තිදෙනෙක්ගේ හෘද සාක්ෂිය.


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් සහ අර්ජුණ රණතුංග යන මහත්වරුන් වෙත සරත් ෆොන්සේකා මහතා ලිපි දෙකක් ‍යවා ඇත.

සරත් ෆොන්සේකා මහතා එම ලිපි වලින් ඉල්ලා සිටින්නේ තමා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තව දුරටත් රැඳී සිටිනවා දැයි දන්වන ලෙස ය.

මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනාට ලිපි දෙකක් යොමුකර තිබේ.

එම ලිපිවල දැක්වෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තවමත් ලියාපදිංචි වී නොමැති බැවින් මෙම ඉල්ලා අස්වීම් යථාර්ථයක් නොවන බව ය.

මාධ්‍ය ප්‍රකාශවල සඳහන් වුවත් ඉල්ලා අස්වීමේ ලිපියක් තවමත් තමන් වෙත ලැබී නොමැති බව සරත් ෆොන්සේකා මහතා ටිරාන් අලස් මහතා වෙත යැවූ ලිපියෙහි සඳහන් වේ .

එහි දැක්වෙන්නේ,  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ඡන්දය දුන් සිය ප්‍රතිපත්ති අනුමත කරන ජනතාවගේ වරමින් අලස් මහතා තමා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත්කල බව ය.

ඔවුන්ට කෘතඥතාව දැක්වීමට ඉදිරියේදී ගන්නා දේශපාලන ක්‍රියාමාර්ගය පිළිබඳව ඔවුන් අවධානයෙන් බලා සිටිනු ඇතැයි ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

ඔහු අර්ජුණ රණතුංග මහතාට යැවු ලිපියෙහි දැක්වෙන්නේ,  තම දේශපාලන ප්‍රතිපත්තිය අනුමත කරන ජනතාව දුන් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ රණතුංග මහතා ඔවුන්ට කෘතඥතාව දක්වන ආකාරයද ජනතාව බලා සිටිනු ඇති බව ය. http://newsfirst.lk/news1st-sin/node/17066


අර්ජුන රණතුංග මහතා විසින් යවන ලද පිළිතුරු ලිපිය;

සරත් ෆොන්සේකා මහතාණෙනි,

2012.11.10 දාතමින් ඔබ එවූ ලිපිය මා 2012 නොවැම්බර් 14 දින ලදිමි.

ජනතාවට කෘතඥතාව දැක්‌වීමට මා උගෙන ගත්තේ 2001 මහ මැතිවරණයට තරග කිරීමටත් පෙර සිට ජනතා සේවයට දිවි හිමියෙන් කැපවුණු මාගේ පියාණන්ගෙනි. මා උගෙන ගෙන ඇති කෘතඥතාව ඔබ සඳහන් කරන කෘතඥතාවය අතර වෙනසක්‌ ඇති දැයි මා නොදන්නා මුත් මාගේ වසර 11 ක දේශපාලන ජීවිතය පුරාම මා ජනතාවට කෘතඥතාව දක්‌වන ආකාරය ජනතාව හොඳින් දනී.

රටේ වර්තමාන අභියෝග හමුවේ දුක්‌ විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ අනේකවිධ ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් මා කැප වීමට ගත් තීරණය වෙනස්‌ වී නොමැති බැවින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ විශ්වාසය සහ ඒ අරමුණු වෙනුවෙන් මා තවදුරටත් එම සන්ධානය තුළ රැඳී සිටින බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඔබ පවසා ඇති පරිදි අලුත් මිනිසුන් සමඟ යැමට සැරසෙන අලුත් දේශපාලන ගමනට මාගෙන් සුබ පැතුම්.

අර්ජුන රණතුංග

ටිරාන් අලස්‌ මහතා යවන ලද ලිපිය;
මහතාණෙනි,

2012.11.10 දා තමින් ඔබ එවූ ලිපියේ මා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ඔබට ලැබී නොමැති බව සඳහන් කර තිබේ. ඔබේ ලිපිය මා වෙත ලැබුණේ ඔබ විසින් එය මාධ්‍යයට ලබා දී පැය 48 කට පසුවය.

2010 පෙබරවාරි මස 08 වැනි දින සිට 2012 මැයි මස 21 වැනි දින ඔබ නිදහස්‌ කරන තෙක්‌ ඔබ වෙනුවෙන් සහ ඔබගේ පවුල වෙනුවෙන් මා කළ සේවය සහ කැපවීම මාස තුනක්‌ වැනි සුළු කාලයක්‌ තුළ ඔබට අමතක වූවා නම්, 2012 සැප්තැම්බර් මස 03 වැනි දින සවස 6.00 ට ඔබගේ නිවසට පැමිණ ඔබ අතට භාර දුන් අස්‌වීමේ ලිපිය ඔබට අමතකවීම ගැන මම ද මවිතයට පත් නොවෙමි.

2010 මැතිවරණ ව්‍යාපාරයේදී මා සතුව තිබු පක්‍ෂයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් වෙනස්‌ කොට ඔබ සැමට තරග කිරීමට අවස්‌ථාව ලබා දෙමින් ඔබගේ ජයග්‍රහණය තහවුරු කිරීමටත්, පසුව ඔබගේ නිදහස තහවුරු කිරීමටත් මා ඉටු කළ කාර්යභාරය දන්නා ජනතාව ඔබ කෘතඥතාව දක්‌වන ආකාරයත් මා කෘතඥතාව දක්‌වන ආකාරයත් හොඳින් අවබෝධ කර ගෙන ඇති බව මට විශ්වාසය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ අරමුණු දිනා දීමට සන්ධානය තුළ රැඳී සිටිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම සහ ජනතාව මුහුණ දී තිබෙන අනිකුත් ගැටලු සඳහා සාධාරණ විසඳුමක්‌ ලබා ගැනීම වෙනුවෙන් මා කැප වන බව අවසාන වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඔබගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතමි.

ටිරාන් අලස්‌

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )