පොලිසිය ලස්සනයි ?.


84247048Police

කඩුල්ලට පොලිසියට යන්න තවත් අවස්ථාවක් උදාවුනා . කලබල වෙන්න එපා ඒ චුදිතයෙකු වශයෙන් හෝ වින්දිතයෙකු වශයෙන් නොවෙයි. කඩුල්ල පොලිසිය පැත්ත පලාතට නොගිහින් අවුරුදු තිස් හතක් වෙනවා. 1976 දවසක පොලිසියට ගියදා නතරවුනේ ලංකා ගමනාගමන මණ්ඩලය දවස්තුනක් වැඩවරලා. කඩුල්ලත් දින තුනක් වැලිකඩ ලැගලා. එදා ඉදන් මෙල්ල වුන කඩුල්ලගේ ඉවසීම සමාජය දැක්කේ වනවාසී හාමුදුරුකෙනෙකුගේ  ඉවසීම වගේ.

විශ්‍රාමිකයෙකු වුවත් විවිධ  රාජකාරී නියෝජනයන් කිරීමට සිදුවන අවස්ථා බොහෝ විට කඩුල්ල ට ඇතිවනවා. විටක  කඩුල්ලගේ සහෝදර සමාගමේ දේශපාලන කටයුතු සදහා නියෝජනය වීමට සිදුවන අතර තවත් බොහෝ  අවස්ථා වල ව්‍යාපාරික කටයුතු සදහා  මැදිහත් කරුවෙකු වී යම් යම් අවස්ථා නියෝජනය කිරීම විශ්‍රාමික ජීවිතයේ රාජකාරී බවට පත්වෙලා.

මේ සිදුවීම සිදුවන්නේ සංචාරක නිකේතන සහ උපකාර පංති වල යහපැවත්ම පිළිබදව පොලිසිය මැදිහත්ව කරන උපදේශන රැස්වීමකදී.  කඩුල්ල මේ අවස්තාව නියෝජනය කරන්නේ  සංචාරක නිකේතන ව්‍යාපාරිකයෙකු ලෙස.

මෙම යහපත් කටයුත්තට  උපකාර පංති සහ සංචාරක නිකේතන,ලැගුම්හල් වල හිමිකරුවන් සහ කළමනාකරුවන්,ආරාධිතයෝ (පොලිසියේ භාෂාවෙන් නම් ආරාධිතයෝ නොවිය හැක.) සහභාගිවුනා. පොලිසිය පාර්ශවයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් පරීක්‍ෂක වරි‍යක් ,පරීක්‍ෂක මහත්මයෙක් සහ සිවිල් පොලිස් නිලධාරිණියක් සහභාගී වුනා.

කැදවීම් ලිපියේ  රැස්වීම 10.00 ට ආරම්භ වන බව සදහන් කර තිබු නිසා  කඩුල්ල 10.00 රැස්වීම් ශාලාවේ අසුන්ගත්තා. වෙලාවට වැඩ කිරීම කඩුල්ලට වෘත්තීමය පුරුද්දක්. නැත්නම් සංචාරක ව්‍යාපාරයක් වගේ තැනක රැදිලා ඉන්න බැහැ.  සේවාදායකයින්ගෙන් අවලාද අහන්නත් ව්‍යාපාරය වසා දමන්නත් සිද්ධ වෙන එක සිකුරුයි. මේ රැස්වීම රාජ්‍ය ආයතනයක නිසා   10.40 ට දේශන පටන්ගත්තා.  විනාඩි හතලිහක පමාව සුළු දෙයක්.

 පොලිස් පරීක්‍ෂකතුමාගේ ආරාධනයෙන් හරබර දේශණයක් කලේ සහකාර පොලිස් අධිකාරි වරයෙක්.එතුමාගේ තේමාව බාල වයස්කාර ලිංගික අපචාර.මෙම අපචාර සිදුවන්නේ ලැගුම් හල් සංචාරක නිකේතන තුල පරිසරය සැකසෙන්නේ උපකාරක පංති වල.

පාත්‍රවර්ගයා වන්නේ ලැගුම් හල් සංචාරක නිකේතන හිමිකරුවන් කලමනාකරුවෝ උපකාරක පංති හිමිකරුවෝ , ගුරුවරු,

සහ ගැටවරවියේ සිසු සිසුවියෝ.

ප්‍රදේශයේ මෑතක සිදුවු ලිංගික අපචාර තැන එතුමාගේ දේශණයට ඇතුලත්වුනා. මගේ කම්මුලට ගිය වම් අත දේශණය අවසාන වනතෙක් රැදිලා තිබුනේ කම්මුලේ. අපිට තේරෙන භාෂාවෙන් කතා කල යුතුයැයි කියමින් එතුමා භාවිතා කල සිංහල මට  තේරෙන සිංහල භාෂාවේ ඇතුලත් වෙලා තිබුනේ නෑ.

කඩුල්ලට නොතේරෙන භාෂාවේ ලිංගික අපයෝජනය යන යෙදුම  “ හු**වා “ වුනා .යෝණි මාර්ගය හු** වුනා.පුරුෂ ලිංගය ප** වුනා. මේ වගේ වදන් වැලක්ම දේශණයේදී අහන්න වුනා.  සහකාර පොලිස් අධිකාරීතුමා එතුමාගේ බලය පාවිච්චි කල අවස්ථාවක් උදාහරණයට ගත්තේ  මහත කාන්තාවක් තෝරා ගෙන පස්සට පයින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උපවාසයක් මැඩපැවත්වු ආකාරයක අතුරුකතාවකින් .සමහර විට පුද්ගලයින් හැදින්වුනේ හු** යනුවෙන්.නැත්නම් ප*** යනුවෙන්.

මට අදාල වුනේ වයස අවුරුදු 18ට අඩු අයට නවාතැන්දීමේදී  ලිංගික අපචාරයක් පිළිබද චෝදනාවක් ඇතිවුවහොත් දී  ඊට අනුබල දිමේ වරද යටතේ ලැගුම්හල් හිමියන්ට / කලමනාකරුට විරුද්ධ නඩු පැවරිය හැකි බවත් එවැනි වරදකට හිමිවන දඩුවම පිලිබදවත් දැනුම්වත් කිරීම.

එවැනි වැරදි සිදුවීම වලක්වා ගැණිම සදහා එවැනි අයට කාමර ලබා නොදීමේ වැදගත් කම පෙන්වා දුන්නා.

එය ඉතාම හොද  විශිස්ඨ කටයුත්තක් .

මේ දේශණය වයසට පත්වුන ( 65) වැඩිහිටියෙක් නිසාත් පොලිසියට ඕනවට වඩා වැඩි අධ්‍යාපනයක් ලබලා තියෙන නිසාත්  මට නොතේරෙන්න ඇති.

ලස්සනට මල්වවලා පිලිවෙලට ප්‍රතිනිර්මාණය වන පොලිසියක් තුල ඒ ලස්සන තියෙන්න තවත් කොයිතරම් දේවල් පවතින්න  ඕනිද කියලා කරකවලා අතහැරිය කඩුල්ලගේ මනසට තවත් දෝංකාර  දෙමින් සිතිවිලි වලින් පිරෙනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න