හෝ …………………………?.


LEGAL_RESEARCH

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ඇති දෝශාභියෝගය පිලිබදව කඩුල්ල බලා සිටින්නේ අධ්‍යයනය කරන්නෙකු ලෙසිනි. එතුමිය තමන්ට ඇති චෝදනා පිලිබදව පිලිතුරු දෙන ස්ථාවරයක නොසිට නීතී එරබයක යෙදී චෝදනාවන්ගෙන් මග හැර යන ස්ථාවරයකට මාරු වී යයි.

“පව්කාරයාට ගල් ගැසීම” ගැන අප අසා ඇත්තෙමු.   එතුමියට චෝදනා කිරීමට සුදුස්සෙක් පාර්ලිමේන්තුවේ ඇත්දැයි සැකයක් කඩුල්ලට  ඇත. එසේ සිටී නම් මේ චෝදනා එතුමියට එරෙහිව එල්ල කිරීමට ඔහු සුදුස්සෙකි. මේ දෝෂාභියෝගය අත්සන් කල අය අතර එවැන්නෙක් ඇත්ද ?.

දෝෂාභියෝගය පිලිබදව සී. ඒ. චන්ද්‍රප්‍රේම යන් දිවයින වම් ඉවුරට ලියන ලද ලිපියක් අදත් පලකරන්නෙමු. මෙය අධ්‍යයන කටයුත්තක් මිස කඩුල්ලගේ අදහස් දැක්වීමක් නොවේ.

ඉකුත් සතියේ අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ ව්‍යවස්‌ථා නිර්වචනය පිළිබඳ ප්‍රශ්නය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව රටේ මහත් ආන්දොලනයකට තුඩු දී ඇත. අභියාචනාධිකරණයේ ප්‍රශ්නයේ අන්තර්ගතය වූයේ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 (3) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් විනිශ්චයකාරවරුන්ට එරෙහිව ඇති දොaෂාභියෝග චෝදනා විභාග කිරීමේදී එම අදාළ කමිටුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය හා සාධන භාරය (ඔප්පු කිරීමේ ක්‍රමය) වැනි කාරණා වලට අනිවාර්යයෙන්ම ප්‍රතිපාදන සම්පාදනය කළ යුතුද යන්නයි. මෙහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් පෙන්වා දුන්නේ ව්‍යවස්‌ථාව නිර්වචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට බලතල තිබුණත් විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම පාර්ලිමේන්තුවට පමණක්‌ අයත් බලතලයක්‌ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පිළිබඳව තීන්දු දීමට බලය නැති බවයි. මේ තර්කය නොසලකා හරිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන තීන්දුවක්‌ ප්‍රකාශ කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව අතිශයින්ම වැදගත් එකක්‌ බව මගේ මතයයි. මෙයින් වර්තමානයේ සිදුවන ක්‍රියාදාමයට කිසිදු වෙනසක්‌ සිදු නොවූවත් අනාගතයේ ඒකාන්තයෙන්ම සිදුවන ව්‍යවස්‌ථා වෙනසේදී සැලකිල්ලට ගතයුතු කාරණා ගණනාවක්‌ම මතුවන බව කිව යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්කය වී තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 (3) වගන්තියට අනුව පාර්ලිමේන්තුව “නීතියෙන් හෝ ස්‌ථාවර නියෝග මාර්ගයෙන්” විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටිය නියම කළ යුතු යෑයි කියා තිබුණද පාර්ලිමේන්තුවට එය ස්‌ථාවර නියෝග මාර්ගයෙන් කළ නොහැකි බවත් එවැන්නක්‌ කළහැක්‌කේ නීතියෙන් පමණක්‌ බවත්ය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් කළ යුතු තෝරා ගැනීමක්‌ පිළිබඳව පාර්ලිමේන්තුවට පිටින් සිට අදහස්‌ දැක්‌වීමයි. පාර්ලිමේන්තුව මේ කාරණය කිසිසේත්ම පිළිගනීවි යෑයි අපට සිතීමට අසීරුය. අපේ ව්‍යවස්‌ථාවේ පාර්ලිමේන්තුවට දී ඇති බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිසේත්ම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියා පටිපාටි පිළිබඳව තීන්දු දිය නොහැක.

අපේ රටේ පාර්ලිමේන්තුවේ බලතල සම්බන්ධයෙන් මූලාශ්‍ර තුනක්‌ ඇත. ඉන් පළමුවැන්න 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවයි. දෙවැන්න ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම කියෑවෙන පරිදි එහි සඳහන් නොවන කාරණයක්‌ සම්බන්ධයෙන් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත බලපැවැත්වෙයි. තුන්වැනි මූලාශ්‍රය වන්නේ ඉහත කී පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ හත්වැනි වගන්තිය ප්‍රකාරව එකී පනතේ සඳහන් නොවන යම් කාරණයක්‌ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සියලු සම්ප්‍රදායන් හා පූර්වාදර්ශ ලපවත්වන බවයි. මේ සියලුම මූලාශ්‍ර වලට අනුව සක්‌සුදක්‌සේ පැහැදිලි වන එක කාරණයක්‌ වන්නේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියා පටිපාටිවලට මොනම හේතුවකටවත් අධිකරණයකට ඇඟිලිගැසිය නොහැකි බවයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථාව පිළිබඳව තේරීම් කාරක සභාව එහි 2006 – 2007 සැසිවාරයේදී ගත් තීන්දුව වූයේ මෙහි අනිත් පැත්තයි. ඔවුන් කියා සිටියේ අධිකරණය වගකිව යුත්තේ පාර්ලිමේන්තුවට බවයි. ඒ පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය කළ නිසාය.

බ්‍රිතාන්‍යයේ මුලු සම්ප්‍රදායේම ඇත්තේ අධිකරණය යනු පාර්ලිමේන්තුවට පහලින් ඇති ආයතනයක්‌ය යන්නයි. අපේ ව්‍යවස්‌ථාවේද 4 (සී) වගන්තියට අනුව ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව විසින් ඇතිකරන අධිකරණ ආයතන වලින් බව ඉතාම පැහැදිලිව සඳහන් වෙයි. අධිකරණයේ මුළු හැඩයම තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව විසිනි. හෙට දිනයේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් රටේ ඉහළම අධිකරණයේ නම මහේස්‌ත්‍රාත් උසාවිය බවත් පහලම අධිකරණයේ නම ශ්‍රේෂ්ඨාධිකරණය බවටත් නීතියක්‌ ගෙන ආවොත් එතැන් සිට බලපවත්වන්නේ එයයි. මෑතකදී බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව විසින් අධිකරණයේ විශාල වෙනසක්‌ සිදුකරන ලදී. මීට කලින් බ්‍රිතාන්‍යයේ ඉහළම අධිකරණය වූයේ සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ කොටසකි. දැන් එය සාමි මන්ත්‍රී මණ්‌ඩලයෙන් එළියට ගෙන වෙනම ශ්‍රේෂ්ඨාධිකරණයක්‌ මෙන් ක්‍රියාත්මක වෙයි. මෙවැනි සියලුම තීන්දු ගන්නේ පාර්ලිමේන්තුවයි. එම නිසා පාර්ලිමේන්තුව කළ යුත්තේ කුමක්‌ද යන්න ගැන අධිකරණයේ මොනම ආයතනයකටවත් තීන්දු ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක්‌ නැත. විශේෂයෙන්ම විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 වැනි වගන්තියේ නීතියකින් (එනම් පාර්ලිමේන්තු පනතකින්) නැතිනම් පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග වලින් ඒ සම්බන්ධයෙන් විධි විධාන යෙදිය යුතු බව කියා තිබෙන විට ඒ විකල්ප දෙක අතර තෝරා ගැනීම කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන්ම පමණි. අද තිබෙන විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග ඇතිකරන විට 1984 අප්‍රේල් මාසයේදී මේ කාරණය ගැන පාර්ලිමේන්තුවේ පුළුල් ලෙස සාකච්ඡා විය. එකල සිටි විපක්‍ෂය කීවේ අපි මෙය පාර්ලිමේන්තු පනතක්‌ මගින් කරමුය කියාය. ආණ්‌ඩු පක්‍ෂය කීවේ එය ස්‌ථාවර නියෝග වලින් කළ යුතු බවය. අවසානයේදී ආණ්‌ඩුව එසේ තීරණය කර ඇත්නම් අපට එය ගැන කළහැකි දෙයක්‌ නැතැයි කියා විපක්‍ෂය ද ස්‌ථාවර නියෝග වලටම එකඟ විය. එකඟ වූවා පමණක්‌ නොව ඒ ස්‌ථාවර නියෝග වලට ඔවුන්ගේ ඇති යෝජනාද වෙනම ලේඛනයක්‌ ඉදිරිපත් කළේය. ඒ අනුව අද පවතින ස්‌ථාවර නියෝග සැකසුණි. මේවා වෙනස්‌ කරන්නැයි පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කළ හැකි වුවද ශ්‍රේෂ්ඨාධිකරණයට පිටින් සිට පාර්ලිමේන්තුව කළ යුත්තේ අසවල් දෙය යෑයි තීන්දු දිය නොහැක.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මා වැදගත් කොට සලකන්නේ පාර්ලිමේන්තුව ඒ අනුව ක්‍රියාත්මක වේය යන බලාපොරොත්තුව අනුව නොවේ. කතානායකවරයා මෙකී තීන්දුව එකහෙලාම ප්‍රතිෂේප කරනු ඇති බව මගේ මතයයි. නමුත් මෙහිදී මුළු රටම ඉතාමත්ම වුවමනාවෙන් සැලකිල්ලට ගතයුතු කාරණයක්‌ ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තම තර්කය ගොඩනැඟීමේදී පෙන්වා දී ඇති කාරණයක්‌ වන්නේ මේ රටේ මීට කලින් තිබුණු 1947 ව්‍යවස්‌ථාවේ 52 (2) වගන්තියට අනුව මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ ගෙන එනු ලබන යෝජනාවකින් ඉවත් කළ හැකි බවයි. එමෙන්ම 1972 ජනරජ ව්‍යවස්‌ථාවේ අංක 122 (1) වගන්තියට අනුවද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගෙන එනු ලබන යෝජනාවකින් විනිශ්චයකාරවරුන් ඉවත් කළ හැකි වූ බවයි. නමුත් 1978 ව්‍යවස්‌ථාවේ මේ ආකාරයට සරල ලෙස විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමට නොහැකි වන ආකරයට නිශ්චිත ක්‍රියා පටිපාටියක්‌ නියම කොට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි. එවැනි ක්‍රියා පටිපාටියක්‌ ඇතිකරන ලද්දේ 1978 ව්‍යවස්‌ථාවේ සම්පාදකයන්ට අධිකරණයේ ස්‌වාධීනත්වය රැකීමට තිබුණු වුවමනාව නිසා යෑයි ඔවුන් පෙන්වා දෙයි. ඔවුන්ගේ සෙසු සියලුම තර්ක ගොඩනගා ඇත්තේ 1978 ව්‍යවස්‌ථාවේ සම්පාදකයන්ට අධිකරණයේ ස්‌වාධීනත්වය තහවුරු කිරීමට තිබුණු මෙම වුවමනාව සාක්‌ෂාත් කර ගැනීමට ගතයුතු පියවර ගැන සඳහන් කිරීම තුළින්ය.

එය එක පැත්තකින් සත්‍යයකි. ව්‍යවස්‌ථාවේ 107 (3) වගන්තියට අනුව විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම සඳහා ක්‍රියා පටිපාටියක්‌ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග වලට එකතු කිරීමට 1984 අප්‍රේල් මාසයේදී පවත්වන ලද විවාදයේදී විපක්‍ෂය නොයෙක්‌ තර්ක ගෙනහැර දැක්‌වූ විට එකල අගමැති ආර්. ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ අද විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටියක්‌ ගැන තර්ක කළද ඊට කලින් ව්‍යවස්‌ථාවේ කිsසිදු ක්‍රියා පටිපාටියක්‌ නොතිබුණු බවයි. එජාප ආණ්‌ඩුව විසින් ගෙන එන ලද ස්‌ථාවර නියෝග යෝජනාව පිළිබඳ වැඩියෙන්ම විරෝධය පෑ විපක්‍ෂ මන්ත්‍රීවරයා වූයේ සරත් මුත්තෙට්‌ටුවගමය. ඔහු කියා සිටියේ ඉන්දියාවේ තිබෙන ආකාරයේ පාර්ලිමේන්තුවට පරිබාහිර අධිකරණයේ සාමාජිකයන්ගෙන්ම සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුවක්‌ විසින් විනිශ්චයකාරවරුන්ට එරෙහිව ඇති චෝදනා විභාග කළ යුතු බවයි. මෙයට පිළිතුරු දෙමින් ප්‍රේමදාස අගමැතිවරයා පෙන්වා දුන්නේ මුත්තෙට්‌ටුවගම මන්ත්‍රීවරයා මෙවැනි අදහස්‌ පළකළත් ඔහුගේ මාමණ්‌ඩිය (එනම් බිරිඳගේ පියා) වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 1972 ජනරජ ව්‍යවස්‌ථාව සකසන විට විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම සඳහා කිසිදු ක්‍රියා පටිපාටියක්‌ නොතිබුණු බවයි. 1972 ව්‍යවස්‌ථාවේ 122 (1) වගන්තියට අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගෙන එන යෝජනාවකින් කිසිදු විමර්ශනයක්‌ හෝ විභාගයකින් තොරව විනිශ්චයකාරවරයෙක්‌ ඉවත් කළ හැකි විය. එකල රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඝනපූර්ණය වූයේ මන්ත්‍රීවරුන් 25 දෙනකු වූ නිසා මන්ත්‍රීවරුන් 13 දෙනකුට ඕනෑම විනිශ්චයකාරවරයකු ඉවත් කළ හැකි වූ බව ප්‍රේමදාස මහතා අවඥසහගතව කීවේය. එසේ කීමෙන් ඔහු පෙන්වා දුන්නේ එජාපය ගෙන එන මෙම ස්‌ථාවර නියෝග වලින් ඉතාම සාධාරණ ආකාරයට විමර්ශනයක්‌ පවත්වා විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමට ක්‍රියා පටිපාටියක්‌ සකසන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව පදනම් කරගෙන ඇත්තේද ඒ කාරණය මතය.

මෙහිදී අප සැලකිල්ලට ගතයුතු කාරණය මෙයයි. 1947 ව්‍යවස්‌ථාවේ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම පිළිබඳව 52 (2) වගන්තියට අනුව තිබුණේ තනි වාක්‍යයක්‌ පමණි. ඒ විනිශ්චයකාරවරුන් යහපැවැත්මෙන් සිටිනතාක්‌ කල් ඔවුන්ගේ ධුරය දරන බවත් පාර්ලිමේන්තුවේ ගෙන එන යෝජනාවකින් ඔවුන්ව එම ධුරයෙන් පහකළ හැකි බවත්ය. මේ කාරණයම 1972 ව්‍යවස්‌ථාවේ 122 (1) වගන්තියේ එලෙසම කියවුණි. මේ තනි වාක්‍යයේ වැදගත්කම අප කවුරුත් ඉතා හොඳින් තේරුම් ගත යුතුය. විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටිය තනි වාක්‍යයකින් කියවුණු එම යුගයේදී මේ රටේ කිසිදු කරදරයක්‌ තිබුණේ නැත. එකල ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව කළ යුත්තේ කුමක්‌ද කියා තීන්දු දුන්නේ නැත. පාර්ලිමේන්තුවේ කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ වගඋත්තර දෙන්නැයි කියමින් කතානායකවරයා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිතාසි නිකුත් කළේ නැත. නීතිඥවරුන් මහමග සටන් පාඨ කියමින් පාගමන් පැවැත්වූයේත් නැත. එකල අධිකරණයට ආත්ම ගරුත්වයක්‌ තිබුණි. ඔවුන් බැරි දේවල් වලට අත ගැසුවේ නැත. තමන්ට නියමිත කාර්යය පමණක්‌ ගරු ගාමිභීර ලෙස හා නම්බුකාර ලෙස කළේය. අද වනතුරු අධිකරණයට පොදු සමාජයේ ගරුත්වයක්‌ තිබුණේ නම් ඒ තනි වාක්‍යයෙන් විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටිය නියමිත වූ කාල පරිච්ඡේදයේ ඔවුන් හැසිරුණු ආකාරය නිසාය.

විනිශ්චයකාරවරුන් සිsටින්නේ නඩු ඇසීමටය. ඒ රටේ අපරාධ හා සිවිල් නඩුය. ඔවුන් සිටින්නේ දේශපාලන බලධාරීන් සමග පොර බැදීමට නොවේ. නීතිඥවරුන් සිටින්නේද තම සේවා යෝජකයන් උසාවියේ නියෝජනය කිරීමට මිස මහ පාරේ පොල් ගැසීමටවත් සටන් පාඨ කීමටවත් ආණ්‌ඩු පෙරලි කිරීමටවත් නොවේ. මේ බව අපි තේරුම් ගත යුතුය. ඒ කාරණා අයත් වන්නේ දේශපාලන විපක්‍ෂයටයි. එම ක්‍රියාදාමයට සහභාගි වීමට වුවමනාවක්‌ ඇත්නම් අධිකරණ පද්ධතියෙන් ඔවුන් ඉවත්ව දේශපාලන විපක්‍ෂයට එකතු විය යුතුය.

1978 ව්‍යවස්‌ථාවේ 107 (3) වගන්තියට අනුව විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටිය අසාර්ථක වී ඇති බව මේ වන විට සක්‌සුදක්‌සේ පැහැදිලිය. මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත්කිරීම හා විමර්ශන පැවැත්වීමේ ක්‍රියා පටිපාටිය විපක්‍ෂය විසින් ආණ්‌ඩුවට එරෙහිව විරෝධය පෑමට තවත් අවස්‌ථාවක්‌ බවට පත් කරගෙන ඇත. මේ ක්‍රියා පටිපාටිය අපේ රටට හඳුන්වා දුන්නේ ඇමරිකානු ව්‍යවස්‌ථාවේ සම්ප්‍රදාය අනුවයි. විනිශ්චයකාරවරයෙක්‌ ඉවත් කිරීමට යෝජනාවක්‌ ආ විට ඇමරිකාවේ කොංග්‍රස්‌ මණ්‌ඩලයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම එහි ක්‍රියාදාමයට සහභාගි විය. ඇමරිකාවේ දේශපාලන සංස්‌කෘතියට මේ තේරීම් කාරක සභා ක්‍රියා පටිපාටිය ගැලපුණද අපට නම් ගැලපෙන්නේ නැති බව දැන් ඉතාමත්ම පැහැදිලිsය.

අප අපේ සම්ප්‍රදායේ මූලාශ්‍රයන් වලට ආපසු යා යුතුය. එනම් 1947 ව්‍යවස්‌ථාවේ හා 1972 ව්‍යවස්‌ථාවේ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම සඳහා තනි වාක්‍යයේ සම්ප්‍රදායයි. එනම් කිසිදු තේරීම් කාරක සභාවක්‌, විමර්ශනයක්‌ හෝ වාර්තාවක්‌ ගෙන එන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ගෙන එන යෝජනාවක්‌ විවාද කොට අදාළ විනිශ්චයකාරවරයා ඉවත් කිරීමේ සම්ප්‍රදායයි. මෙහිදී අපි බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු කාරණය වන්නේ විපක්‍ෂය විසින් අපේ රට අනුගමනය කළ යුතු යෑයි කියන ලැටිමර් හවුස්‌ මූලධර්ම පොදුරාජ්‍ය මණ්‌ඩලීය රටවල් විසින් 1998 දී සම්පාදනය කරනු ලැබුවත් පොදුරාජ්‍ය මණ්‌ඩලයේ ප්‍රධානියා වන මහා බ්‍රිතාන්‍යයවත් එකී මූලධර්ම බ්‍රිතාන්‍යයේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට ආදේශ කර නැති බවයි. මෙකී ලැටිමර් හවුස්‌ මූලධර්ම වලින් කියෑවෙන එක්‌ කාරණයක්‌ වන්නේ විනිශ්චයකාරවරයෙක්‌ ඉවත් කිරීමේදී ස්‌වාධීන හා අපක්‍ෂපාතී මණ්‌ඩලයක්‌ විසින් ඔවුන් විමර්ශනය කළ යුතු බවයි. 2005 දී මහා බ්‍රිතාන්‍යය මුළු අධිකරණ ක්‌ෂේත්‍රයම විශාල පරිවර්තනයකට භාජනය කරන ලදී. බ්‍රිතාන්‍යයේ 2005 ව්‍යවස්‌ථා සංශෝaධන පනත මගින් පහල අධිකරණයේ විනිශ්යකාරවරුන් ඉවත් කිරීමට පෙර විනිශ්චයකාරවරුන් හා වෙනත් පුද්ගලයන්ගෙන් සැදුණු ත්‍රිපුද්ගල කමිටුවක්‌ සඳහා ප්‍රතිපාදන සලසා ඇත. නමුත් මහා බ්‍රිතාන්‍යයේ ඉහළම අධිකරණය වන 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් තවමත් ක්‍රියාත්මක වන්නේ නැති වාක්‍යයේ ඉවත් කිරීමේ පටිපාටියයි. බ්‍රිතාන්‍යයේ 2005 ව්‍යවස්‌ථා සංශෝධන පනතේ 33 වැනි වගන්තියෙන් කියවෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්‌ යහපැවැත්මෙන් සිටින තාක්‌කල් එම තනතුර දරන බවත් ඔවුන්ව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගෙන එනු ලබන යෝජනාවකින් ඉවත් කළ හැකි බවය. ඕස්‌ටේ්‍රලියාව වර්තමානයේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපති වන අතර ඔස්‌ටේ්‍රලියානු ව්‍යවස්‌ථාවේ 72 (2) වගන්තියට අනුව ද විනිශ්චයකාරවරුන් ඉවත් කරන්නේ තනි වාක්‍යයකිනි. පසුගිය මාසයේ ඔස්‌ටේ්‍රලියාව විසින් අධිකරණයේ නොමනා පැවැත්ම හා නොහැකියාව (පාර්ලිමේන්තු කොමිසම්) 2012 අංක 188 දරන පනත සම්මත කරනු ලැබූවද එම පනතින් ඔස්‌ටේ්‍රලියානු පාර්ලිමේන්තුව බැඳී සිටින්නේ නැත. එය ඔස්‌ටේ්‍රලියානු පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති එක්‌ විකල්පයක්‌ මණි. එම පනත අනුව විනිශ්චයකාරවරයකුට එරෙහිව ඇති දොaෂාභියෝගයක්‌ විභාග කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කිරීමට යෝජනා තිබුණද එවැනි කමිටුවක්‌ පත් කිරීමට පාර්ලිමේන්තුවේ සභා දෙක තුළ වෙන වෙනම යෝජනා සම්මත කරගත යුතුය. එමෙන්ම මෙකී පනතට පිටින් වුවද ඔස්‌ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමට කමිටු පිහිටුවීමට හෝ කිසිදු කමිටුවක්‌ පත් නොකර සිටීමටද සම්පූර්ණ අයිතිය ඇත. ඔස්‌ටේ්‍රලියාවේද ඒ අනුව තවමත් ඇත්තේ තනි වාක්‍යයේ සම්ප්‍රදායයි.

මේ සියලු කාරණා අපේ රටේ පාලකයන් ද සැලකිල්ලට ගත යුතුය. ඉදිරියේදී ව්‍යවස්‌ථාව සංශෝධනය වන විට විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අප ආපසු යා යුත්තේ තනි වාක්‍යයේ සම්ප්‍රදායටය. ඇමරිකාවේ ක්‍රියාත්මක වන දොaෂාභියෝග ක්‍රියා පටිපාටිය මෙරටට ගෙන ඒමෙන් සිදුවී ඇත්තේ කටුස්‌සාගේ කරේ රත්තරන් බැඳීම වැනි දෙයක්‌ය යන්න පසුගිය මාස දෙක ඇතුළත ඇතිවූ සිදුවීම් වලින් අපට පෙනේ. එම නිසා අප අනාගතයේදී ගුරුකොට ගත යුත්තේ බ්‍රිතාන්‍යයේ 2005 ව්‍යවස්‌ථා සංශෝධන පනතේ ඉහත දක්‌වන ලද 33 වැනි වගන්තියයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම – දිවයින වම් ඉවුර

 

Speaker Chamal Rajapaksa

අධිකරනය සහ පාර්ලිමේන්තුව ?

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව එල්ල කර තිබූ චෝදනා 03 කට ඇය වැරදිකරු බවට තීන්දු කරමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු එහි සාමාජිකයන් 07 දෙනා ගත් තීරණය අභියාචනාධිකරණය ඊයේ (07 වැනිදා) රිට්‌ ආඥාවක්‌ මගින් බල රහිත කොට අවලංගු කළේය.

අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්‌කන්ධරාජා, අනිල් ගුණරත්න සහ ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

විෂමාචාර චෝදනා 03 කට තමා වැරදිකරු බවට විශේෂ තේරීම් කාරක සභාව ගත් තීරණය අවලංගු කරන්නැයි අගවිනිසුරුවරිය කළ ඉල්ලීමට මේ අනුව අභියාචනාධිකරණයේ අනුමැතිය ලැබිණි.

විනිසුරු මඬුල්ලේ සභාපති ස්‌කන්ධරාජා මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විභාග කිරීමට යොදාගත් පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග 78 ඒ නීතියක්‌ නොවන නිසා එමගින් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇයට එරෙහිව චෝදනා විභාග කිරීමට නීතිමය බලතල නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ගැන ද තමන් සැලකිල්ල යොමු කළ බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )