Quote

කන්තිරිමලේ පූජාභුමිය.

කන්තිරිමලේ පූජාභුමිය.

තන්තිරිමලේ විහාරස්ථාන චෛත්‍ය වහන්සේ

තන්තිරිමලේ විහාරස්ථාන චෛත්‍ය වහන්සේ

තන්තිරිමලේ  විහාරස්ථානය

කඩුල්ල  අනුරාධපුරයෙන් පිටත්ව ගමනාන්තය යොමුව තිබුනේ මන්නාරම නගරයේ ලැගුම් ගැණිම ඉලක්ක කරගෙනය.  අනුරාධපුර නගරයෙන් මැදවච්චිය හරහා මන්නාරම බලා ගමන් කරමින් සිටියෙමු. මෙම ගමනේදී දිවා  නවාතැනක් ලෙස   තන්තිරිමලේ විහාරස්ථානය තෝරා ගතිමු. මැදවච්චිය නගරයේ සිට මන්නාරම මාර්ගයේ කි:මි 18ක් පැමිණි පසු හමුවු “ගජසිංහපුර” නම් ස්ථානයේන් වමට  හැරී ඇති මාර්ග‍ය ඔස්සේ කි: මි 12ක් පැමිණිමෙන් පසුව තන්තිරිමලේ  විහාරස්ථානයට  කඩුල්ලට ළගා විය හැකිවිය.

අනුරාධපුර මහා විලච්චිය මාර්ගයේ කි:මි 18ක් ගිය තැන දකුණු පසින් පිහිටි “ශ්‍රී විමලඤාණ”මාවත ඔස්සේ කි:මි 18ක් පැමිණීමෙන්ද තන්තිරිමලේ  විහාරස්ථානයට ලගාවිය හැකිය.

රිටිගල කන්දේ සිට අරම්භ වන මල්වතු ඔය කනදරාඔය හමුවන තෙක් උතුරු දිසාගතව පැමිණ එහි සිට ක්‍රමයෙන් වයඹ දෙසට හැරිම නිසා නිර්මාණය වි ඇති වංගු සහිත තැනිතලා නිම්නයේ පිහිටි මෙම ඓතිහාසික බිම්කඩ උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔයත් බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානය හා දකුණින් මහාවිලච්චිය මහා මාර්ගයත් මායිම් කොට පිහිටා ඇත. කඩුල්ල තන්තිරිමලේ  ගැන කරුණු එක් රැස් කරමින් විහාරස්ථාන බිමේ පියමං කරමින් සිටියෙමි. අනාවරණය කර ගත් තොරතුරු සමාලෝචනය වුයේ මේ අයුරිනි.

තන්තිරිමලය  විජය කුමරුගේ පැමිණීමට පෙරත්  ජනාවාසව  තිබුණු බවට සාධක ඇත. තන්තිරිමලය පන්සල ආශ්‍රීතව පිහිටා ඇති විශාල ගල් ගුහා වල මතුපිට ඇති විශාල ප්‍රමාණයේ ගල්ගුහා සිතුවම් පිළිබඳ තොරතුරු 1909 දී, ජෝන් ස්ටිල් මහතා විසින් අනාවරණය කර ගෙන ඇත. තිරුවානා සහ චර්ට්ස් යන පාෂාණ වර්ග ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා විසින් පොදුවේ භාවිතා කර ඇත. තන්තිරිමලේ ගල්ගුහා චිත්‍ර ප්‍රාග් ඓතිහාසික යුගයේ විසු මෙගලිතික හෝ වැදිජනයා එනම් නීග්‍රොයිඩ් මානව වර්ගයාගේ  නිර්මාණයන් බව ජෝන් ස්ටිල් මහතා ගේ මතයයි. තන්තිරිමලයේ ආසන්නව සොයාගෙන ඇති මෙගලිතික සුසාන භූමිය ද මේ බව තවත් තහවුරු කරනු ලැබේ.

 තන්තිරි මලේ  පිලිබද පුරාවෘතයන් කිහිපයකි.

විජය කුමරු අනුරාධපුරය රාජධානිය කරගත් අතර ඔහු සමග පැමිණි අමාත්‍යවරුන්  එක් එක් දිසාවල ජනාවාස ගොඩනගමින් සංවර්ධණ කටයුතු කරන ලදී.  “උපතිස්ස” නම් අමාත්‍යවරයා මල්වතු ඔයට කනදරා ඔය හමුවන ස්ථානය මුල්කරගෙන  ඇති කළ ජනාවාසය “උපතිස්සගම” යනුවෙන් හදුන්වන ලදී.

අද  තන්තිරිමලය ඒ උපතිස්සගම යි. මෙ එක් මතයකි.

සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ ලංකාද්වීපයට වැඩම වන ලදහ. එම පුජනිය පිරිස නවාතැන් ගත් කන්ද “තන්ගෛතිරුමලෙයි” යන දමිල ව්‍යවහාරය පසුව තන්තිරිමලේ නම් වු බවද කියවේ. මේ තවත් මතයකි.

සාලිය කුමරු හා අශෝකමාලාවන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව එම දෙදනා මෙම පුදේශයේ කලක් ජිවත් වි ඇත. එහිදි පරිත්‍යාග කළ “තන්තිරි” යන සමණළ විශේෂයේ හැඩය සහිත රන් මාලය මෙහි නිධන්කොට ඇති නිසා “තන්තිරිමාලය” යන්න සැදුනු බව ජනවහරේ එයි.

අනුරාධපුර යුගයේදි මහායානික නිකායට අයත් තන්ත්‍රයානික භික්ෂුන් වහන්සේලා සහ අදත් භුතානයේ ගෞරව කරන තාන්ත්‍රික බ්‍රාහ්මණයින් මෙහි වාසය කල බැවින් තන්තිරිමලේ නම සැදුන බවද ඇතමෙක් කියති.

සමාධි පිළිම වහන්සේ

සමාධි පිළිම වහන්සේ

චාමධාරී දෙවිවරුන්ගෙ පිළිම දෙකක්

චාමධාරී දෙවිවරුන්ගෙ පිළිම දෙකක්

DSC05669

සමාධි පිළිම වහන්සේ

බෝධීන් වහන්සේට දකුණු පසින් සමාධි පිළිමවහන්සේ වැඩ සිටිති. ගල්කුල හාරා මතුකර අඩි 8ක් පමණ උසට නිමකර ඇති සමාධි පිළිමවහන්සේ උන්නත නිර්මාණයකි. සිවුර සිරුරටම ඇළුණු ස්වභාවයෙන් පිළිමය නෙළා ඇත. පිළිමයට පිටුපසින් මකර තොරණයි. රැස් වළල්ල ද නිර්මාණය කිරීමට සැලසුම්කර තිබී ඇති බව හැඟැවෙයි. වැඩ සිටින ආසනය වාමන රූප වලින් අලංකාර කර ඇත. පිළිම වහන්සේ ආරක්ෂාවට උළු වහලක් වූ බවට සාක්කි ඇත. එහි කණු සහ උළුවහු ආදිය කළුගලින් නිමකර බොරදම් කැටයමින් අලංකාර කර ඇත. පිළිමයේ දෙපස චාමධාරී දෙවිවරුන්ගෙ පිළිම දෙකක් අර්ධ වශයෙන් නෙළා ඇත. පිළිම වහන්සේ ඉදිරිපිට ගල් පඩි පෙළක් ඇත.

අනුරාධපුර යුගයේ අගභාගයේදී ඇති වූ සතුරු ආක‍්‍රමණ නිසා සම්පූර්ණව නිම කිරීමට නොහැකි වී ඇත. තන්තිරිමලේ සමාධි පිළිම වහන්සේ  පොලොන්නරුව ගල් විහාරයේ සමාධි පිළිම වහන්සේට සමානකම් දක්නට ඇත.

අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ

අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ

අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ

සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ ලංකාද්වීපයට වැඩම වන ලදහ. සඟමිත් තෙරණියෝ දඹකොළ පටුනේ තොටුපලට ගොඩින් බට බෝධීන් වහන්සේ රැගත් පෙරහර යාපා පටුනේ සිට අනුරපුර දක්වා යන ගමනේදී එවකට තිවක්ඛ බමුණුගම පිරිස ද කැටුව මල්වතු ඔය දක්වා ගමන් කොට එම ගම්මානයේ අලංකාර උසම සහ සුදුසුම තැන වූ මෙම විශාල ගල්තලාව මත තාවකාලිකව තැන්පත් කර  මිහිදු මහ රහතන් වහන්සේ සහ සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා 11නමක් සහ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය පිරිස ද එම අවස්ථාවේ එහි  නතරව සිටි බව සඳහන්ය.පසුදින අනුරාධපුරයට වැඩම වූ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනෙහි රෝපණය කරන ලදී. මිහිදු මහා රහතන් වහන්සේගේ තීරණයක් අනුව එක් බෝ අංකුරයක් තිවක්ඛ බමුණුට ද ලැබිණි. එම බෝධි අංකුරය මහත් හරසරින් පිළිගත් තිවක්ඛ බමුණා මහා පෙරහැරකින් තිවක්ඛ ගමට වැඩම කෙළේය. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඩසිටි ගල්තලාව මත්තෙහි කවාකාර පවුරක් කරවා එහි රෝපණය කෙළේය.

ඓතිහාසික තන්තිරිමලේ අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ අද දක්වා වැඩ සිටී.

සැතැපෙන පිළිමවහන්සේ

සැතැපෙන පිළිමවහන්සේ

සැතැපෙන පිළිමවහන්සේ

බෝධීන් වහන්සේට උතුරු දෙසින් සැතැපෙන පිළිම වහන්සේ වැඩ සිටිති. අඩි 45ක් දිගින් යුක්තය. සිවුර සිරුරට අළුණු ස්වභාවයකි. පොලොන්නරුවේ ගල් විහාරයෙ සැතැපෙන පිළිම වහන්සේට සමාන ලක්ෂණ මෙම පිළිම වහන්සේ තුලද දක්නට  ඇත.

1974  වර්ෂයේ දී සිදු කළ කැණීම්වලින් කෙස් වළලූ, නාසය, කන්පෙති, තොල්, කම්මුලේ කොටස් හමුවී ඇත. සිරස ප‍්‍රදේශය හා ගැබ නිදන් හොරුන් විසින් විනාශ කරනු ලැබ ඇත.

ප‍්‍රතිමා ගෘහයක් තිබූ බව දක්නට ලැබේ.

පොත්ගුල

පොත්ගුල

පොත්ගුල

ගල් තලාවෙහි නැගෙනහිර දිසාවේ චතුරශ‍්‍රාකාර ස්මාරකය පොත්ගුල ලෙස හදුනාගෙන ඇත. අලංකාර ලෙස කළුගල් කුට්ටි තබා සියලූම බිත්ති බැඳ ඇත. එක් බිත්තියක දොරටුවකි. වහල ද කළුගලින්ම නිමවා ඇත. මෙහි සෑම ගලකම කි‍්‍රව 8 වැනි සියවසට අයත් අක්ෂර ඇත. එහි ළඟා වීමට පහළ සිට තරප්පු පෙළකි.

මෙම ගල් කුලෙහි පහළ ඇතුලට හාරා සකස්කරන ලද ගල්ලෙනකි. කළුගලින්ම නෙළු උළුවහු හා වහලක් තිබී ඇත. කටාරම් ද කොටා ඇත.

ප‍්‍රධාන ඝරය

භික්ෂූන් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටි ප‍්‍රධාන ඝර නම් වූ විශාල ගොඩනැඟිල්ලක නටබුන් ගල්ලෙනට ඉදිරියෙන් ඇත. එහි පාදම හා ගඩොලින් තනා ඇති බිත්ති වල පහළ කොටස් අදටත් දැකිය හැකිය.

අක්කර 250 ක් පමණ වන මෙම ගල්තලාවෙහි මෙවැනි ගොඩනැගිලි 12ක නටබුන් සොයාගෙන ඇත.

නෙළුම් පොකුණ

නෙළුම් පොකුණ

නෙළුම් පොකුණ

ජලය රැස් කිරීමට ගල්තලාවෙහි තැන් තැන් වල අලංකාර ලෙස තැනූ පොකණු දක්නට ඇත. මෙම පොකුණු විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී පවතී.

ගල්ලෙන්

පොත්ගුල ඇති ගල් පර්වතයේ සිට කැලෑව මැදින් ටික දුරක් ගිය විට මෙහි එක් එක් ප‍්‍රමාණයේ ගල්ලෙන් 5ක් දක්නට ඇත.

ඓතිහාසික චිත‍්‍ර

ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් චිත‍්‍ර විශාලතම ගල්ලෙන තුල දැකගත හැකිය. ලෝකයේ හා ලංකාවේ ඉතාමත් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දුර්ලභ සිතුවම් වසර 4000ක් පමණ පැරණි විය යුතු යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දක්වා ඇත. වැදි චිත‍්‍ර ලෙසින් නම් කර ඇති මෙම සිතුවම් ප‍්‍රාථමික යුගයේ ජීවත් වූ ආදිවාසී ජනතාව විවේක කාලයේදී නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ශාක පත‍්‍ර යුෂ, පාට ගල් වර්ග, අල, අඟුරු, සත්ව ලේ මිශ‍්‍ර කර සාදාගත් සායම් වලින් මෙම නිර්මාණ කර ඇති බවට විශ්වාස කරයි. සතුන්, ඉර හඳ, තාරකා දුනු ඊතල මෙම චිත‍්‍ර අතර වෙයි.

ශිලා ලේඛන

භික්ෂූන් වහන්සේලා උදෙසා කළ පූජාවන් හා නොයෙක් වැදගත් තොරතුරු දැක්වෙන කි‍්‍ර:ව 8 වැනි සියවස දක්වාවූ දීර්ඝ කාලයකට අයත් ශිලා ලේඛණ ද මෙහි පිහිටුවා තිබේ. ගල්ලෙන්, බෝමළුවේ, ගල් පුවරුමත, පොත්ගුලෙහි, ගල්කැබලි මත, පොකුණු හා ගල්කැටයම්වල ද මෙහි එක් එක් යුගවලට අයත් ශිලා ලේඛණ දක්නට ලැබේ.

තන්තිරිමලේ විහාරස්ථානය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )