වැස්ස පටන් ගත්තා.


 

අනාවැකි පල කරන කාල ගුණ දෙපාර්තමේන්තුව ඔක්තෝම්බර් මාසයේ 24 පහුවන විට මෝසම් වැසි සක්‍රීය වන බව ප්‍රකාශ කර තිබු බව පසු ගිය දිනක පුවත්පතක පලවී තිබුනා මට මතක් වුනා .

අපේ වැඩි හිටියෝ කාලගුණ අනාවැකි පළ කරන්නේ ඔවුන්ගේ ජීවිත කාලයේම ජීවිතයට එකතු කර ගත් දත්ත ගබඩාවේ පතුල අත ගාගෙනය. වැඩිහිටි ගොවි මහත්තෙක් වෙත  “මේ පාර තාමත් වැස්ස නෑ නේ” යයි ප්‍රශ්ණයක් ඉදිරිපත් කලහම “පුතා ,පෝය ලබන්නේ එකොලොස් වෙනිදා අටවක පහුවෙනව හතරවෙනිදාට ඒ දවස්වලට වහී “යැයි වම් අත්ලට දකුනූ අතේ දඹර ඇගිලෙන් තට්ටුවක් කරමින් තහවුරු කලා. අට වෙනිදා අපේ පැත්තට තද නියගය හමාර කරමින් පැය බාගයක් විතර අනෝරා වැස්සක් වැස්සා.ඊයෙත් උදේ වරුවේ නෑගණහිර අහසට කළුවළා එක්කරමින් ඉදලා  හවස් වරුවේ ඇති නොකියන්න වැස්සා.

අපේ වැඩිහිටියෝ ගොවිතැන් කරන්නේ කාළගුණය දිහා බලා ගෙන. යළ මහ කන්න වෙන් කරන තීරුව සකස් වී ඇත්තේ කාළගුණය මායිම් කරගෙන. යල් කන්නය කෙළවරවන විට වහින්න තතනන විට භෝග නෙලා ගන්නා වැඩිහිටියෝ වැස්සට ඉඩ දීලා නිවාඩු ගන්නවා. යලිත් වැස්ස අඩුවෙමින් පවතින විට ගොවිපල බීජ වපුරා සිටවා සකස් කර ඉර අව්වවෙන්  පීදී කරල් බරවී යලිත් වැස්ස එන්න පෙර කපා වියළා ගෙට ගන්න කාල සටහනක් ඇති කර ගෙන තියෙනවා.

වැඩිහිටියෝ  පල කරන අනාවැකි කාල ගුණ දෙපාර්තමේන්තුවේ නවීන යාන්ත්‍රණයෙන් පල කරන අනාවැකි වලට  වඩා විශ්වාසයි.

ජුනි මාසෙන් ආරම්භ වන නියගය ජුලි අගෝස්තු වෙන කොට ක්‍රමයෙන් වැඩි වෙනවා. “ ඇහල මහ නිකින්නේ වැස්ස බොරු ”  අපේ වැඩිහිටියො කියන්නේ එහෙමයි. මේ කාලගුනේටත් කේන්තියට වගේ දේශපාලනෙත් ඈදා ගන්න උදවිය ඉන්නවා. කඩුල්ලගේ මිත්‍රයෙක් ඉන්නවා ව්‍යාපාරිකයෙක්. තද පෑවිල්ල තියෙන පහුගිය දවස් වල “මේ අවුරුද්දේ වැස්සත් නෑ  වතුර පොදක් නෑ වේලෙ‍නවා.“ දෝෂාභියෝගයකට සැරසෙනවා. ගොනා යන අත දැනගෙන පරණ බණ පදයක් මතු කරලා කඩුල්ල පෝර පොඩ්ඩක් දැම්මා “රජවරු යහපත්වුනාම රටටම යහපතක් වෙනවා. රජවරු අයහපත්වුනාම  රටටම විනේ තමයි” කියලා. මිත්‍රයා අණුපාන එක්කලා “ඒකනම් ඇත්ත තමයි “ කියලා.

වැස්ස ආවත්  රජවරු හොදවෙන්නේ නෑ. වැස්ස වැඩිවෙලා ගගවල් උතුරලා   දෙගොඩ තලා ගිහින්    කදු නාය ගිහින් ගෙවල් දොරවල් ගිලා බහින කොට ආයෙත් රජවරුන්ගේ පාපේ සිහිපත් වෙනවා. ඉර හැරෙන විදියට හෙවනැල්ල වෙනස් කර ගන්න දන්නේ නැති මගේ මිත්‍රයා දවල් දොළහට තියෙන විදියට ම හෙවනැල්ල තියා ගන්න හදනවා. ඒක නිසා මේ පාලනේ තියෙන කම් මේ ප්‍රශ්නේ තියෙනවා. මිත්‍රයා බලාපොරොත්තුවන පාලන ක්‍රමය අපේ රටේ කවදාවමවත් ස්ථාපිතවෙන්නේ  නැති නිසා මගේ මිත්‍රයාට  ජීවිත කාලෙම රජවරුන්ට දෝෂාභයෝග දමමින් ඉන්න වෙනවා.

“පුතා  පෙබරවාරි 15 විතර පායන්න පටන් ගනී. දුරුත්තේ හීතලත් එක්ක සතිදෙකක් තුනක් පායයි. ඊට පස්සේ බක් වැස්ස පටන් ගන්නවා.” වැස්ස ගැන අණාවැකි පල කරන වැඩිහිටියා කඩුල්ලට කියනවා. “අප්රේල් මාසේ  පහ හය වෙන කොට ආයෙත් වහිනවා මදි නොකියන්න “ – ඒකට නේ කියන්නේ”බක්මහටයි අකුණු ගහන්නේ – බක් මහටයි මහ වැස්ස වහින්නේ කියලා “ කඩුල්ල කෑල්ලක් එකතු කලා.

වැඩිහිටියා අහසට බැණ බැන ඉන්නේ නැතිව ජීවිතේ ජය ගන්න හැටි කියා දෙන්න පොරොන්දුවෙලා කඩුල්ල ගෙන් සමු ගත්තා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )