“මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය.


ලලිත් ඇතුලත්මුදලි නම් ඒ උදාර මිනිසා ජාතියක නායකත්වය කරා ගමන් කරමින් සිටිද්දී ජය ටැඹ පෙනි පෙනී, මරණයේ තොටමුණෙන් සසර ගමනට පිළිපන්නේය. ඒ 1993 අප්‍රේල් 23 වන දා කිරුළපන නගර සභා පිටියේ පැවැති පළාත් සභා මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකිනි. ලලිත් ඝාතනය අදටත් නොවිසඳුණු අභිරහසකි.

ලලිත් ඇතුලත්මුදලි සිරිමතුන් මිහිදන්ව නිදන නොඑසේනම් අළු අහුරක් බවට පත් සිරුර නිධන්ගත බොරැල්ල කනත්තේ පිහිටි සොහොන් කොතෙහි මෙසේ ලියැවී ඇත්තේය.

“මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සුද ඔහුට බෙහෙවින් ආදරය කළහ.”
ඔහුගේ ජීවිතයේ සමස්තාර්ථය ඒ කෙටි වැකි දෙකෙහි ගැබ්ව ඇත්තේය.
අනූව දශකයේ මුල රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය ඔස්සේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව එල්ල කළ වෙඩිමුරය අදත් දශක දෙකක් මුළුල්ලේ දේශපාලන ක්‍ෂේත්‍රයේ රැව් පිළිරැව් දෙයි.
ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක දෙපොළත් ඔවුන්ගේ අනුගාමිකයනුත් එදා දිටි සිහිනය අදත් සැබෑවී නැති බව ඇත්තකි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ශපථ කළ දිවුරා පොරොන්දු වූ දේශපාලනඥයන්, ජනපතිනියන් සහ ජනපතිවරුන් බවට පත් වුවද පසු ඔවුන් ජනපති පුටුවේ හිඳගත් කල්හි පොරොන්දු උඩු සුළඟට මුහු විණි.

එදා ලලිත්ට- ගාමිණීට එරෙහිව එසවුණු දෑත් අද එසවෙනුයේ, මහමඟ අසබඩ වේදිකා දෙකක දී වෙඩි සැර පහරින්, වෙඩි බෙහෙත් අහුරකින් ජීවිතය බිලිගත් ලලිත්-ගාමිණී දෙපළගේ මතවාදයට ඉඳුරාම පක්ෂපාතීවය.

ලලිත්-ගාමිණී ප්‍රමුඛ දස දෙනකු එ.ජා.ප.යෙන් මතු නොව පාර්ලිමේන්තුවෙන්ද පිටමං කර මහමඟට ඇද දැමූ ඇත්තන්ටද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඔවුන් දෙදෙනාගේ ඝාතනවලින් විසි වසරකට පසු උද්ඝෝෂණය කරන්නට සිදුවීම දෛවයේ සරදමකි.
“සැබෑ මිනිසා වාසිය රැඳී ඇති මාවත නොසොයයි. ඔහු සොයන්නේ යුක්තිය රැඳී ඇති මාවතයි” යනුවෙන් ශේ්‍රෂ්ඨ විප්ලවවාදියකු වූ ජොසේ මාර්ටි කීවේය. “අද දින ඔහුගේ සිහිනය හෙට දින රටේ නීතිය වනු ඇත්තේය” යි ඔහු තව දුරටත් පවසා තිබේ.

1993 අප්‍රේල් 23 වන දා මහපොළොවට මුල්ම අරුණලු වැටෙන්නට පෙර ලලිත් සිය ආරක්ෂක නිලධාරි වන මුතුබණ්ඩා සහ රියැදුරු ජිනදාස කැටිව මුන්නේශ්වරම බලා පිටත් විය. එදින ග්‍රහචාරය අනුව ඔහුට අපලදායී දිනක් ලෙස දෛවඥයන් සඳහන් කර තිබිණි. අතරමඟ දී ලලිත් ගමන්ගත් රිය ආරක්ෂක කඩුල්ලක් නොමැති තැනකදී දුම්රියෙන් බේරුණේ නූලෙනි. අපල ගෙවී ගියා යැයි මුතුබණ්ඩාත්, ජිනදාසත් තම සිත්සතන් සනසා ගත්හ.

සන්ධ්‍යා යාමයේ ජන රැලිය ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ උපන් ගෙදර අසබඩ ‘සැනසුම’ නිවෙසට කටහඬ ඇසෙන මානයේ සංවිධානය කර තිබුණේය. සියලු දෙනාගේ අවධානය යොමු වී පැවැතියේ එහි ආරක්ෂක විධිවිධාන කෙරෙහිය. පාක්ෂිකයන් දහස් ගණනක් ප්‍රහාරයකදී දිවිපුදා හෝ ප්‍රතිප්‍රහාර දීමට මැනවින් සංවිධානය වී උන්හ. ලලිත් වෙඩි නොවදින කබායක් හැඳ සිටියේය. අතිසාර්ථක ජන රැලියක් ප්‍රේමදාස රාජධානිය වූ අලුත්කඩේ කෙසෙල්වත්ත සමීපයේ පවත්වා දෙනෝදාහක් ඔල්වරසන්, ජයඝෝෂා මැද විකසිත මුහුණින්, උද්දාමයෙන් හා විජයග්‍රාහී හැඟීමෙන් යුතුව ලලිත් රැස්වීම් භූමියෙන් නික්මිණි. අතරමගදී ඔහු වෙඩි නොවදින කබාය උනා දැමුයේ අනාරක්ෂිත හැඟීම තුරන්වීමත්, දැඩි දහඩියත් හේතුවෙනි.

කලින් තීරණය කළ ගමන් මඟ වෙනස් කරමින් කිරුළපන නාගරික පිටියේ පැවැති රැලියට හෙතෙම ළඟා විය.

එදා කිරුළපන ජන රැලිය අමතමින් සිටියදී නන්නාඳුනන තුවක්කුකරුවකු ලලිත්ගේ ඇලපතට තැබූ වෙඩි පාරක් හදවත පසාරු කරමින් හෙතෙම වේදිකාව මත ඇද වැට්ටුවේය. කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලදුව ප්‍රාණය නිරුද්ධ විණි.
පසුදින මහ ජන ගඟක් පිරිවරා, හැඬුම්, වැලපුම්, දෙස් දෙවොල්, විලාප මැදින් කොළඹ 07, ෆ්ලවර් ටෙරසයේ අංක 08 දරන පෞද්ගලික නිවස්නයට ළඟා වූයේ නිහඬ නිසසල දරදඬු දේහයයි.

යාබද නිවෙසෙහි එනම් ලලිත්ගේ කාර්යාල කාමරය පිහිටි උඩු මහලෙහි ඔහුගේ අත් අකුරින්ම ලියැවුණු ලියවිල්ලක්, සුරත් පහස ලත් ඓතිහාසික ලේඛනයක් තිබුණේය.

අභාවයෙන් පසු විෂන් ෆො ශ්‍රී ලංකා (Vision for Sri Lanka) නමින් සීමිත පිටපත් සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කෙරුණු ‘ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි දැක්ම’ යනුවෙන් සිංහල බසට පරිවර්තිත එම ලේඛනය ශ්‍රී ලංකාවේ නව ආණ්ඩු ක්‍රමයකට ලියූ ප්‍රතිපත්ති ලේඛනයකි. ‘ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් එක්සත් වූ ආර්ථික වශයෙන් නිදහස් වූ දේශයක් කරා මෙහෙයවීම’ යනු එහි තේමාවයි.

‘ඔහු කුරිරු අන්දමින් මරා දැමුණු අවස්ථාවේදී ඔහුගේම අත් අකුරින් සකස් වූ මූලික ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ අන්තර්ගත සවිස්තරාත්මක ප්‍රතිපත්ති ලේඛනයක් ඔහුගේ මේසය මත විය’ යනුවෙන් ඒ අප්‍රකට පොතට ශ්‍රී මනී ඇතුලත්මුදලි පෙර වදනක් ලීවාය.

ප්‍රතිපත්ති ප්‍රකාශනයට අයත් තේමාවන් මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ජන වාර්ගික ගැටලුව, ආර්ථික ප්‍රශ්නය, තරුණ පරපුර රැකියා සහ නිපුණතා සංවර්ධනය, අධ්‍යාපනය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා නව උපාය මාර්ග, විද්‍යාව හා තාක්ෂණය, යටිතල පහසුකම් සංවර්ධනය, පෝෂණය හා ප්‍රාථමික සෞඛ්‍යය, විදේශ ප්‍රතිපත්තිය සහ සංස්කෘතිය වශයෙනි.

මූලික ප්‍රතිපත්ති යන්නෙහි වෙසෙසින් ගැබ්ව ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකදී අවධානය යොමු කළ යුතු කරුණුය.

නීතියේ පාලනය සහ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ, ප්‍රජාතාන්ත්‍රික හා දේශාපලන ආයතන, ආර්ථික අර්බුදය, තරුණ පරපුර, රැකියා සම්පාදනය හා නිපුණතා සංවර්ධනය, අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය හා සමුපකාර අංශය, යටිතල පහසුකම්, ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය හා පෝෂණය, විදෙස් පිළිවෙත, ආගම හා සංස්කෘතිය, ජාතික බුද්ධි සංචිතය, වෙළෙඳ කාර්මික හා ව්‍යාපාර සංවර්ධනය, පොදු කරුණු රාජ්‍ය පරිපාලනය, ආර්ථිකයෙන් සංවර්ධිත රටක් සහ විධායක බලයෙන් තොර ජනාධිපතිවරයාට අයත් කරුණු යන උප සිරැසි යටතේ ලලිත් ඇතුලත්මුදලි සිය ලේඛනය සම්පූර්ණ කර තිබුණේය.

ලලිත්ට සිය දේශය පිළිබඳ නිවැරැදි දැක්මක්, පැහැදිලි ගමන් මඟක් හා සොඳුරු සිහිනයක් විය. දෙස් විදෙස්හි කීර්තිබර ප්‍රකට පීඨයන් වෙතින්, සතත අධ්‍යයනයෙන්, වියතුන් සභා හොබවමින්, පොදු ජනතාව සමඟ ගැටී ගැවැසී සංවේදශීලී වෙමින්, තර්ක විතර්ක නඟමින් ඔහු ගමන් ගත් බුද්ධි පථය වත්මනෙහි හාත්පස දිස්වන සාටෝපවත්, හරසුන්, මග දිගට මුහුණත් තහඩු ප්‍රදර්ශනය කෙරෙන විපරීත දේශපාලන චරිතවලට ඉඳුරාම වෙනස්ය. ඔහු මීළඟ ඡන්දය දෙස බැලූ සුලබ දේශපාලනඥයකුට වඩා මතු උපනූපන් පරපුර දෙස බැලූ දේශපාලන ප්‍රාඥයෙකි; ඒ මතු නොව කෘතහස්ත පාලනතන්ත්‍රවේදියෙකි.

ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරුන් දහසය දෙනකු ගෙන් පරිමිත කැබිනට් මණ්ඩලයක්ද කෙටුම්පත් කළේය. (එහි ජේ‍යෂ්ඨ අමාත්‍යවරු සහ කැබිනට් නොවන අමාත්‍යවරු නොවූහ) එකී අමාත්‍යංශ මෙන්ම ඒවායෙහි වපසරිය සිය අත් අකුරින්ම ලියා තිබිණි.

01. අග්‍රාමාත්‍ය කටයුතු.
02. ආරක්ෂක කටයුතු (ජාතික, කලාපීය, අන්තර්ජාතික, හමුදා සහ පොලිස් බළකාය)
03. ප්‍රවාහන හා මාර්ග සංවර්ධන
(ගුවන්, නාවික, පොදු ප්‍රවාහන, අධිවේගී මාර්ග හා මාර්ග, සියලු ගණයේ ප්‍රවාහන කටයුතු)
04. ජාතික පරිපාලනය
(රාජ්‍ය පරිපාලනය, ස්වදේශ කටයුතු, සමාජ සුබ සාධනය, විමධ්‍යගත පරිපාලන කටයුතු සහ පළාත් පාලනය)
05. පොදු මූල්‍ය හා සැලසුම්
(දීර්ඝ කාලීන සැලසුම්, සැලසුම් ක්‍රියාත්මක කිරීම, අය-වැයකරණය සහ මූල්‍ය පාලනය)
06. කෘෂිකර්මය
(කෘෂිකර්මය හා පර්යේෂණ, වාරිමාර්ග, ඉඩම් සංවර්ධනය, ඉඩම් ප්‍රතිසංස්කරණය සහ වැවිලි කර්මාන්ත)
07. වෙළෙඳ සහ වාණිජ කර්මාන්ත
(වෙළෙඳ සහ වාණිජ, ආහාර හා සමුපකාර, කර්මාන්ත කටයුතු, රෙදිපිළි හා ඉලෙක්ට්‍රොනික කර්මාන්ත)
08. අධ්‍යාපන නිපුණතා වර්ධන සහ කම්කරු
(අධ්‍යාපනය, උසස් වෘත්තීය අධ්‍යාපනය, වාත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, තරුණ කටයුතු, ක්‍රීඩා, තෛ්‍රභාෂික අධ්‍යාපන සංවර්ධනය සහ කම්කරු)
09. අධිකරණ, මානව අයිතිවාසිකම් සහ සංස්කෘතික
(නීති කටයුතු, සුළු ජාතික ප්‍රජාවන්හි කටයුතු, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම, මානව අයිතිවාසිකම්, සංස්කෘතික කටයුතු)
10. යටිතල පහසුකම් සහ ජාතික සංවර්ධනය
(විදුලිය හා බලශක්ති, තැපැල් හා සන්නිවේදන, විද්‍යා හා තාක්ෂණ, පර්යේෂණ හා සංවර්ධන, යටිතල පහසුකම් සංවර්ධන, පාරිසරික කටයුතු)
11. විදේශ කටයුතු
(ආයෝජන ප්‍රවර්ධන, ආගමන විගමන, විදේශ කටයුතු, සංචාරක සංවර්ධන, ජාත්‍යන්තර සම්මුති, රාජ්‍ය නොවන සංවිධාන සංවර්ධනය, දේශීය විනෝද කටයුතු)
12. අත්‍යවශ්‍ය සේවා
(නිවාස හා ඉදිකිරීම්, සෞඛ්‍යය හා සංවර්ධන කටයුතු, රෝහල්, දුප්පත්කම දුරැලීම, ජාතික ව්‍යසයන් හා ඉඩම්වල නැවත පදිංචි කිරීම්)
13. පාර්ලිමේන්තු කටයුතු හා ප්‍රවෘත්ති
(පාර්ලිමේන්තු කටයුතු, ප්‍රවෘත්ති හා ගුවන්විදුලි, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, රජයේ මුද්‍රණාලය)
14. කාර්මික නොවන කටයුතු
(ධීවර, කිරි නිෂ්පාදනය, සමුද්‍ර කටයුතු, පශු සම්පත්, වන හා වන සංවර්ධන, හස්ත කර්මාන්ත සංවර්ධනය, මැණික් හා ස්වර්ණාභරණ, පතල්)
15. විශේෂ කටයුතු
(නගර සැලසුම්, නාගරික සංවර්ධනය, රේගුව, දේශීය ආදායම්, රක්ෂණ හා අපනයන විගණක ජනරාල්)
16. කාර්ය නියමයක් නොමැති (ක්ෂණික හා සුවිශේෂ අවධානයක් සැලසිය යුතු කරුණු සඳහා)

තම නායකත්වයෙන් යුත් රජයක එම අමාත්‍ය තනතුරු දරනු ලබන්නේ කවුරුන් ද යන්න පිළිබඳ ලලිත් ඇතුලත්මුදලි සතු පූර්ව නිගමන පැවැති බව ලලිත් “ඇතුලත්මුදලි නොනිමි මෙහෙවර” චරිතාපදාන ග්‍රන්ථයේ කතුවරයා වශයෙන් මම දැන සිටියෙමි.

ලලිත්ගේ සිහින කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා දැන් ජීවතුන් අතර නැත. වෙළෙඳ හා වාණිජ, කර්මාන්ත අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකි. ඔහුගේ විෂය පථය නම් වෙනස්ය.

මව්බිම 25 ඉරිදා.

(නොවැම්බර් 26 වන දිනට යෙදෙන ලලිත් ඇතුලත්මුදලි ශ්‍රී මතුන්ගේ හැත්තෑ පස්වන ජන්ම දිනය නිමිත්තෙනි.)

Check out Mawbima Online | ලලිත්ගේ සිහින ආන්ඩුවේ වෙළෙඳ ඇමැති අද රාජපක්ෂ ආන්ඩුවේ ඇමැතිවරයෙක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )