මොන්ටිසෝරියේ වැඩ කිඩ


වර්තමාණයේ අපේ පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් තරම් වත් දියුණු නැත. කඩුල්ලට 1965 තරම් කාලයේ සිට දේශපාලන වටාපිටාව හැදෑරීම විනෝදාංශයක් විය. එකල දිනපතා පුවත් පතක් අතට ගත් විට නිවී හැනහිල්ලේ කියවන්න පාර්ලිමේන්තු වාර්තා පලවන පිටු සොයා යාම කඩුල්ලේ විනෝදාංශයක් විය. ආචාර්ය එන්.එම් පෙරේරා ආචාර්ය කොල්වින් ආර් සිල්වා පිලිප් ,රොබට් ආදී වාමාංශික දේශපාලන චරිත මෙන්ම ඩඩ්ලි , ජේ.ආර්, බණ්ඩාරණායක, රත්නායක වැනි දක්‍ෂිණාංශික දේශපාලන චරිත පාර්ලිමේන්තුවේ දිග අරින කතා හෙඩිමේ සිට  අවසානය දක්වා කියවන්න තරම් හරවත් විය.

1956 ඇරඹි නිර්ප්‍රභූන් පාර්ලිමේන්තුවට පැමීණිමෙන් පසු වුවද පාර්ලිමේන්තුවේ ගරුත්‍වය1977 තෙක්ම සුරැකී හරවත් විවාද ඇතිවු තැනක් බව කඩුල්ලට මතක් වෙන්නකි. 1977 න් පසු පාර්ලිමේන්තුවේ ප්‍රමාණාත්මකව වැඩිවී ගුණාත්මක බව හීනවී බුද්ධිමත් ඔළුවලට වඩා මැටි ඔළු පාර්ලිමේන්තුවට එන්නට පටන් ගත්තේය.

අද වන විට පඩිවරුන්ට කරණම් ගහන්න බියවු ශුද්ධ භුමියේ  මෝඩයෝ සැක බිය නැතිවත්  ලජ්ජා බිය නැතිවත් කරණම් ගසන්නේය. එය විරුද්ධ පක්‍ෂය කලත් ආණ්ඩු පක්‍ෂය කලත්  ජරා ජරාම කටයුත්තක් බව මෝඩයන්ට අයත් ඔළුවලට වැටහෙන්නේ නැත.

පාර්ලිමේන්තුව සංවාදයට සුදුසු තැනකි. ඔළුවෙන් වැඩ කළ යුතු තැනකි. එහෙත් දැන් ශක්තියෙන්   බලය පෙන්වීමට නිර්මාණය වු තැනක් යයි සිතා ගහ බැණ ගන්නේ  මෝඩ‍යින් රැළක් මෙනි. මෙලෙස කටයුතු කිරීමට සුදුසු තැනක් නොව  උත්තරීතර තැනක් බව මහජනතාව ‍තේරුම් තෙන ඇත. එහෙත් මහජනතාවගේ නියෝජිතයෝ ඒ බව තේරුම් ගෙන නැත.

 

 

කඩුල්ල මේ පුර්විකාව ලිවීමට හේතුවු ප්‍රවෘත්තිය 22 දිවයිණ වාර්තා කර තිබුනේ මෙසේය.

……………………………ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අයවැය වාර්තාව කියවන අතරතුරදී ආණ්‌ඩු පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබ තුළ ගුටිබැට හුවමාරු කර ගත්හ.

ජනාධිපතිවරයා අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම ආරම්භ කර මඳ වේලාවක්‌ යද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කළහ. එවිට ජනාධිපතිවරයා

“ලබන අවුරුද්දේ මැතිවරණ නැහැ… ඕනෑ නම් දෙන්නම් ඕනෑ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා වුණත් මැතිවරණයක්‌ දෙන්න පුළුවන්. මට බය ඉන්න කට්‌ටියත් නැතිවේවි කියලා… ජයලත් ජයවර්ධන මහත්තයෝ දෙයියන්ගේ පිහිටයි” යැයි විපක්‍ෂයට කීවේය.

එවිට විපක්‍ෂයේ මන්ත්‍රීවරු “ලැඡ්ජයි… ලැඡ්ජයි….” යෑයි ජනාධිපතිවරයාට කීවේය. මේ අවස්‌ථාවේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු සිය මේස මත සඟවාගෙන සිටි “ලැඡ්ජයි” යනුවෙන් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවෙන් ලියූ පුවරු උස්‌සා ජනාධිපතිවරයාට පෙන්වූහ. “ඕක තමයි ලැඡ්ජ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරද්දී විපක්‍ෂය බෝඩ් උස්‌සනවා” ජනාධිපතිවරයා කීවේය.

මේ අවස්‌ථාවේදී විපක්‍ෂය පැත්තේ අවසන් අසුන් පේළි කිහිපයේ සිටින ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතර සිටි ලොහාන් රත්වත්ත මහතා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා වෙත දිව ඇවිත් ඔහු අත තිබූ පුවරුව උදුරා ගත්තේය. ඉන්පසු රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ද ඉදිරිපස අසුන් වෙත ගොස්‌ ජෝන් අමරතුංගට පහර කිහිපයක්‌ දෙන ආකාරය දැකගත හැකි විය. රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා නැවත සිය අසුන කරා එද්දී එජාපයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහු එන මඟ හරස්‌ කළේය. එහිදී බහින්බස්‌ වීමක්‌ සිදුවන අයුරු දැකගත හැකි විය.
මේ අවස්‌ථාවේදී එහි පැමිණි ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පහර දුන් අතර හරීන් මන්ත්‍රීවරයා ද රත්වත්ත මහතාට පහර දෙන්නට සූදානම් විය. මේ අවස්‌ථාවේදී ලොහාන් රත්වත්ත මහතා අසලට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුද, හරීන් ප්‍රනාන්දු මහතා වෙත විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද පැමිණ වටකර ගත්හ.
මෙම සිද්ධිය වන අවස්‌ථාවේදී විපක්‍ෂය පැත්තේ විවිධ තැන්වල මෙසේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් සහ විපක්‍ෂ මන්ත්‍රීවරුන් එකිනෙකාට පහර දෙන ආකාරය දැකගත හැකිවිය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි, මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා යන මහත්වරු සභාගැබ මැදින් විපක්‍ෂය වෙත දිව ආහ. ලලිත් දිසානායක මන්ත්‍රීවරයා ද ජයලත් ජයවර්ධන මහතා අත තිබූ පුවරුව උදුරා ගන්නා අයුරු දැකගත හැකි වූ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජිත් මද්දුමබණ්‌ඩාර මහතාට පහර දෙන ආකාරයත්, විජිතමුණි ඇමැතිවරයා විපක්‍ෂය දෙසට පොතක්‌ විසිකරන අයුරුත් දැකගත හැකිවිය. රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා මංගල සමරවීර මන්ත්‍රීවරයා වෙතට දිව ආවේය.
මේ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා “මෙහෙ එන්න… මෙහෙ එන්න…. අපේ අය වාඩි වෙන්න…” යෑයි කියද්දී විපක්‍ෂයේ පසුපස අසුන්ගෙන සිටින ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් අතරින් වතුර පිරවූ ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ විපක්‍ෂ මන්ත්‍රීවරුන් දෙසට එල්ල විය. එය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අසලට වැටිණි. මේ අවස්‌ථාවේදී සභාගැබ යුද පිටියක්‌ සේ දිස්‌වූ අතර සියල්ලන් කෑකෝ ගසද්දී ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කළේය.
මේ අවස්‌ථාවේදී යළි ආණ්‌ඩු පක්‍ෂය දෙසින් විපක්‍ෂය දෙසට වතුර බෝතලයක්‌ එල්ල කළේය. එම වතුර බෝතලය ජනාධිපතිවරයා ඉදිරියේ බිම පතිත වූයේ මූඩිය ද ගැලවී එහි තිබූ ජලය විසිරෙමිනි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු නිහඬව සිදුවන දෑ දෙස බලා සිටියහ.
අනතුරුව විපක්‍ෂ නායකවරයා “මේක හරිම අසෝබන වැරදි ක්‍රියාවක්‌… ඒ නිසා අපි මීට විරෝධය පළකර නැගිට යනවා” යෑයි කීය. එවිට සියලුම එජාප මන්ත්‍රීවරු නැගිට පිටව ගියහ.
“මෙහෙම විපක්‍ෂයක්‌ අපිට ඕන නැහැ… අපිට ඕනෑ ශක්‌තිමත් විපක්‍ෂයක්‌….” යෑයි කී ජනාධිපතිවරයා “ගැලරිය පැත්තෙන් වතුර බෝතලයක්‌ ආවාලු… හොයලා බලන්න” යෑයි වේත්‍රධාරිවරයාට කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පමණක්‌ විපක්‍ෂයේ අසුන්ගෙන සිටි අතර ජනාධිපතිවරයා අයවැය කතාව තවදුරටත් ඉදිරිපත් කළේය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

ජනාධිපතිවරයා බලා සිටියදීම ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන්ට පහරදුන් බවත් මේ නිසා පාර්ලිමේන්තුව අවනීතියේ සංකේතයක්‌ බවට පත් වූ බවත් එ.ජා.ප. නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මුළු ලෝකයම බලා සිටියදී ආණ්‌ඩුව මෙලෙස විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට පහර දෙන්නේ නම් මේ රට ලිබියාවක්‌ වගේ යෑයිද ආණ්‌ඩුවට මේ පාර්ලිමේන්තුව තවත් කොලොන්නාවක්‌ කිරීමට විපක්‍ෂය කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන්නේ යෑයිද ඊයේ (21 වැනිදා) සවස විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතින් පයින් පහර දෙද්දී සමහරුන් වතුර බෝතල්, පොත් හා වෙනත් උපකරණවලින් මන්ත්‍රීවරුන්ට පහරදුන් බවත් මේ නිසා මන්ත්‍රීවරුන් කිහිපදෙනකුටම පහර එල්ල වූ බවත් කී විපක්‍ෂ නායකවරයා තමාගේ කකුලකටද ප්‍රහාරයක්‌ එල්ල වූ බවත් කියා සිටියේය.
ජනාධිපතිවරයා අයවැය කතාවේදී රණවිරුවන්ගේ දරුවන්ට දීමනාවක්‌ දෙන බව කියද්දී රංග බණ්‌ඩාර මන්ත්‍රීවරයා යුද්දේ ජයගත් සරත් ‍ෆොන්සේකා ගැන මොකද කරන්නේ යෑයි විමසූ බවත් විපක්‍ෂනායකවරයා කීය. ඉන්පසුව පාර්ලිමේන්තුව විසුරුවාහරින්න වුවත් හැකි බව කියන විට විපක්‍ෂය එම අභියෝගය භාරගැනීමට සූදානම් බව ජනාධිපතිට කියද්දීම එකවරම අපේ මන්ත්‍රීවරුන්ට පහරදුන් බවද හෙතෙම කීය.
මේ රටේ අද ප්‍රජාතන්ත්‍රවාදය නැති බව මුළු ලෝකයටම ආණ්‌ඩුව පෙන්වූ බවද, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන පාර්ලිමේන්තුවෙත් ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට නැති වී ගොස්‌ ඇතැයිද වික්‍රමසිංහ මහතා කීය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන සටන අපි මොන බාධක එල්ල වුවත් හෙට සිටම අරඹන බවත් විපක්‍ෂය ඒකාබද්ධව ලබන සතියේ සිට අඛණ්‌ඩ විරෝධතා මාලාවක්‌ ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.
ඊයේ (21 වැනිදා) උදැසන විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙද්දී පොලිසිය යොදවා ඔවුන්ගේ ලිපිගොනු පරීක්‍ෂා කර ඒවා පොලිසිය ලබාගෙන යෑයිද මන්ත්‍රීවරුන්ට තමන්ගේ ලිපි ගොනුවක්‌වත් රැගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදා වී ඇතැයිද කීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්‌ සහභාගි වූ අතර මන්ත්‍රීවරියන් විරෝධතා පුවරු ඔසවා සිටිනු දක්‌නට ලැබිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )