රට ගැන සිතා තීරණ ගනිමු – සජිත් ප්‍රේමදාස



 දිවයින උපුටා පලකරයි

sajith premadasa
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කරන මේ මොහොතේ වර්තමාන ආර්ථිකය පිළිබඳව කරුණු කිහිපයක්‌ ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වනවා.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි,

අද වනකොට අපේ රටේ සියලු දෙනාම මූල්‍යමය මර උගුලක – financial deathtrap එකක පැටලිලා සිටිනවා. මම එහෙම කියන්නේ ඇයි? අද අයවැය හිඟය දිහා බලන්න. පසුගිය වසරේ ඉලක්‌කය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක්‌ හැටියට සියයට 6.2 යි. නමුත් එය ඉක්‌මවා ගිහිල්ලා සියයට 6.4 ක්‌ දක්‌වා යන්නට සිදුවෙලා තිබෙනවා. මේ වසරේ ඉලක්‌කය සියයට 5.8 යි. මා හිතන හැටියට එය යථාර්ථවාදී නොවන ඉලක්‌කයක්‌. අර සියයට 6.4 ක දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය ලබාගත්තේ රජයේ ගිණුම්වලට අයවිය යුතු වියදම රාජ්‍ය බැංකුවල ණය හැටියට අංක ගණිත ජිල්මාට්‌ එකක්‌ කරලායි.

ඒ වාගේම 2002 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සම්මත වුණු මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ සඳහන්වෙලා තිබෙනවා, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 ක්‌ හැටියට අය වැය හිඟය පවත්වාගෙන යන්නට ඕනැයි කියලා. අද රාජ්‍ය ආදායමට සිදු වෙලා තිබෙන්නේ මොකක්‌ද? එන්න එන්නම අඩු වෙනවා. බරපතළ ප්‍රශ්නයක්‌. 1990 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක්‌ හැටියට තිබුණු සියයට 23.2 ක රාජ්‍ය ආදායම 2011 වසර වනකොට සියයට 12.4 ක්‌ දක්‌වා පහළ වැටිලා තිබෙනවා.

අපි මැදි ආදායම් ලබන රටක්‌ලු. නමුත් බොහෝ මැදි ආදායම් ලබන රටවල දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 25 ක්‌ හැටියට රාජ්‍ය ආදායම තිබෙනවා.

මොකක්‌ද බදු ආදායමට සිදුවෙලා තිබෙන්නේ?

2007 දී රුපියල් මිලියන දොළොස්‌දහස්‌ දෙසීයක්‌ හැටියට තිබුණු බදු ආදායම 2011 වන කොට රුපියල් මිලියන හයදහස්‌ තුන්සියය දක්‌වා අඩුවෙලා තිබෙනවා. ඒ වාගේම අපේ රටේ බදු ව්‍යුහය තුළ බරපතළ දුර්වලතාවක්‌ තිබෙනවා. රාජ්‍ය බදු ආදායමින් සියයට 72 ක්‌ ලැබෙන්නේ වක්‍ර බදුවලින්. ඒවා ප්‍රතිගාමී බදු.

එයින් සියයට 51 ක්‌ ලැබෙනවා භාණ්‌ඩ හා සේවා බදුවලින්. සියයට 21 ක්‌ ලැබෙනවා, ආනයනික භාණ්‌ඩ බදුවලින්. ඒ විදියට තමයි රාජ්‍ය බදු ආදායමින් සියයට 72 ක්‌ වන වක්‍ර බදු – ප්‍රතිගාමී බදු – ලැබෙන්නේ. සෘජු බදුවලින් ලැබෙන්නේ සියයට 17 ක ආදායමක්‌ පමණයි.

මොකක්‌ද මේකේ තේරුම? රජයට මුදල් අවශ්‍ය වන හැම අවස්‌ථාවකදීම වක්‍ර බදු – ප්‍රතිගාමී බදු – වැඩි කරනවා. පුද්ගලයකුගේ ආදායම පිළිබඳ කිසිම සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැතිව ආදායමට සරි නොවන ආකාරයට බදු වැඩි කිරීම තුළින් දුප්පතාගේ බඩට ගැසීමක්‌ තමයි සිද්ධ වෙන්නේ.

ඒ වාගේම රාජ්‍ය වියදම දිහා බලන්න.

අද මේ රජය රාජ්‍ය වියදම කරන්නේ ඵලදායී නොවන ආකාරයට. අපි ආයෝජන ප්‍රමුඛතාවන් – investment priorities – දිහා බලමු. වියදම් ප්‍රමුඛතාවන් – expenditure priorities – දිහා බලමු. දැයට කිරුළ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි ව්‍යාපෘති ගැන අපි කුහකකමින් කතා කරන්නේ නැහැ. නමුත් මේවායේ ඵලදායීත්වය පිළිබඳව අපට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.

නැව් එන්නේ නැති, රක්‌ෂා බිහි කරන්නේ නැති හම්බන්තොට වරායක ඵලදායීතාව පිළිබඳව අපි ප්‍රශ්න කරන්නට ඕනෑ. ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපළවලින් තිබෙන ඵලදායීත්වය පිළිබඳව අපි ප්‍රශ්න කරන්නට ඕනෑ.

“දැයට කිරුළ” කියන්නේ මහා මුදල් නාස්‌තියක්‌. ඒක දැයට කිරුළක්‌ නොවෙයි, බෙල්ලට තොණ්‌ඩුවක්‌ හැටියට අද මුළු රටම හඳුනාගෙන හමාරයි. හැබැයි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක මහා මඟුල වෙනුවෙන්, BMW වාහන 100 ක්‌ සහ Rolls – Royce වාහන 12 ක්‌ සඳහා කෝටි 393 ක්‌ වැය කිරීම පිළිබඳව අපි කතා කරන කොට, අද කලබල වෙලා කඩිමුඩියේ ඒ නින්දිත, දුර්දාන්ත සැලසුම් වහ ගන්නට, හංගන්නට වර්තමාන රජය කටයුතු කරනවා.

කෝටි 393 ක්‌ මේ වාගේ වාහනවලට වියදම් කරන්නට සැලසුම් කරන කොට අමතක කරන්නට එපා, අද අපේ රටේ ඖෂධ හිඟයක්‌ තිබෙන බව. ඖෂධ වෙනුවෙන් අය වැයෙන් මිලියන විසිඑක්‌ දහස්‌ හාරසියයක්‌ වෙන් කළත්, මේ මැයි මාසය වන විට එයින් පහළොස්‌ දහස්‌ එකසියයක්‌ වියදම් කර හමාරයි. අද වන කොට බරපතළ ඖෂධ හිඟයක්‌ තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරපු රුපියල් බිලියන එකසිය විසිපහෙන් රුපියල් බිලියන පහක්‌ කපා දමන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලක මැතිතුමාට භාණ්‌ඩාගාරයෙන් උපදෙස්‌ දීලාත් හමාරයි.

එවකට හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මැතිතුමා 2011 අගෝස්‌තු 11 වැනිදා මේ උත්තරීතර සභාවට ඇවිල්ලා කිව්වා, අපේ රටේ පාසල් ළමුන්ගෙන් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශතය 2005-2010 ත් අතර කාලයේ 12 සිට 17 දක්‌වා වැඩි වුණා කියලා. මම නොවෙයි ඒක කියන්නේ. හිටපු නියෝජ්‍ය අධ්‍යාපන ඇමැතිතුමා මේ ගරු සභාවට ඇවිල්ලා ඒක කියන්නේ.

රටේ මේ වාගේ ප්‍රමුඛතා තියෙද්දී, ඖෂධ හිඟයක්‌ තියෙද්දී, වෛද්‍ය උපකරණ හිඟයක්‌ තියෙද්දී, පාසල් යන දූ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, මේ රටේ බාල් නටන්න, ජෝගි නටන්න, රාජ්‍ය නායකයන් ගෙන්වලා මඟුල් නටන්න රුපියල් කෝටි 393 ක වාහන ගෙන්වන්නට කටයුතු කිරීම මහා නින්දිත ක්‍රියාදාමයක්‌ හැටියටයි මම දකින්නේ.

අද රාජ්‍ය ආයතන ක්‍ෂේත්‍රයේ පාඩු ලැබීම සුපුරුදු කටයුත්තක්‌ බවට පත්වෙලා. ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ නොපියවූ මුළු වගකීම් ප්‍රමාණය 2011 දී රුපියල් බිලියන 160.6 යි. 2012 වෙනකොට ඒක රුපියල් බිලියන 245 දක්‌වා වැඩි වෙලා. සියයට 52.6 ක වැඩිවීමක්‌. 2012 මහ බැංකු වාර්තාවට අනුව රාජ්‍ය ආයතනවල පාඩු ටික මෙහෙමයි. හොඳට අහගන්න, ලංකා විදුලිබල මණ්‌ඩලයේ රුපියල් කෝටි 6120 යි. ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ රුපියල් කෝටි 8970 යි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ රුපියල් කෝටි 382 යි. දුම්රිය සේවයේ රුපියල් කෝටි 379 යි. ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්‌ රුපියල් කෝටි 2050 යි. මිහින් ලංකා රුපියල් කෝටි 100 යි. තැපැල් සේවයේ රුපියල් කෝටි 500 යි. මේ අනුව ආයතන හතක පමණක්‌ පාඩුව රුපියල් කෝටි 18,500 යි.

එතකොට මොකක්‌ද සිද්ධ වන්නේ? රජයට සිද්ධ වෙනවා, රට ණය මර උගුලක අටවලා ණය අරගෙන පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කරන්න.

ඊළඟට වෙළෙඳ හිඟයට අපේ අවධානය යොමු කරමු. අද අපේ රටේ අපනයනවලින් දෙගුණයක්‌ ආනයන වෙත යොමු වෙනවා. 2012 මුල් මාස නවය තුළ අපනයන පහත වැටිලා තිබෙනවා. කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 8.2 කින් පහත වැටිලා. තේ අපනයන ආදායම සියයට 6.6 කින් පහත වැටිලා. කාර්මික අපනයන ආදායම සියයට 6.9 කින් පහත වැටිලා. ඇඟලුම් අපනයනය සියයට 4.3 කින් පහත වැටිලා.

අපි අපනයන ප්‍රවර්ධනය කරන්නට විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්නට ඕනෑ. නමුත් එහෙම වැඩසටහනක්‌ නැහැ.

මූල්‍ය පහසුකම් ලබාදීලා, බදු සහන ලබාදීලා. අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ලක්‌ කර, අපනයන භාණ්‌ඩ විවිධාංගීකරණයට ලක්‌ කර ඒ වාගේම අපනයන ප්‍රවර්ධන ගම්මාන – Export Promotion Villages – වැඩසටහන යනාදී වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට මුදල් අමාත්‍යාංශයත් ඒ වාගේම අපනයන සංවර්ධන මණ්‌ඩලයත් කටයුතු කරන්නට ඕනෑ. ජපන් රටෙන් අපිට හොඳ ආදර්ශවත් උදාහරණ තිබෙනවා. METI ආයතනය – Ministry of Economy, Trade and Industry එක – 1950 ගණන්වල 1960 ගණන්වල කොහොමද අපනයන ආශ්‍රිත මහා සංවර්ධන ක්‍රියාදාමයක්‌ දියත් කළේ කියන එක පැහැදිලිවම එම ආයතනයෙන් අපිට ඉගෙනගන්න පුළුවන්කම ලැබෙනවා.

නමුත් අද මේ අපනයන සංවර්ධන මණ්‌ඩලය – Export Development Board එක – සුදු අලියෙක්‌ බවට පත්වෙලා තිබෙනවාය කියන කාරණය මම මේ අවස්‌ථාවේ ප්‍රකාශ කරන්නට කැමැතියි. ඒ වාගේම ආශ්චර්යවත් ශ්‍රී ලංකාවක්‌ පිළිබඳව අද මහ ලොකුවට පම්පෝරි ගහනවා.

සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳව සාකච්ඡා වන මේ මොහොතේ කනගාටුවෙන් හෝ කියන්නට ඕනෑ, අපේ රටේ වී ගොවියාට වී ටික අලෙවි කර ගන්නට බැරිව අද නන්නත්තාර වෙලා සිටින බව. මහ ලොකුවට පම්පෝරි ගහනවා. නාඩු සහල් කිලෝව රුපියල් 32 ට දෙනවා. සම්බා සහල් කිලෝව රුපියල් 35 ට දෙනවාය කියා. නමුත් වී කිලෝවක්‌ නිෂ්පාදනය කරන්නට අද රුපියල් 32 ක්‌ යනවා.

වී මිලදී ගැනීමේ මධ්‍යස්‌ථාන 82 ක්‌ තිබුණාට අ පේ රටේ වාර්ෂික වී නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් හැටපන් ලක්‍ෂයක්‌ වුණාට මේ නින්දිත දුර්දාන්ත ආණ්‌ඩුව වී ගොවියාගෙන් සියයට 5 යි වී මිලදී ගන්නේ. ගොවියාට එක එක කොන්දේසි දමනවා. සියයට 14 ක තෙතමන බර එයින් ඉහළට ගියොත් ගොවියාට කිසිම සහනයක්‌ ලබාදෙන්නේ නැහැ.

හැබැයි, මුදලාලිට කොමිස්‌ මුදලට පගාවට දූෂණයට වංචාවට අද තැන තිබෙනවා. ඇත්තවශයෙන්ම මහ ලොකු ආශ්චර්යවත් ආණ්‌ඩුවක්‌ නම් වී ගොවියාට රුපියල් 40 ක සහතික මිලක්‌ ලබාදෙන්නට මේ ආණ්‌ඩුවට කොන්දක්‌ නැද්ද කියා මම මේ අවස්‌ථාවේ අහන්නට කැමැතියි.

අලුත් අවුරුද්දෙන් පසු මේ රටේ වී මිලදී ගැනීම ක්‍රියාත්මක කර නැහැ. එය ලජ්ජා සහගත දෙයක්‌. එපමණක්‌ නොවෙයි, විගණකාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා, 2012 වී මිලදී ගැනීමට වෙන් කළ රුපියල් මිලියන 9,000 කට මොනවා වුණාද දන්නේ නැහැ කියා. රුපියල් බිලියන 9 ක්‌ වියදම් කළේ කොහොමද, කොහෙන්ද වී ටික ගත්තේ, කොයි විදියට ද ඒ වී ටික අලෙවි කළේ කියන එක පිළිබඳව කිසිම වාර්තාවක්‌ නැහැ. කිසිම රෙගුලාසියක්‌ නැහැ. කිසිම තොරතුරක්‌ නැහැ.

ඒ නිසා මෙන්න මේ වාගේ තත්ත්වයක්‌ තුළ නොබෙල් ත්‍යාගය දිනාගත් ඇමරිකානු ආර්ථික විශේෂඥවරයා කිව්වා, ඇමරිකා එක්‌සත් ජනපදය පිළිබඳව ආර්ථික ප්‍රාර්ථනා ලැයිස්‌තුවක්‌ – economic wish list එකක්‌ – තිබෙනවාය කියා.

එලෙසම මටත් තිබෙනවා. මේ රටේ ආර්ථිකය පිළිබඳව ප්‍රාර්ථනා ලැයිස්‌තුවක්‌. ඒ තමයි මේ රටේ සීමිත සම්පත් රටේ ජනතවගේ සුබසෙත උදෙසා, රටේ සුබසිද්ධිය උදෙසා, වංචාව, දූෂණය, හොරකම තුරන් කරලා අර්ථවත් ඵලදායී ජනතාවගේ ඇඟට පතට හදවතට බඩට කටට දැනෙන සංවර්ධන සංග්‍රාමයක්‌ දියත් කරන්නට මේ රට වනසන මේ ආණ්‌ඩුවට රටේ ජනතාවට සහන ලබාදෙන්නට ප්‍රඥව, බුද්ධිය පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්‌වල්පය මෙයින් අවසන් කරනවා.

පාර්ලිමේන්තු කතාවක් ඇසුරිණි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )