කොයි අප්පුහාමිත් එකයි


පේලියට …………..පේලියට

 

දෝෂාභියෝගය  මේ දිනවල දෛනික කතාබහට ලක්වන මාතෘකාවක්. දෝෂාභියෝගයක් ගේන්න කියලා මුලින් කියාපු අය ආණ්ඩුව දෝෂාභියේගයක් ගෙන ආපුවහම ඒක ගෙනා ආපු චේතනාව වැරදියි කියනවා. මාස කිහිපයකට ඉස්සෙල්ලා හර්ෂ ද සිල්වා ඔය කාව කිව්වම ආණ්ඩුවට ඇහුනේ නෑ. ඇහුනේ ආණ්ඩුව අභිභවා අධිකරණය යනවා කියලා හිතුන වෙලාවේ.

විරුද්ධ දේශපාලන පක්‍ෂවලට තදින් පෑව්වත් , ගංවතුර ගැළුවත් ආණ්ඩුව පෙරලන්න සටන් පාඨයක්. ආණ්ඩුවත් තමුන්ට හිතුනොත් කබරගොයා තලගොයා කරගෙන වදාරනවා.

අපි අපේ පරමාධිපත්‍ය ශ්‍රී ලංකාව එක්සේසත් කරන්න උගස් තියාපු ගමන්. පරමාධිපත්‍ය නිසහස් කරගන්න විදියක් නැතිව ඉන්නවා.

කවුරුත් කනවා බොනවා. රජ මාලිගා හදනවා. දිව බොජුන් වලදනවා. බලනකොට අධිකරණයේ ,ව්‍යාවස්ථාදායකයේ, විධායකයේ කියලා වෙනසක් නෑ. පරමාධිපත්‍යයේ හිමිකාරයෝ වැස්සට තෙමෙනවා. අව්වට  වේලෙනවා. කුන්වේල හාමතේ යන්න උලා කනවා.

මේ 10 වෙනිදා දිවයින  වම් ඉවුරට ලියන සී.ඒ ප්‍රේමචන්ද්‍රගේ ලිපිය. කඩුල්ල මේ ලිපියේ වැදගත් කොට සලන්නේ  ඇමරිකා එක්‌සත් ජනපදයේ ව්‍යාවස්‌ථාව උපුටා දක්වමින් කරන විග්‍රහයට විතරයි. එය අපේ දැනුම සාරවත් කරගන්න කඩුල්ල උපුටා දක්වනවා.

මේ දේශපාලන සංසිද්ධින් සමග ඇතිවන ගණුදෙනු කඩුල්ලට පෙනෙන්නේ   “කොයි අප්පුහාමිත් එකයි “ කියන න්‍යායෙන්ය.
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව යාමෙන් දෝෂාභියෝග ක්‍රියාවලියට සුජාත බවක්‌ ඇතිවීද?

අග්‍රවිනිශ්චයකාර තුමිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හැර යැමෙන් ඇති වන නෛතික තත්ත්වය කුමක්‌ ද යන්න ඉකුත් සතියේ කාගේත් අවධානය යොමු වූ කාරණය විය.

ඇය පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග ක්‍රියාදාමයෙන් ඉවත් වූ පසු සම්පාදනය කරන ලද පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවේ වලංගුභාවය කුමක්‌ ද යන කාරණය ගැන ද බොහෝ අය තුළ කුතුහලයක්‌ ඇත.

විත්තිකරුවා පාර්ලිමේන්තු කාරක සභාවේ ක්‍රියා දාමයෙන් ඉවත් වුණොත් සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග වල කිසිවක්‌ කියවෙන්නේ නැත. පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග 78 ඒ (5) වගන්තියෙන් කියවෙන්නේ දෝෂාභියෝග ක්‍රියාදාමයක්‌ තුළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ මගින් විමර්ශනයට ලක්‌ වන විනිශ්චයකාරවරයාට එම කමිටුව ඉදිරියට පැමිණ තමාට එරෙහිව ඇති චෝදනා නිෂ්ප්‍රභ කිරීමට පුද්ගලිකව නැති නම් නීතිඥයකු මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බවයි.

78 ඒ (5) ස්‌ථාවර නියෝගයේ  වදන්වලින් පෙනෙන්නේ කමිටුව ඉදිරියේ පෙනී සිට තමාගේ නිදහසට කරුණු කීම විත්තිකරුවකුට ඇති අයිතියක්‌ බවත් එම අයිතිය ප්‍රයෝජනයට ගැනීම හෝ නොගැනීම ඒ ඒ විත්තිකරුවාගේ පුද්ගලික තෝරා ගැනීමක්‌ බවත්ය.

දෝෂාභියෝගයක්‌ යනු අපරාධ නඩුවක්‌ නොවන නිසා විත්තිකරුවා නැතිනම් චූදිතයා සිරභාරයට ගෙන රිමාන්ඩ් කරගෙන නඩු ඇසීමේ උවමනාවක්‌ මෙහි නැත.

දෝෂාභියෝගයක්‌ යනු විනය පරීක්‍ෂණයක්‌ බඳු දෙයක්‌ මිස සිරභාරයට පත්වීමක්‌ හෝ දඩ ගැසීමකට හෝ ප්‍රජා අයිතිය අහෝසි වන හෝ කාරණයක්‌ නොවේ.

  • අපේ රටේ ක්‍රියාත්මක වන දෝෂාභියෝග පටිපාටිය ඇමරිකානු ව්‍යාවස්‌ථාවේ ආභාෂයෙන් ඇතිවූ දෙයකි. ඇමරිකාවේ දෝෂාභියෝග ක්‍රියාපටිපාටියට දීර්ඝ ඉතිහාසයක්‌ ඇත. ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රඡ්ජුරුවන් අත දරුවන් වංගෙඩියේ දමා කොටන කාලයටත් පෙර සිටම මේ දෝෂාභියෝග ක්‍රියාපටිපාටිය ඇමරිකා එක්‌සත් ජනපදයේ ක්‍රියාත්මක වෙමින් පැවතියේය.

  • ඇමරිකාවේ එම ක්‍රියාපටිපාටිය යටතේ  විනිශ්චයකාරවරයකු දෝෂාභියෝගයට ලක්‌ කරනු ලැබුවේත් 1803 දී ජෝන් පිකරින් නමැති විනිශ්චයකාරවරයකු සම්බන්ධයෙනි.

    පිකරින්ගේදෝෂාභියෝගනඩුවේදීඇමරිකාවේසෙනෙට්සභාවයම්යම්නිගමනවලටපැමිණියේය.

  • මින් එක්‌ නිගමනයක්‌ වූයේ සෙනෙට්‌ සභාව ඉදිරියේ දෝෂාභියෝගයට ලක්‌ වන පුද්ගලයාව සිරභාරයට ගැනීමට හෝ සිර අඩස්‌සියේ තබාගැනීමට වයාවස්‌ථාවෙන් සෙනෙට්‌ සභාවට බලය පවරා නැති බවයි.

  • දෙවැනි නිගමනය වූයේ සෙනෙට්‌ සභාව විසින් අදාළ විත්තිකරුවාට ඔහුට එරෙහිව දෝෂාභියෝගයක්‌ තිබෙන බවත් එහි චෝදනා මොනවාද යන්න පිළිබඳවත් දැනුම්දීමක්‌ පමණක්‌ කළ යුතු බවයි.

  • තුන් වැනි නිගමනය වූයේ එම චෝදනාවලට පිළිතුරු දීමට විත්තිකරුවා පුද්ගලිකව පෙනී සිටිනවාද නැති නම් නීතිඥයන් මාර්ගයෙන් පෙනී සිටිනවාද නැති නම් පෙනී සිටින්නේ නැත් ද යන්න අදාළ පුද්ගලයාගේ පෞද්ගලික තෝරා ගැනීමක්‌ බවයි.

  • සිව් වැනි නිගමනය වූයේ පෙර කී පරිදි අදාළ පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක්‌ තිබෙන බව දැනුම් දීමෙන් පසු අදාළ පුද්ගලයා පුද්ගලිකව හෝ නීතිඥයකු මාර්ගයෙන් හෝ සෙනෙට්‌ සභාව ඉදිරියේ පෙනී සිටියාත් නැතත් සෙනෙට්‌ සභාව විසින් අදාළ දෝෂාභියෝගය විභාග කොට තීන්දුව ද ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

    ඇත්ත වශයෙන්ම එම නඩුවේදී සිදු වූයේ ජෝන් පිකරින් ට ඔහුට එරෙහිව ඇති දෝෂාභියෝග පිළිබඳව දැනුම්දීමක්‌ කළ ද ඔහු සෙනෙට්‌ සභාව ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටියේත් නැත. නීතිඥයකු එව්වේත් නැත. වෙනකක්‌ තබා තමාට එරෙහිව ඇති චෝදනාවලට ලිත පිළිතුරු එව්වේත් නැත.

සෙනෙට්‌ සභාවේ විමර්ශනය ආරම්භ වී දින 10 ක්‌ ඇතුළත ඔහු වරදකරු බවට තීන්දුව දෙන ලදී.

ඇමරිකා එක්‌සත් ජනපදයේ 99 වැනි කොංග්‍රස්‌ මණ්‌ඩලය විසින් 1986 අගෝස්‌තු 15 වැනිදා “සෙනෙට්‌ සභාව ඉදිරියේ දෝෂාභියෝග විභාග කිරීම සඳහා ක්‍රියාපටිපාටිය” යන මැයෙන් ලියවිල්ලක්‌ නිකුත් කරන ලදී. සෙනෙට්‌ සභාව ඉදිරියේ කෙරීගෙන යන දෝෂාභියෝග ක්‍රියාදාමයක්‌ ඉදිරියේ අදාළ විත්තිකරුවා පෙනී සිටීම හෝ නොසිටීම පිළිබඳව කියා ඇත්තේ මෙවැනි දෙයකි. “දෝෂාභියෝගයට ලක්‌වන පුද්ගලයාට එවැන්නක්‌ ඇති බවට දැනුම් දීමෙන් පසු ඔහු පුද්ගලිකව නැතිනම් නීතිඥයකු මාර්ගයෙන් අදාළ දිනයේදී සෙනෙට්‌ සභාව ඉදිරියේ පෙනී නොසිටිය හොත් නැති නම් පෙනී සිට ඔහුට එරෙහිව ඇති චෝදනාවලට උත්තර බැඳීමෙන් වැළකී සිටිය හොත් තමා නිර්දෝශී යෑයි කියා සිටියාය යන උපකල්පනය මත පිට සෙනෙට්‌ සභාවේ විභාගය කෙරීගෙන යා යුතුය.” මේ අනුව ලංකාවේ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග හා ඇමරිකානු සෙනෙට්‌ සභාවේ දෝෂාභියෝග ක්‍රියාපටිපාටිය එකට ගෙන බැලූ කල විත්තිකරු විභාගය හමුවේ පෙනී සිටියත් නැතත් එය දිගටම කරගෙන යාමට කිසිදු බාධාවක්‌ නැති බව අපට පෙනේ.

දෝෂාභියෝග ක්‍රියාදාමය පිළිබඳව තමාට විශ්වාසයක්‌ නැතැයි කියමින් එය හැර යැමෙන් අග්‍රවිනිශ්චයකාරතුමිය වෙනමම දෝෂාභියෝගයකට ලක්‌ කළ හැකි තවත් වරදක්‌ කළා විය හැක. එයට හේතුව එතුමිය ප්‍රධානත්වය දරන අධිකරණයට නීත්‍යානුකූලභාවය ලබාදෙන ව්‍යවස්‌ථාවෙන්ම බලය ලබන ක්‍රියාදාමයකින් රටේ අගවිනිසුරු හැටියට ඇය ඉවත්ව යැමෙන් රටේ ව්‍යවස්‌ථාව හෑල්ලුවට ලක්‌ කළා ද යන්නයි.

නමුත් එතුමිය අතරමගදී මේ ක්‍රීයාදාමය හැර යාම එක පැත්තකින් මවිතයට කාරණයක්‌ ද නොවේ. ඇයට එරෙහිව ඇති ඇතැම් චෝදනාවලට උත්තර බැඳිය නොහැක.

දෝෂාභියෝගයේ පළමු හා පස්‌ වැනි චෝදනා සම්බන්ධයෙන් ඇති තත්ත්වය අප ඉකුත් සතියේ පැහැදිලි කෙරුවෙමු. අගවිනිසුරුතුමිය ඉකුත් බ්‍රහස්‌පතින්දා තේරීම් කාරක සභා ක්‍රීයාදාමයෙන් ඉවත්ව යන මොහොතේ මා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය දීපිකා උඩුගමගේ දේශනයකට සවන් දෙමිනි. මා එම සම්මන්ත්‍රණයේදී ඇසුවේ එක ප්‍රශ්නයකි. ඒ අග්‍රවිනිශ්චයකාරතුමියගේ ස්‌වාමිපුරුෂයා මහෙස්‌ත්‍රාත් උසාවියක පවරා ඇති නඩුවක සැකකරුවකු වශයෙන් සිටින අතරතුර අග්‍රවිනිශ්චයකාරතුමිය අගවිනිසුරු තනතුරේ පමණක්‌ නොව එම තනතුරටම බැඳී ඇති අධිකරණ සේවා කොමිසමේ ද සභාපතිත්වයේ සිටීමෙන් ගැටුමක්‌ ඇතිවන්නේ නැත් ද යන්නයි. ඒ ගැටුම වඩාත් තීව්‍ර වන්නේ අධිකරණ සේවා කොමිසමට අගවිනිසුරුතුමියගේ ස්‌වාමිපුරුෂයාගේ නඩුව අසන මහෙස්‌ත්‍රාත්වරයා මාරු කිරීම, උසස්‌ කිරීම, විනය පරීක්‍ෂණ කිරීම හා සේවයෙන් දොට්‌ට දැමීමට පවා හැකි වන අතර ඔහුගේ උසාවියේ ඇති සියලුම ලියකියවිලි ගෙන්වා පරීක්‍ෂණයට ලක්‌ කළ හැකි වීමෙනි. අග්‍රවිනිශ්චයකාරතුමියගේ ස්‌වාමිපුරුෂයා පැටලී සිටින්නේ ද සුළුපටු ප්‍රශ්නයකට නොව ජනමාධ්‍යයේ පළවූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෘත්තීය සමිති වල උද්ඝෝෂණයට ලක්‌ වුණු පාර්ලිමේන්තුවේ කථාවුණු මුළු රටම ගඳගස්‌වපු හා ජනාධිපතිතුමා පුද්ගලිකවම මැදිහත් වී නිෂ්ප්‍රභ කරන ලද ගනුදෙනුවක්‌ සම්බන්ධයෙනි. විපක්‍ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තම ස්‌වාමිපුරුෂයාගේ මේ ගනුදෙනුව නිසා අගවිනිසුරුතුමිය ඉල්ලා අස්‌විය යුතු යෑයි ප්‍රකාශ කර සිටියේ මීට මාස හතකට පමණ කලින්ය.

මා ඇසූ ගැටුම පිළිබඳ ප්‍රශ්නයට උත්තර දුන්නේ ආචාර්ය උඩුගම නොව මූලාසනයේ සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්නය. ඔහු මෙහිදී පවසා සිටියේ අගවිනිසුරුතුමියගේ ස්‌වාමිපුරුෂයාගේ නඩුව අසන මහෙස්‌ත්‍රිත්වරයා සම්බන්ධ යම් ප්‍රශ්නයක්‌ අධිකරණ සේවා කොමිසම ඉදිරියට පැමිණිය හොත් අග්‍රවිනිශ්චයකාරතුමිය එම සාකච්ඡාවේදී කොමිසමේ අසුන් නොගෙන අනෙක්‌ විනිශ්චයකාරවරුන් දෙදෙනාට අදාළ තීන්දුව ගැනීමට ඉඩ දීමෙන් මේ ගැටුම නිරාකරණය කළ හැකි බවයි.

නමුත් මා මෙහිදී පෙන්වා දුන්නේ කොමිසමේ සභාපති අකැමැති නිගමනයකට අනෙක්‌ විනිශ්චයකාරවරුන් දෙදෙනා පැමිණේවි යෑයි කිසි ලෙසකින් උපකල්පනය කළ නොහැකි බවත් අග්‍රවිනිශ්චයකාරවරයාගේ ස්‌වාමි පුරුෂයා චූදිතයා වන නිසා මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩුව මුල සිටම විකෘති වන බවයි. මෙයට කිසිවකුත් පිළිතුරු දුන්නේ නැත. දීමට පිළිතුරක්‌ ඇත්තේ ද නැත.

පාර්ලිමේන්තු කාරක සභාවේ සිටි විපක්‍ෂ සාමාජිකයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන් එක්‌ කාරණයක්‌ වූයේ අග්‍රවිනිශ්චයකාර වරියට තමාට එරෙහිව ඇති චෝදනා වලට උත්තර බැඳීමට අවශ්‍යතරම් කාලයක්‌ ලබා නොදුන් බවයි. ඔහු පෙන්වා දුන්නේ හරක්‌ හොරෙකුට වුවත් උත්තර බැඳීමට මාස තුනකවත් කාලයක්‌ ලබාදෙන බවයි.

නමුත් අප කලින් පෙන්වා දුන් පරිදි දෝෂාභියෝගයක්‌ යනු අපරාධ නඩුවක්‌ නොව හුදෙක්‌ම විනය පරීක්‍ෂණයක්‌ වැනි කටයුත්තකි. මේ සම්බන්ධයෙන් ඇති ක්‍රියා පටිපාටිය ගැනද ඇතැම් අය තුළ වැරදි වැටහීමක්‌ ඇති බව පෙනේ. දෝෂාභියෝගයක්‌ විභාග කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොව විනිශ්චයකාරවරුන් යෑයි තර්කයක්‌ ඉදිරිපත් වී ඇත. මා ඉහත සඳහන් කළ සම්මන්ත්‍රණයේදී ලංකාවේ ප්‍රමුඛ පෙලේ දේශපාලන ක්‍රියාකාරිකයකු වන එල්මෝ පෙරේරා මහතා පවසා සිටියේ ඇමරිකාවේ සෙනෙට්‌ සභාව විසින් දෝෂාභියෝගයක්‌ විමර්ශනය කරනවිට එහි සභාපතිත්වය දරන්නේ අග්‍රවිනිශ්චයකාර වරයා බවයි.

එම සම්මන්ත්‍රණයේ සිටි එක්‌ පුද්ගලයෙක්‌ ඇමරිකාවේ අග්‍රවිනිශ්චයකාර වරයා දෝෂාභියෝගයකට ලක්‌වුවහොත් එය විභාග කරන්නේ කවුදැයි යන ප්‍රශ්නයට ආචාර්ය දීපිකා උඩුගමටවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාටවත් එල්මෝ පෙරේරා මහතාටවත් පිළිතුරක්‌ තිබුණේ නැත. ඇත්ත තත්ත්වය නම් ඇමරිකා එක්‌සත් ජනපදයේ සෙනෙට්‌ සභාව ඉදිරියේ දෝෂාභියෝග විභාගයකදී අග්‍රවිනිශ්චයකාරවරයා සභාපතිත්වය දරන්නේ ජනාධිපතිවරයකු දෝෂාභියෝගයට ලක්‌වන විට පමණි.

 අගවිනිසුරුවරයා හෝ වෙනත් විනිශ්චයකාරවරයකු දෝෂාභියෝගයට ලක්‌වන්නේ නම් අදාළ විභාගය සිදුකරන කමිටුවේ සභාපතිත්වය දරන්නේ සාමාන්‍ය  සෙනෙට්‌ මන්ත්‍රීවරයෙකි. ඇමෙරිකාවේ අවසන් වරට විනිශ්චයකාවරයකු දෝෂාභියෝගයට ලක්‌කරන ලද්දේ මීට අවුරුදු දෙකකටත් පෙරය. ඒ අවස්‌ථාවේදීද විභාගය සිදුකළ කමිටුවේ සභාපතිත්වය දැරුවේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකි.

මේ ආකාරයට අවසන් වරට දෝෂාභියෝගයට ලක්‌ වුණු තෝමස්‌ පෝමියස්‌ විනිශ්චයකාරවරයා සෙනෙට්‌ කමිටුවේ විභාගය අතරතුර ලංකාවේ අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මැතිනිය ඉදිරිපත් කරන ආකාරයේම තර්ක ඉදිරිපත් කළේය. පෝමියස්‌ විනිශ්චයකාර තුමාගේ එක තර්කයක්‌ වූයේ සෙනෙට්‌ සභාවට ඔහුව විභාග කළ නොහැකි බවත් එය කළ යුත්තේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් බවත්ය.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය දුන් පැහැදිලි තීන්දුව වූයේ විනිශ්චයකාරවරයකුගේ හැසිරීම විභාග කොට ඔහුව තනතුරෙන් පහ කිරීමේ බලය ව්‍යවස්‌ථාවෙන් දී ඇත්තේ සෙනෙට්‌ සභාවට මිස අධිකරණ දෙපාර්තමේන්තුවට නොවන බවයි. මේ සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර සටහනේ ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය ඇමරිකා එක්‌සත් ජනපදය එරෙහිව නික්‌සන් යන සුප්‍රසිද්ධ නඩුව කෙරෙහිද අවධානය යොමුකර තිබිණි.

ඇමරිකා එක්‌සත් ජනපදය එරෙහිව නික්‌සන් යනු 1993 ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවකි. මෙම නඩුව පවරා තිබුණේ දෝෂාභියෝගයට ලක්‌වූ විනිශ්චයකාර වරයකු වූ වෝල්ටර් ඡේ. නික්‌සන් මහතාය. ඔහුගේ ප්‍රධාන තර්කය ලංකාවේ අද ඇතිවී තිබෙන මේ විවාදයට බෙහෙවින්ම සමානය. ඔහු තර්ක කළේ ව්‍යවස්‌ථාදායකයට අධිකරණ බලයක්‌ ක්‍රීයාත්මක කළ නොහැකි බවයි. මේ නඩුවේ තීන්දුව දෙමින් එකල ඇමරිකානු අගවිනිසුරු රෙන් ක්‌විස්‌ට්‌ මහතා ඇමරිකානු ව්‍යවස්‌ථාවේ නිර්මාතෘවරුන් විසින් දෝෂාභියෝග විභාග කිරීමේ බලතල අධිකරණයට නොදී සෙනෙට්‌ සභාවට දෙනු ලැබුවේ මන්ද යන්න ගැන සමාලෝචනයක්‌ කරන ලදී.

ඔහු පෙන්වා දුන්නේ ඇමරිකානු ව්‍යවස්‌ථාවේ නිර්මාතෘවරුන් දෝෂාභියෝග විභාග කළ යුත්තේ කවුරුන්ද යන්න ගැන දීර්ඝ වශයෙන් විවාද කළ බවත් එකල ව්‍යවස්‌ථාදායක සමුළුවේ ප්‍රබල සාමාජිකයකු වූ ඡේම්ස්‌ මැඩිසන් යෝජනා කළේ සියලු දෝෂාභියෝග විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දිය යුතු බවයි. නමුත් අවසානයේදී ව්‍යවස්‌ථා සම්පාදන සමුළුව තීන්දු කලේ දෝෂාභියෝග විභාග කිරීමේ බලතල සෙනෙට්‌ සභාවට පමණක්‌ ලබාදිය යුතු බවටය. ව්‍යවස්‌ථාව සම්පාදනය කරන ලද සමුළුව එකී බලය සෙනෙට්‌ සභාවට දීමට ප්‍රධානම හේතුව සෙනෙට්‌ සභාව සමන්විත වූයේ ජනතා නියෝජිතයන්ගෙන් වීමයි. දෝෂාභියෝගයක්‌ වැනි වැදගත් කර්තව්‍යයක්‌ ඉටුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සුජාත බවක්‌ තිබේද යන්න ගැන ව්‍යවස්‌ථා සම්පාදක වරුන්ටද සැකයක්‌ තිබිණි. (ඇමරිකාවේ ජනාධිපතිවරයා පවා දෝෂාභියෝගයට ලක්‌කිරීම මේ බලයට අදාළ වූ නිසාය.)

රටේ ඉහළම පුද්ගලයන්ට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන එන විට ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත සභාවකට ජනතාව ඉදිරියේ ඇති සුජාත භාවය වැඩිබව ඉතා තීක්‍ෂණ බුද්ධියකින් යුතුව ඇමරිකානු ව්‍යවස්‌ථා සම්පාදකයන් දුටුවේය. එපමණක්‌ද නොව දෝෂාභියෝගයේ චෝදනාව ගෙන එන්නේ ජනතාව නියෝජනය කරන ව්‍යස්‌ථාදායකයේ කොටසක්‌ වන නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයෙන් වන නිසා ඔවුන් ගෙන එන චෝදනාවකට එරෙහිව තීන්දුවක්‌ දීමට ජනතාවගේ නියෝජිතයන් නොවන ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයකට සුජාත භාවයක්‌ තිබේද යන ප්‍රශ්නයක්‌ පැන නැගුණි. ඇමරිකානු ව්‍යවස්‌ථා සම්පාදකයන් විසින් දෝෂාභියෝග විභාග කිරීමේ බලය අධිකරණයට නොදී සෙනෙට්‌ සභාවටම දීමට තවත් ප්‍රබල හේතුවක්‌ තිබිණි. ඒ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයන්, ජනාධිපතිවරයා පවා ඉවත් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වැනි පුද්ගලයන් කීපදෙනකුගෙන් පමණක්‌ සමන්විත ආයතනයකට නොදී ජනතාව සෘජුවම නියෝජනය කරන ඊට වඩා පුළුල් හා විශාල පුද්ගලයන් ගණනක්‌ සිටින ආයතනයකට දීම උචිතය යන කාරණයයි.

දෝෂාභියෝග විභාග කිරීමේ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට නොදී සෙනෙට්‌ සභාවට දීමට තවත් හේතුවක්‌ද විය. ඒ දෝෂාභියෝගයට ලක්‌වන පුද්ගලයාට එරෙහිව ක්‍රියාපටිපාටි දෙකක්‌ තිබීමට ඇති ඉඩකඩයි. එක පැත්තකින් දෝෂාභියෝගයට ලක්‌වන පුද්ගලයා එම චෝදනා සම්බන්ධයෙන්ම ඇතැම් අවස්‌ථා වල වෙනම අපරාධ නඩුවකටද ලක්‌වීමට ඉඩ ඇත. එම නිසා දෝෂාභියෝග විභාගයත් එම චෝදනා වලටම අදාළ අපරාධ නඩුවත් එකම ආයතනය විසින් නොකළ යුතුය යන මූලධර්මය මත දෝෂාභියෝග විභාග කිරීමේ බලය සෙනෙට්‌ සභාවට දී තිබිණි.

එක්‌සත් ජනපදය එරෙහිව නික්‌සන් යන නඩුවේදී තවදුරටත් කථා කරමින් ඇමරිකානු අගවිනිසුරු රෙන්ක්‌විස්‌ට්‌ මහතා දෝෂාභියෝග විභාගයකදී සෙනේට්‌ සභාව ගන්නා තීන්දුවක්‌ පසුව කිසිදු අධිකරණයකදී ප්‍රශ්ණ නොකල යුත්තේ මන්ද යන්න ගැනද පැහැදිලි කර සිටියේය. ඔහු පෙන්වා දුන්නේ සෙනෙට්‌ සභාවෙන් ගන්නා තීන්දුවක්‌ අධිකරණයට ප්‍රශ්න කිරීමේ බලය ලබාදීමෙන් සිදුවන්නේ දෝෂාභියෝග විමර්ශනය කිරීමේ බලයක්‌ අධිකරණයට ලැබීම බවයි. එම නිසා අධිකරණය එම ක්‍රියාදාමයෙන් සම්පූර්ණයෙන් වෙන්කොට තැබීමට නම් සෙනෙට්‌ සභාවේ තීන්දුව ප්‍රශ්නයට ලක්‌කිරීමට අධිකරණයට නොහැකි විය යුතු බවයි. තවද ඔහු පෙන්වා දුන්නේ ඇමරිකානු ව්‍යවස්‌ථාවට අනුව ( හා අපේ ව්‍යවස්‌ථාව ද අනුව) ව්‍යවස්‌ථා දායකයට අධිකරණය සම්බන්ධයෙන් යම් පාලන බලයක්‌ ලැබෙන්නේ මේ දෝෂාභියෝග ක්‍රියාදාමය තුලින් පමණක්‌ බවයි. එම නිසා දෝෂාභියෝග විභාග කිරීමේ බලය අධිකරණයට ලබාදීමෙන් පාලනයකට ලක්‌විය යුතු ආයතනයටම ඒ බලය ලබාදීම යන ජුගුප්සා ජනක තත්ත්වය ඇතිවන බවයි.

ඇමරිකාවේ සෙනෙට්‌ සභාව, නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය හා ශ්‍රේෂ්ඨාධිකරණය වෙන වෙනම නොයෙක්‌ අවස්‌ථා වල දෝෂාභියෝග විභාග කිරීමේ බලතල අධිකරණයට භාර නොදී ව්‍යවස්‌ථාදායකට භාරදිය යුත්තේ ඇයි ද යන්න ගැන කී කාරණා ලංකාවටද බෙහෙවින්ම වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )