ගොන් පාට් . – දිවයින කතු වැකියෙන්


ආරක්‍ෂව පිළිබඳ වෘෂභ ප්‍රතිපත්තිය

අයවැයට විරෝධය පළ කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ පැවැත්වූ පෙළපාලිය මුදල් අමාත්‍යාංශය පිහිටා තිබෙන අධි ආරක්‍ෂක කලාපයට ඇතුළුවීමට සූදානම් වන විට පොලිසිය එල්ල කළ ප්‍රහාරය පෙරේදා (30 දා) රූපවාහිනී නාලිකා මගින් ප්‍රදර්ශනය කෙරිණි. ජ.වි.පෙ. පොලිසියෙන් ගුටි ඉල්ලා සිටි බවත්, පොලිසිය ගුටි දීමට සූදානමින් සිටි බවත් රූපවාහිනි දර්ශන මගින් පැහැදිලි විය. පුරුදු පරිදි ගුටි කෙළියේදී ජවිපෙ සාමාන්‍ය සාමාජිකයන්ගේ සහ පොලිසියේ සාමාන්‍ය රාළහාමිලාගේ ඔලු පැලෙනු දන්නා ලදී. ගුටි කෙළිය නිමාවීමෙන් පසු ජ.වි.පෙ. නායකයන් කිහිප දෙනෙක්‌ එතැන සිට රැස්‌වීමක්‌ පැවැත්වූහ. සමහර විට ගුටිකෑම සඳහා ඔවුන් ඉදිරියට නොගියේ එවිට රැස්‌වීම ඇමතීමට කෙනකු ඉදිරිපත් නොවේය යන යහපත් චේතනාවෙන් විය යුතුය.

ජ.වි.පෙ. තරුණයන් පෙළපාලි ගියේ ප්‍රංශ විප්ලවයේදී බැස්‌ටීලයට පහර දීමට ගිය ගමනත්, පිදෙල් ක්‍රැස්‌ත්‍රො සහ චේගෙවාරා කියුබාවේ ආඥදායක බැටිස්‌ටාගේ මොන්කාඩෝ හමුදා බැරැක්‌කට පහර දීමට ගිය ගමනත් සිහි ගන්වමිනි. ඒ දෙගොල්ල නම් ගිය පයින්ම ආපසු නාවත් මේගොල්ලනම් ගිය පයින්ම ආපහු ගිය බව පෙනිණි.

ජ.වි.පෙ. පිරිසක්‌ මහත් වූ පෙළපාලියකින් කොටුවේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල පිහිටි අධි ආරක්‍ෂක කලාපය දක්‌වා පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ ගැටුම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේදී ආරක්‍ෂක අංශ සතුව පවත්නා ගොන් ප්‍රතිපත්තියයි.

ජ.වි.පෙ. පෙළපාලියක්‌ සංවිධානය වී පාරවල් දිගේ එන බවද ආණ්‌ඩුව දනී. එම පෙළපාලිය එන්නේ මග දිගටම ගුටි ඉල්ලමින් බවද ආණ්‌ඩුව දනී. එම පෙළපාලිය වැටවල් කඩාගෙන තම අරමුණු කරා ගමන් කරන බද ආණ්‌ඩුව දනී. පෙළපාලිය ආණ්‌ඩුවේ ඔත්තු සේවාවල කිසිදු අනුදැනුමක්‌ නැතිව කූඹින් ගුලකින් මතු වුණා සේ මුදල් අමාත්‍යාංශය ඉදිරියෙන් මතු වුණා නොවේ. එසේ නම් පෙළපාලිය මුලින් ගාල්වෙන තැන සිට එය නැවැත්වීමට ආණ්‌ඩුවට හැකිය.

ආණ්‌ඩුව නිතරම පෙළපාලියක්‌ නවත්වන්නේ එය සටන් පාඨ කියමින් කොළඹ නගරයේ සෑම හරස්‌ වීදියක්‌ දිගේම ගමන් කර අරලියගහ මන්දිරයේ ගේට්‌ටුව ඉදිරිපිටට පැමිණි විටය. නැත්නම් ජනාධිපති මන්දිරයට මිටර් 50 ක්‌ ඈතදීය. එහෙමත් නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන බම්බු ගේට්‌ටුව ඉදිරිපිටදීය. එතෙක්‌ දුර එන්නට ඉඩ හල පෙළපාලිය එතැනිනුත් එහාට යාමට සූදානම් වන විට පහරදී කඳුළු ගෑස්‌ ගසා වතුර ප්‍රහාර එල්ල කර නැවැත්වීම අවිනීතිය. එමතු ද නොව එසේ නැවැත්වීම ඉතා ලොකුවට ද පෙනෙන්නේය.

එවිට විපක්‍ෂයේ අරමුණ සාර්ථක වෙයි. ආණ්‌ඩුව ගොන් වෙයි. ලොව පුරාම ප්‍රචාරය වන්නේ ආණ්‌ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බවය. එහෙත් පෙළපාලිය මුදල් අමාත්‍යාංශයේ හෝ අරලියගහ මන්දිරයේ ගේට්‌ටුව දක්‌වා එන ගමන් මාර්ගය පුරාම එයට ඉඩ දීමෙන් ආණ්‌ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කළ බව කාටවත් කල්පනා වන්නේ නැත.

දිවයින කතු වැකියෙන්   – දෙසැම්බර් 02.

2 comments on “ගොන් පාට් . – දිවයින කතු වැකියෙන්

  1. පෙළපාලිය පටන් ගන්නකොටම නැවැත්තුවනම් එතනදි ඒ අයට තවත් සටන් පාඨයක් දුන්න වෙනව ප්‍රජාතන්ත්‍රවාද නැති ක‍රා කියල උද්ගෝෂනයක් වත් ක‍රන්න දෙන්නෙ නැහැ කියල
    මේ වගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන තැනකදි පහ‍ර දුන්නම ඒකට කියන්න හේතුවක් තියෙනව , මම හිතන්නෙ ඒකයි මේත‍රම් ගුටිදෙන්න ප‍රක්කු ක‍රන්නෙ . ඒකෙන් දෙගොල්ලොම සැනසෙනව ගුටි දීමෙන් සහ කැමෙන්🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )