුමිය ලැගුම් ගැනීමට සිදුවූයේ බෙත්ලෙහෙම් නුවර කොනක පාළු ගව ලෙනකයි.

මෙම ගවහලේදී විළිරුදාව ලත් මරියතුමියට ගව ඔරුවක දිව්‍ය බිළිදුන්  මෙලොවට බිහි කළාය.

ලෝකය පවින් ගලවා ගැනීම සඳහා මෙලොව එලිය දුටු ඒ  දෙව් මහෝත්තමයාණන් වූ ඒ දිව්‍ය බිළිදුන්  මෙලොවට බිහිවූ  ශුභාරංචිය සුර දූතයන් විසින් බෙත්ලෙහෙම් නුවර අසල තැනිතලාවක තම බැටළුවන් රැක බලා ගනිමින් සිටි අහිංසක එඩේරුන්ට පලමුව ප්‍රකාශ කරන විට බෙත්ලෙහෙම් නුවර බොජුන්හල්වල හා තානායම්වල කමින් බොමින් හා නටමින් ප්‍රීති වූ වරප්‍රසාද ලත් උසස්‌ පංතියට එම සුභ ආරංචිය නොඇසුනි.

කිතුනු උපත සැමරීම සෑම වසරකම දෙසැම්බර් මස 25 දින නත්තල් උත්සවය පවත්වනු ලබන නමුත් බයිබලයේ කොතැනකවත් ක්‍රිස්‌තුන් වහන්සේගේ  උපන් දිනය  නොමැති බව සදහන්ය. 3 වැනි ශතවර්ෂය වන තෙක්‌ම නත්තල කිතුනු මංගල්‍යයක්‌ ලෙස සමරා නොමැති බව සදහන්වේ. ප්‍රධානතම කිතුනු මංගල්‍යය ලෙස  ක්‍රිස්‌තුන් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම සමරන පාස්‌කු මංගල්‍යය  බව සදහන් වේ . බෙත්ලෙහෙම් නුවරට  වැසි හා කුණාටු සහිත ශීත සෘතුව වූ දෙසැම්බර් මස එඩේරුන්  තම බැටළුවන් රැකබලා ගැනීම සඳහා තැනිතලාවක නිරත වූයේ යෑයි සිතිය නොහැකි අතර නියත වශයෙන් කිතුනු උපත සිදුවූයේ අගෝස්‌තු මස දිනයකදී යෑයිද  කියනු ලැබේ.

කිතුනු උපතටත්  පෙර රෝමන්වරුන් විසින් දෙසැම්බර් මස 25 වැනි දින හිරු පිදීමේ උත්සවයක්‌ පවත්වා ඇත . 3 වැනි ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳගත් පසු  නරපති කොන්ස්‌ටන්ටයින් අධිරාජ්‍යයා රෝමන්වරුන්ගේ හිරු පිදීමේ උත්සවය වෙනුවට එදින කිතුනු උපත සැමරීමට යොදාගත යුතු යෑයි නියෝග කළේය.  ක්‍රි. ව. 325  දී පාප් පදවිය දැරූ රෝමයේ අගරදගුරු ලිබෝරියස්‌ තුමා දෙසැම්බර් මස 25 දින කිතුනු උපත සැමරීම සඳහා නත්තල් උත්සවය පැවැත්වීම අනුමත කළේය.

මෙසේ කිතුනු උපත හෙවත් නත්තල දෙසැම්බර් 25 දින පැවැත්වීමට සම්මුතියක්‌ ඇතිවූ පසු කලින් පැවැති රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය, ග්‍රීක්‌වරුන්ගේ සැටරනිලා උත්සවය හා යුරෝපයේ අනෙකුත් කාලීන උත්සවයන්ගේ අංගෝපාංග හා සම්ප්‍රදායන්ද  නත්තල් උත්සවය හා එක්වීමෙන්   ආගමික උත්සවයකට වඩා   විනෝදකාමී සැණකෙළියක්‌ බවට නත්තල් උත්සවය  විකාශණයවේ.

මෙරටද පෘතුගීසි යුගයේ පටන් නත්තල මහත් උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. කිතුණ බැතිමතුන් නත්තල මහා පරිමාණයෙන් හා සැණකෙලි ස්‌වරූපයෙන් පවත්වනු ලබන ආගමික උත්සවයකි.

මෙකල නත්තලද වෙලෙන්දන්ගේ ග්‍රහණයට පත්ව ඇත.ඔක්තෝම්බර අවසාන සතියේ පටන් මාධ්‍ය නත්තල දඩයම් බිමක් බවට පත් කරගනී.  ගුවන් විදුලියේ රූපවාහිණියේ පුවත්පත්වල  නත්තල් වෙළෙඳ භාණ්ඩ අලවි කරගැණිමේ මෙහෙයුම් දියත්වේ.  වෙළෙඳසල් නොයෙක්‌ මාදිලියේ ඇඳුම් – පැළඳුම්, ආහාරපාන හා විසිතුරු භාණ්‌ඩ ආදියෙන් පිරී ඉතිරී යයි. නත්තල ආසන්න වෙත්ම සාප්පු සවාරි යන්නන් නිසා නගර මහත් තදබදයකි.  අපිට සිතිය නොහැකි තරම් මිල ගනන් වටිනා නත්තල් හැම්පර වෙළෙඳසල්වලින් තෑගි දීම සඳහා අලෙවි වේ.ලංකාවේ සෑම නගරයකම පාහේ ප්‍රධාන හෝටල් වල නත්තල් සඳහා නොයෙකුත් සාදයන් හා බාල් නැටුම්ද සංවිධානය කරනු ලැබේ.

මධ්‍යහන යුගයේදී නත්තල් සම්ප්‍රදායයන්ගෙන් මුල් තැන හිමිවනුයේ ශාන්ත ප්‍රැන්සිස්‌ අසිසිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ ගවලෙනටය. නත්තල් සමයේදී සෑම දෙව්මැඳුරක මෙන්ම කිතුනු නිවසක ද ගව හලක කිතුනු සමිදාණන්ගේ උපත ද දක්‌වන ගවලෙනට විශේෂ තැනක්‌ හිමිවේ.

බොහෝ නත්තල් ශුභ පැතුම් පත්වලද ගවලෙන දක්‌වන චිත්‍රයක්‌ දක්‌නට ලැබේ.කැරොල් ගායනයද තවත් විශේෂ නත්තල් සම්ප්‍රදායයකි. කැරොල් ගායනයෙහි ප්‍රධාන තේමාව සුර දූතයන් කිතු උපත එඩේරුන්ට ප්‍රකාශ කිරීම වන අතර නත්තල් සමයේදී කැරොල් ගායනය ලොව පුරාම පවත්වනු ලැබේ. ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට බිහිවූයේ අන්ත අසරණ දූගී බිළිඳකු වශයෙන් නිසා නත්තල් සමයේදී දූගී දූ දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ. ඒ අනුව දිළිඳු දරුවන්ට සෙල්ලම් බඩු හා අනෙකුත් තෑගි ගෙනෙන නත්තල් සීයා සෑම රටකම දක්‌නට ලැබෙන නත්තල් විශේෂාංගයකි.

එහෙත් දැන් තත්ත්වය වෙනස්‌ වී ඇත. එදා කිතු උපත පිළිබිඹු කළ නත්තල් සම්ප්‍රදායන් මෙදා වාණිජමය හා වෙළෙඳපොළ ප්‍රයත්නයන් විසින් විනාශ කරමින් යටපත් වෙමින් පවතී. අද නත්තල් ගවලෙන එහි තිබෙන ශුද්ධවත්භාවය හා සරල සුන්දරත්වයට වඩා තම පුරාජේරුව ප්‍රදර්ශනය කරන සංකේතයක්  බවට පත්ව ඇත. එදා තිබූ නත්තල් නාට්‍ය , භක්තති ගීත අද සංගීත සංදර්ශන විසින් බිලි ගෙන ඇත.මේ අතර බොහෝ තැන්හි සුරාපානය කොට ගී ගයමින් හා බදාගෙන නැටුම් පවත්වමින් නොයෙකුත් විකාර කරමින්, පවත්වන නත්තල් සාද ක්‍රිස්‌තු උපතට කරන්නේ මහත් අගෞරවයකි. වාණිජත්වයට මුල්තැනදී නත්තල නමින් මහත් සැණකෙළි ස්‌වරූපයෙන් පවත්වන සරුවපිත්තල උත්සවය වෙනුවට ක්‍රිස්‌තුන් වහන්සේ ගවලෙනක ඉපදී දැක්‌වූ ආදර්ශයට ගැළපෙන පරිදි කිතු උපත අධ්‍යාත්මයට මුල්තැනදී සරල අන්දමින් පැවැත්වීමට පියවර ගත යුතුවේ.

බෞද්ධවු අපද අපේ ආගමික උත්සව විකෘති කරගෙන සමරමින් නිර්මාතෘන් වහන්සේලාට අගෞරවයක් වන ලෙස කටයුතු කරමින් සිටිමු.  ක්‍රිස්‌තුන් වහන්සේ  මෙන්ම බුදුරජානන් වහන්සේද මෙලොව ගත කළ සරල දිවිය අනුව යමින් කතෝලික  බෞද්ධ සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා සංස්‌ථා හැඩගැස්‌සවීමට  අප යොමුවන්නේ නම් නත්තලින් පසු උදාවන නව වසර සුවබර සිතිවිල්ලෙන් පිරි වසරක් වේ යයි කඩුල්ලට සිතෙයි.

2 comments on “Merry Christmas !.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )