මේ සංසාරය යනු මහ පුදුම දෙයකි


කඩුල්ලටද  ස්වභාවික ලෙස හැරෙන්නට වෙනත් විදියකින් මිය පරලොව යාම ගැන බියක් ඇති බැවින් සැප්තැම්බර් 20 වෙනිදා දිවයින කතු වැකිය උපුටා පලකරමි. කඩුල්ල වැනි අයට මාධ්‍යකරුවන්ට තරම් සොචිචම් ආරක්‍ෂාවක්වත්නැති හෙයින් මේ සිද්ධිය පිලිබදව අටුවා ටීකා ලිවීමෙන් වැලකී සිටියේ මහත් අපහසුවෙන් බවත් සදහන් කරමි.

නඩුකාරයා හිරේ යයි විත්තිය ගෙදර යයි . – දිවයින කතුවැකිය.

මාලක සිල්වාගෙන් මේජර් ගුටිකෑවේ නැතිලු· එහි තේරුම එක්‌කෝ මේජර්ට පිස්‌සු බවය. එහෙමත් නැතිනම් මේ සියල්ල පිළිගන්නා අපට පිස්‌සු බවය. පළාත් සභා ඡන්දයට පසු දින මාලක, රෙහාන් විඡේරත්න ඇතුළු හත් දෙනකු කොළඹ ජායික්‌ හිල්ටන් නිවාස ක්‍රමයේ රිය ගාලේදී තමාට පහර දුන් බව මේජර් පොලිසියට පැමිණිලි කර තිබිණි. පහර කෑම නිසා මේජර් ගේ හිස පැලී තිබූ අතර, ගිනි අවිය අතුරුදන් වී රන් මාලය නොපෙනී ගොස්‌ තිබිණි. නලින් ෆොන්සේකා නමැති ධනවත් ව්‍යාපාරිකයා සතුව මේ නිවාස සංකීර්ණය තුළ නිවාසයක්‌ ඇති බව ද, මේජර් සමඟ ෆොන්සේකා ගේ සම්බන්ධයක්‌ තිබූ බව ද පසුව පුවත්පත්වල පළ විය. මාලක සිල්වා මේජර්ට පහර දී ඔහුගේ ගිනි අවිය ගැනීමෙන් පසු රෙහාන් විඡේරත්නට දුරකථනයෙන් කතා කළ නලීන් ෆොන්සේකා (ඔහු රෙහාන්ගේ මිතුරෙකි) “රෙහාන් මල්ලී අපි මේක ගොඩින් බේරා ගනිමු. මේජර්ගේ සර්විස්‌ වෙපන් එක භාර දෙන්න” යෑයි කී බවත් ඒ අනුව මේජර්ගේ සහ ඔහුගේ සහායකයාගේ ගිනි අවි දෙක මාලක සිල්වාගේ රියෑදුරා විසින් කොම්පඤ්ඤවීදියේ පොලිසියට භාර දුන් බවත් දැන ගන්නට තිබේ. සාමාන්‍යයෙන් ආණ්‌ඩුවේ ආරක්‍ෂක අංශ නිලධාරියකුට අයත් ගිනි අවි එකක්‌ හෝ වැඩි ගණනක්‌ සමඟ සිවිල් පුරවැසියකු පොලිසියකට ගිය විට ඔහු උපාසකරාළ කෙනෙකු බවට දිවුරුම් පෙත්සමක්‌ ඉදිරිපත් කළත්, ආපසු ගෙදර යවනු නො ලැබේ. ඔහුගෙන් කට උත්තරයක්‌ ගෙන කොළඹ අපරාධ කොට්‌ඨාසය භාර නියෝජ්‍ය පොලිස්‌පතිට දන්වා අවශ්‍ය වැඩ කටයුතු කරනු ලැබේ. (පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ‘සීන් එකට’ එන්නේ මෙයින් පසුව ය.) භාරගත් ගිනි අවි මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ වෙනත් පියවර ගනු ලැබේ. කිව යුතු දේ අජිත් රෝහණට දන්වනු ලැබේ.

 


එහෙත් මාලකගේ සිද්ධියේදී මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම කනපිට හරවන ලදී. රජයේ ආරක්‍ෂක අංශ සාමාජිකයකු සිය ගිනි අවිය නැති කර ගැනීම ඉතා නරක වරදකි. සෙබළකු ගිනි අවිය අත් හරින්නේ මරණයේදී, රාජකාරියෙන් නිදහස්‌ වන අවස්‌ථාවේදී සහ විශ්‍රාම ගිය විට පමණි. ගිනි අවි කොම්පඤ්ඤවීදියේ පොලිසියට භාර දෙන රියෑදුරා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නේ එසේ භාර දීමෙන් දෙදිනකට පසුව ය. අවසානයේදී මාලක තමාට පහර නොදුන් බව මේජර් තම ඇටර්නිවරයා හරහා දිව්රුම් පෙත්සමකින් උසාවියට දන්වයි. එසේ දිව්රුම් පෙත්සම භාර දෙන මේජර් මාලකගෙන් ගුටි කෑ මේජර් නොව වෙන මේජර් කෙනෙක්‌ ද? මාලක තමාට පහර දුන් බවට කල්තබා පොලිසියට පැමිණිලි කරන මේජර් එබන්දක්‌ නොවී යෑයි කියන්නේ කොහොමද? ඔහු සිටින්නේ කලිසමක්‌ ඇඳගෙන ද? ගුටි කෑමෙන් හිස පැලුණු බව මුලදී කියන ඔහු දෙවනුව කියන්නේ නාන කාමරයේ ඇද වැටීමෙන් හිස පැලී ගිය බවය.

එක්‌ අතකට මර්වින් සිල්වා කියන කතාවත් ඇත්ත. මාලක මේ සියලු විපත්වලට මුහුණ දෙන්නේ ඔහු මර්වින් සිල්වාගේ පුතා නිසා ය. ඔහු සාමාන්‍ය පන්තියට අයත් පියකුගේ දරුවකු වී නම් ආමිකාරයකුට පහර දුන් විට ලැබෙන ප්‍රතිඵලය මෙන්න. මුලින්ම සෙබළුන් පුරවාගත් ආමි ට්‍රක්‌ දෙකක්‌ සැකකරුගේ ගමට එයි. ඒ එන විට සැකකරු පැන ගොසිනි. ඊළඟට ට්‍රක්‌ දෙකේ සිටින සෙබළුන් බැස සැකකරුගේ නිවස ඇතුළු ගමේ සියලුම ගෙවල් සමතලා කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාස සංකීර්ණයක්‌ ඉදිකිරීම සඳහා පැල්පත් පේළියක්‌ කඩා දැමුවාක්‌ මෙනි. යම් හෙයකින් සැකකරු හසු වී නම් පසු දිනම ඔහුගේ අවසන් කටයුතු කිරීමට සිදු වන්නේ මළ මිනිය එම්බාම් කර වුව තබා ගැනීමට නොහැකි තරමට තලා පොඩිකර ඇති නිසා ය.

 මාලක තමාට පහර නොදුන් බවට මේජර් විසින් දිවුරුම් පෙත්සමක්‌ ඉදිරිපත් කිරීම සමාන වන්නේ විත්තිය නිදහස්‌ කර පැමිණිල්ල එල්ලුම් ගසට නැග සියතින්ම ගෙල වැලලා ගැනීමටය. නැත්නම් නඩුකාරයා හිරේ යවා විත්තිකරු ගෙදර යැමටය. සමහර විට මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කළ වරදට අලුගෝසුවා එල්ලුම් ගස්‌ යෑවීමට ද මෙය සමාන කළ හැකි ය.

මේ සංසාරය යනු මහ පුදුම දෙයකි. පුදුම තැනකි. එහිදී විය නොහැක්‌කක්‌ නොමැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )