කුමන්ත්‍රණ මනසින් දකින්නෝ


w3 Lanka පලකල ලිපියක් එලෙසම පල කරමි.

අපි ජීවත්වන්නේ  මෙවැනි ප්‍රකාශ කරන  දේශපාලකයින් සිටිනා රටකය. මෙම ලිපිය පල කරන  ලේඛකයාම ඊට උදාහරනයක්ද සපයයි. මනෝ වෛද්‍යවරුන් මෙවැනි තත්වයන් ඇති රෝගීන්ට සාර්ථක ප්‍රතිකාර කරයි.

අද The Island පුවත්පතට ජවිපෙ හිටපු පාර්ලිමේන්කු මන්ත්‍රී ලාල් කාන්ත පවසා ඇති පරිදි පක්ෂ කැරළිකරුවන් ලෙස ඔවුන් හඳුන්වන, එහෙත් පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබෙන බව අපගේ නිරීක්ෂන අනුව පෙනෙන කණ්ඩායම පිටුපස විදේශ බලවේග රැසක් තිබේ.

ලාල් කාන්ත කියන පරිදි ඒවා රෝ හා සී.අයි.ඒ. ය. ආණ්ඩුව ද මේ පිටුපස සිටින්නට පුළුවන් බව ඔහු කියයි.
දැන් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව ලාල් කාන්ත පවසයි.
ලේඛකයා ජවිපෙ පූර්ණකාලීනව වැඩ කළ ඈත සමයක දිනක් ඔහු සිය බයිසිකලයෙන් පක්ෂ සාමාජිකයකු හමු වන්නට ගියේ ය. ඔහු කාමරයේ නිදියන බව ඔහුගේ මව ලේඛකයාට පැවසී ය. ඔහු කාමරයට ගියේ ය. කාමරයට ඇතුළු වන විට ම පක්ෂ සහෝදරයා ‘ෂ්!’ කියා ඔහු නිහඬ කළේ ය. සාමාජිකයා සිටියේ බියපත්ව ය.
එවකට ජවිපෙ තහනම් පක්ෂයක් වූ බැවින් කිසියම් අනතුරක් ඇද්දැයි ලේඛකයාට ද බියක් ඇති විය.
පක්ෂ සාමාජිකයා අසල නිවෙසක සවි කර තිබූ රූපවාහිනී ඇන්ටෙනාවක් පෙන්වමින් කීවේ එය සවි කර ඇත්තේ ඔහු පිළිබඳ ඔත්තු බැලීමට බවයි. මේ පිළිබඳ කුහුලක් ඇති වූ ලේඛකයා ඔත්තු බලන්නේ කවුරුන්දැයි විමසී ය.
පක්ෂ සාමාජිකයාගේ පිළිතුර වූයේ පක්ෂය ඔහු ගැන ඔත්තු බලන බවයි. ඒ දිනවල එම ප්‍රදේශයේ පක්ෂ සංවිධායකයා වූයේ ලේඛකයායි. ඒ කා‍ලයේ සන්නද්ධ අංශයක් ද නො තිබූ අතර පක්ෂය තිබුණේ අන්තිම දුර්වල අඩියක ය. එය සාමාජිකයන් ගැන ඔත්තු බැලීම කෙසේ වෙතත් කෑම වේලක් සොයා ගැනීම ද දුෂ්කර වූ සමයක් විය. මේ හුටපටය නිසා ලේඛකයාට ද එදා වෙනදා මේ සහෝදරයාගේ නිවසින් ලැබෙන බත් පත අහිමි විය.
මානසිකව ගිලන් වී සිටි පක්ෂ සාමාජිකයා කීවේ ඔහු සී.අයි.ඒ.කාරයකු යයි පක්ෂය සිතන බවත් ඇත්තෙන් ම ඔහු සී.අයි.ඒ.කාරයකු නොව ජර්මන්කාරයකු බවයි.
මේ හතර බීරි කතාවේ තේරුම එදා ලේඛකයාට තේරුම් ගන්නට හැකි වූයේ පක්ෂ සහෝදරයාගේ මව ‘මූ පක්ෂෙ අධ්‍යාපන කඳවුරක්ද මොකක්ද එකකට ගිහින් එහෙදී පෙති බීල නැහැ, මහත්තයා’ යි කී පසු ය.
මේ පක්ෂ සහෝදරයා ලාල් කාන්ත නො වේ. එහෙත්, ජවිපෙ, හෙළ උරුමය වැනි පක්ෂවල ඉන්න සෑහෙන  පිරිසකට ඉහත පක්ෂ සහෝදරයාට ඇති අසනීපය අඩු වැඩි වශයෙන් තිබේ.
මෑතදී මළ ගෙදරකදී ලේඛකයාට හමු වූ ඔහුගේ පැරණි මිතුරකු ද හැම දෙයක් පිටුපස ම ඇමරිකන් තුමන්ත්‍රණයක් දකින්නෙකි. තද සිංහල ජාතිකවාදියෙකි. ඔහුගේ තර්ක ද විධිමත් ය.
ඇමරිකාව කුමන්ත්‍රණ නො කරන බවට සහතිකයක් දෙන්නට කාටවත් බැරි ය. ලේඛකයාට නම් එහෙම උවමනාවක් ද නැත. එහෙයින් ඇමරිකන් කුමන්ත්‍රණ ගැන කරන තර්කවලට ප්‍රති තර්ක කරන්නට ලේඛකයා කිසි විටෙක නො පෙළඹේ.
එහෙත්, හැම රෙද්දක් පල්ලේ ම ඇමරිකන් කුමන්ත්‍රණ දැකීම ලේඛකයාට නම් අමුතු මනෝභාවයකි.
ලේඛකයා කලක් එක් විකල්ප පුවත්පතක කතුකමක් කරන බව සිතා සිටියේ ය. ඇත්තෙන් ම නම් වූයේ ලේඛකයාට නමට එම තනතුර දී එම පුවත්පත පළ කළ වාමාංශික කණ්ඩායමේ ‘ලොක්කා’ ඔහුව අල්ලේ නටවන්නට උත්සාහ කිරීමයි. ඒවා ඉතින් පස්සේ කතා කළ යුතු වෙන කතා ය.
සුනාමිය ආ සමයේ මේ කණ්ඩායමේ ලොක්කා කරුණු සහිතව මැනැවින් ඉදිරිපත් කළ තර්කයක් වූයේ ඇමරිකාව මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ලංකාවට සිදු වන විපත කල් තබා දැනගෙන ඒ පිළිබඳව ලංකාවට නො දැන්වූ බවයි. ඒ කාලයේ ම ඇමරිකන් හමුදාව ලංකාවට පැමිණි අතර ඔවුන් සුනාමිය දඩ මීමා කරගෙන සිය මිලිටරි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන බව පුවත්පතේ තර්කය විය. ඒ දවස්වල අප සිතා සිටියේ ඇමරිකන් හමුදාව ආපසු නො යනු ඇතැයි කියා ය.
ඇත්තෙන් ම ඇමරිකාව යනු තිබෙන දෙයට වඩා ප්‍රබන්ධයකැයි ලේඛකයාට දැන් සිතේ. මේ ප්‍රබන්ධ ඇමරිකාව නොමැතිව ලෝකයේ ම වාමාංශිකයන්ට හා ජාතිවාදීන්ට පැවැත්මක් නැතැයි ලේඛකයාට සිතේ.
ඇමරිකාව මෙන් ම ඇමරිකාව ප්‍රබන්ධ කිරීම ද කුමන්ත්‍රණයකි. නිතර යෙදෙන කුමන්ත්‍රණය යන දේශපාලන සංකල්පය ද ප්‍රබන්ධයකි.
අපි ප්‍රබන්ධ ලෝකයක ජීවත් වන මිනිස්සු වෙමු. අපට එම ප්‍රබන්ධය නඩත්තු කර ගැනීමට කුමන්ත්‍රණ අවශ්‍ය ය. ලෝකය තේරුම් ගත හැකි තරම් සරළ වුණොත් මාර ප්‍රශ්නයකි. මන්ද, අපේ ප්‍රබන්ධ ලෝකය එයින් කඩා වැටේ.
ලේඛකයා ශාස්තෲ නමින් නවකතා පොතක් ලියා උත්සාහ කළේ මේ මනෝභාවය පිළිබඳ සංවාදයක් ඇති කරන්නට ය. එහෙත්, එය අන්තිම අසාර්ථක ප්‍රයත්නයක් විය. වාමාංශිකයන්ට එය තේරුම් ගන්නට බැරි විය.
එහෙත්, මේ විකෘතිවලට පිටින් මිනිස් සාරයක් ඇතැයි ද එය අප විසින් සොයා යා යුතුව ඇති වම යයි ද ලේඛකයා සිතයි.
දැන් ඇතැම් විට පිස්සු ඔහුට ම ද කියා සැකයක් ද ලේඛකයාට විටෙක ඇති වේ.
ඒකත් ඇමරිකන් කුමන්ත්‍රණයක් ද දන්නේ නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )