හෙජින් – දිවයින


කොටි ත්‍රස්‌තවාදය පරාජය කර
ආර්ථික ත්‍රස්‌තවාදය රැකීම!

ඒ. එච්. එම්. ෆවුසි, ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාව සිටියදී සහ අසන්ත ද මෙල්, තෙල් සංස්‌ථා සභාපතිවරයාව සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව විසින් අත්සන් කළ දූෂිත හෙජින් ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නය යළිත් මතුව ඇත. තෙල් සංස්‌ථාව සමඟ හෙජින් ගිවිසුම් අත්සන් කළ ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට තෙල් සංස්‌ථාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 162 ක්‌ ගෙවිය යුතු බවට මෑතකදී ලන්ඩන් වාණිජ අධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ මේ හෙජින් ගිවිසුම්, යළිත් මුළු රටම ආන්දෝලනයට පත් කර ඇත. රටම විපතට පත් කළ මේ හෙජින් උගුලේ රට සිර කළ ජාති භ්‍රෂ්ටයන්ට නිදැල්ලේ සිටින්නට ඉඩ හැර, රජය ඊට මුහුණ දෙමින් සිටී. එසේම මේ ගැන අද මාධ්‍යයට පිළිතුරු දීමට සහ ඉදිරි කටයුතු කිරීමට සිදුව ඇත්තේ ද මේ සඳහා කිසිසේත්ම වගකිවයුතු නැති වත්මන් විෂයභාර ඇමැති සුසිල් ප්‍රේම්ජයන්තටය. මේ පසුබිම තුළ අද රටම කතා කරන, රටම විපතට පත් කළ හෙජින් ගිවිසුම් ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

මේ දිනවල විනිමය අනුපාතය අනුව ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු. 110 ක්‌ පමණ වේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 162 ක්‌ යනු ශ්‍රී ලංකා මුදලින් රු. දශලක්‍ෂ 17820 කි. එනම් රු. කෝටි 1782 කි. මෙය අති විශාල මුදලකි. ඒ නිසා ලන්ඩන් වාණිජ අධිකරණය, අපේ තෙල් සංස්‌ථාව විසින් ස්‌ටෑන්ඩර්ට්‌ චාර්ටඩ් බැංකුවට ගෙවන්නට නියම කර ඇත්තේ මේසා විශාල මුදලකි. මෙය නඩුව අවසානයේ අදාළ බැංකුවට ගෙවීමට නියම කළ මුදල පමණි. මේ නඩුව කියන්නට, ඒ සඳහා ගිය රට සවාරිවලට ගිය වියදම් කොපමණද? එම මුදලුත් එකතු වු කල මේ මුදල තවත් ඉහළ අගයක්‌ ගනී. මේ තීන්දුවට එරෙහිව දැනටමත් අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇතැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මේ ලියුම්කරුට කීවේය. එහෙත් ඒ සඳහා තවත් අති විශාල මුදලක්‌ වියදම් කරන්නට තෙල් සංස්‌ථාවට සිදුවීම ද වැළැක්‌විය නොහැකිය.

දැන් මේ හෙජින් උගුලේ රට පැටලී ඇති නිසා ඊට මුහුණ දීමට සිදුව ඇති බව ඇත්තය. ඒ නිසා තෙල් සංස්‌ථාවට එරෙහිව අදාළ හෙජින් ගිවිසුම් අත්සන් කළ බැංකු විසින් පවරා ඇති බේරුම්කරණ නඩුවලට මුහුණ දිය යුතු බව ද ඇත්තය. ඒ සියල්ල රජය කළත්, කළ යුතු අවශ්‍යම දේ රජය නොකරයි. හෙජින් ප්‍රශ්නය මුලින්ම මතු වූ අවස්‌ථාවේ සිට මේ දක්‌වාම රජය ඒ දෙය නොකළේය. ඒ කුමක්‌ද? එනම් මේ හෙජින් උගුලේ රටම පටලවා, රටම විපතට පත් කළ මේ හෙජින් ගිවිසුම්වලට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමේ අත්‍යවශ්‍යම කටයුත්තයි. එහෙත් රජයත්, රජයේ ආර්ථික බලධාරීනුත් දිගින් දිගටම අනුගමනය කළේ මේ අය ආරක්‍ෂා කිරීමේ ප්‍රතිපත්තියකි. ඒ ඇයි? රජය ඊට පිළිතුරු දිය යුතුය. ජනතාව ඒ දෙස බලා සිටිති.

අප මුලින් කතා කළ ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට අමතරව සිටි බැංකුව සහ ඩොයිෂ් බැංකුව ද තවත් බේරුම් කරණ නඩු දෙකක්‌ පවරනු ලැබ ඇත. සිටි බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක්‌ ඉල්ලා සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ සහ ඩොයිෂ් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක්‌ ඉල්ලා වොෂින්ටන් බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ පවරා ඇති නඩු දැනටමත් විභාග වෙමින් තිබේ. ස්‌ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පැවරූ නඩුව සඳහා ලැබුණු තීන්දුව, මේ විභාග වෙමින් පවතින අනිත් බේරුම්කරණ නඩුවලට ද අවාසිදායක ලෙස බලපානු ඇතැයි පැවසේ. එසේම එම නඩු තීන්දු ඉක්‌මන් වීමට ද මේ තීන්දුව හේතු වනු ඇති බව ද වාර්තා වේ. තෙල් සංස්‌ථාවේ හෙජින් ගිවිසුම් සම්බන්ධයෙන් විභාග වන සෙසු බේරුම්කරණ නඩු ද අපේ අවාසියට තීන්දු වී (එසේ නොවේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.) එම විදේශීය බැංකු ඉල්ලා සිටින මුදල් ගෙවීමට අපට සිදුවූයේ යෑයි සිතමු. එසේ නම් තෙල් සංස්‌ථාවට එම බැංකු සඳහා ගෙවීමට සිදු විය හැකිව තිබෙන මුළු මුදල කොපමණද? එනම් ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙත දැනටමත් ගෙවීමට නියම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 162 ක මුදලට සිටි බැංකුව ඉල්ලා සිටින ඇමෙරිකානු ඩොලර් මිලියන 200 සහ ඩොයිෂ් බැංකුව ඉල්ලා සිටින ඇමෙරිකානු ඩොලර් මිලියන 60 එකතු කළ විට මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 422 කි. මේ මුදල රු. දශලක්‍ෂ 46420 කි. එනම් රු. කෝටි 4642 කි. දළ වශයෙන් අපට ගෙවීමට සිදුවිය හැකි මුදල මෙසේ ගණන් බැලිය හැකිය. මේ ගණන් බැලීම සිදු කළේ නඩු කියන්නට යන වියදම හෝ ඒ සඳහා යන නිලධාරීන්ගේ රට සවාරිවලට වැය වන අති විශාල මුදල නැතුව බව ද මතක තබා ගන්න.

රු. කෝටි 4642 ක්‌ යනු අති විශාල මුදලකි. නඩු කීමට සහ ඒ සඳහා වන විදේශ ගමන් වලට යන වියදම් සමඟ මේ මුදල තවත් ඉහළ අගයක්‌ ගනී. මේවා කජු ඇටවත්, කොස්‌ ඇටවත් නොවේ. 2010 වසරේ සමෘද්ධි සහනාධාර දීමට රජයට වැය වූ මුදල රු. කෝටි 924.1 කි. එසේම 2010 වසරේ පොහොර සහනාධාර දීමට රජයට වැය වූයේ රු. කෝටි 2602.8 කි. මේ නිසා 2010 වසර පුරාම සමෘද්ධි හා පොහොර සහනාධාර දීමට රජයට වැය වූ මුළු මුදල රු. කෝටි 3526.9 කි. මේ අනුව හෙජින් ගිවිසුම්වලින් අපට ගෙවීමට සිදුවිය හැකිව තිබෙන මුදලේ විශාලත්වය මින් අපට පැහැදිලි වේ.

මේ මුදල ගෙවන්නට සිදුවේද නැතිද යන්න තවමත් ස්‌ථිරව කිව නොහැකි බව ඇත්තය. එහෙත් මේ මුදල ගෙවන්නට සිදුවුවහොත් එය ගෙවන්නේ කවුද? තෙල් සංස්‌ථාව මෙය ගෙවනවාද? එසේ නැත්නම් තෙල් සංස්‌ථාව වෙනුවෙන් මෙය රජය විසින් ගෙවනවාද? එසේ කළහොත් වන්නේ තෙල් සංස්‌ථාවේ දූෂිත හෙජින් ගිවිසුම් අත්සන් කිරීමට වගකිව යුත්තන් කළ පාප කර්මවල බර, මේ රටේ සමස්‌ත බදු ගෙවන මහජනතාව වෙත පැටවීමයි. එය කිසිසේත් ම සිදුවිය යුත්තක්‌ නොවේ. මෑතදී ජවිපෙ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා තිබූ පරිදිම මේ දූෂිත හෙජින් ගිවිසුම්වලට, මේ රටේ මහජනතාව වගකිව යුතු නැත. ඒ නිසා මේ හෙජින් ගිවිසුම් සම්බන්ධයෙන් තෙල් සංස්‌ථාවට ගෙවීමට සිදුවන සහ ඒ සඳහා නඩු කටයුතු සඳහා වැය වන සෑම රුපියලක්‌ම අයකර ගත යුත්තේ එම ගිවිසුම්වලට වගකිවයුත්තන්ගෙනි. එහෙත් මේ සඳහා වගකිවයුත්තන්ට එරෙහිව රජය මේ දක්‌වා කිසිවක්‌ කර නැත. මහා පරිමාණ වැට්‌ බදු වංචාවට එරෙහිව නිසි පියවර නොගත්තේ මන්දැයි අප අසන විට රජයේ මැති ඇමැත්තන් කියන්නේ එය එජාප රාජ්‍ය පාලන සමයේ සිදු වූ බවය. එහෙත් මේ හෙජින් ගිsවිසුම් අත්සන් කළේ වත්මන් මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලන සමය තුළ බව අප අමතක කළ යුතු නැත. මේ රටේ මහජනතාව කෙරෙහි සැබෑ කැක්‌කුමක්‌ තිබේ නම්, රජය මේවාට වගකිව යුත්තන්ට එරෙහිව අප්‍රමාදව පියවර ගත යුතුමය. එහෙත් එවැන්නක්‌ අපට පෙනෙන්නට නැත.

රු. කෝටි පන්දහසක පමණ අති විශාල මුදලක්‌ ගෙවීමට සිදුවීමේ අවදානමක්‌ මතුකරමින් රටට අති විශාල අවාසිදායක තත්ත්වයක්‌ ඇති කර තිබෙන, මේ හෙජින් ගිවිසුම්වලට වගකිව යුත්තන්ට එරෙහිව රජය කිසිදු පියවරක්‌ නොගන්නේ ඇයි.? මම මේ ප්‍රශ්නය වත්මත් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්තට යොමු කළෙමි. ඔහු ඒ සඳහා දුන් පිළිතුර මෙසේය.

“මේ ගිවිසුම් අත්සන් කළේ මගේ කාලයේ නොව ෆවුසි ඇමැතිතුමාගේ කාලයේ. මේ ගැන වත්මන් විෂයභාර ඇමැතිවරයා ලෙස නීතිපතිවරයාගේ උපදෙස්‌ මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.”

මේ ගිsවිසුම් අත්සන් කළේ ඒ. එච්. එම්. ෆවුසි මහතා ඛනිජ තෙල් විෂයභාර ඇමැතිවරයා ලෙස සිටි කාලයේදී වුවත් වත්මන් විෂයභාර ඇමැතිවරයා ලෙස දැන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාටය. තෙල් සංස්‌ථාවට එරෙහිව විදේශීය බැංකු විසින් පවරා ඇති බේරුම්කරණ නඩුවලට පෙනී සිටිනවාට සහ ඒවාට ලද තීන්දුවලට ඇපෑල් කරනවාට අමතරව දැන්වත්, ප්‍රමාද වී හෝ අපේ රටේම සිටින මේවාට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි? ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාණෙනි, ඔබ මේ ගැන නීතිපති උපදෙස්‌ ලබාගෙන ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස අද මුළු රටම බලා සිටින බව ද කිව යුතුය.

කවරක්‌ නමුත් හෙජින් සිද්ධිය මතු වූ අවස්‌ථාවේ සිට මේ දක්‌වා ම ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නිසි පියවර ගැනීමේ සැබෑ අවශ්‍යතාවක්‌ තිබෙන බවක්‌ අපට ජනාධිපතිවරයාගේ සිට ආණ්‌ඩුවේ කිසිම මට්‌ටමකින් දක්‌නට ලැබුණේ නැත. එය කනගාටුවට කරුණකි. ඒ නිසා ඇමැති සුසිල් ප්‍රේමජයන්තටත් මේ ගැන අවංකව ක්‍රියා කිරීමේ අපහසුවක්‌ තිබෙන්නේ දැයි අපි නොදනිමු. එවැනි අපහසුවක්‌ ඔහුට තිබෙන්නේ නම් ඒ ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීමේ සාධාරණ බියකින් ද ඔහු පෙළෙනවා විය හැකිය. එය එසේ නම්, මේ ගැන තවත් ප්‍රශ්න අසා ඇමැති සුසිල් ප්‍රේමජයන්තට පීඩනයක්‌ ඇති කිරීමට අපට වුවමනාවක්‌ නැත. ඒ නිසා මේ ප්‍රශ්නය යොමු කළ යුත්තේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට සහ ජනාධිපතිවරයාටය.

මේ ළඟදී ජනාධිපතිවරයා මෙන්ම ඇමැති විමල් වීරවංශද “ආර්ථික ඝාතකයන්” ගැන කතා කළේය. ආර්ථිකයට ගහන මේ නිලධාරීන් මිතුරන් ලෙස පෙනී සිටිමින් මුළු ආණ්‌ඩුවම අප්‍රසාදයට ලක්‌වන ආකාරයේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම් කරන බව ද ඇමැති විමල් වීරවංශ මොරටුවේදී පැවැති රැස්‌වීමකදී උස්‌ හඬින් කියා සිටියේය. ඇමැති විමල්ගේ මේ වීර කතාවට රජයේ පුවත්පත්වලින් ද ලොකු ප්‍රසිද්ධියක්‌ ලබා දී තිබිණි. “ආර්ථිකයට ගහන මේ නිලධාරින් කවුද? ඒ අය ගේ නම් හෙළි කිරීමට ඇමැති විමල් වීරවංශ බයද?” යනුවෙන් ඇමැති විමල්ගේ ප්‍රකාශය ගැන පෙරේදා (19) මේ ලියුම්කරු ‘දිවයින’ට ලියූ ලිපියක්‌ මගින් ප්‍රශ්න කර තිබිණි. එහෙත් ඇමැති විමල් තවමත් නිහඬය. ඇමැති විමල් කියූ කතාව ඇත්ත නම් අපට ඔහුගේ නිහඬතාවයෙන් හැඟී යන්නේ ඔහු කියන ආර්ථික ඝාතකයන්ගේ නම් හෙළි කිරීමට ඔහු කිසියම් බියකින් පෙළෙන බවයි. එය එසේ නොවේ නම් ඒ නිහඬතාව බිඳීමට ඇමැති විමල්ට බැරිකමක්‌ නැත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාණෙනි, තිස්‌ වසරක කොටි ත්‍රස්‌තවාදයෙන් මේ රටත්, ජනතාවත් මුදා ගත් එකම රාජ්‍ය නායකයා ලෙස පක්‍ෂ භේදයෙන් තොරව මේ රටේ සියලු ජනයා තුළ ඔබ කෙරෙහි ගෞරවයක්‌ තිබේ. ඒ ගෞරවය ඉදිරියටත් රැක ගත යුතුය. යුද ජයග්‍රහණයේ උපරිම ප්‍රතිලාභ මහජනතාවට ලැබෙන්නේ, අප විසින් ආර්ථික යුද්ධය ද ජයග්‍රහණය කළහොත්ය. ඒ සඳහා මේ රටේ මහජනතාව වෙනුවෙන් ආර්ථික යුද්ධය ජය ගැනීමට තිබෙන සියලු බාධා ඉවත් කර ගත යුතුමය. කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමට මෙන්ම, ආර්ථික යුද්ධය ජය ගැනීමේ මෙහෙයුමට ද මේ රටේ බහුතර ජනයාගේ ආශිර්වාදය හිමි වන බවට සැකයක්‌ නැත. එහෙත් මෙහිදී මහජනතාව වෙනුවෙන් අපි ඔබගෙන් අවසාන වශයෙන් මෙසේ ප්‍රශ්න කර සිටිමු.

“කොටි ත්‍රස්‌තවාදය පරාජය කර, ඊටත් වඩා භයානක ආර්ථික ත්‍රස්‌තවාදය රකින්නේ ඇයි?”

ශ්‍යාම් නුවන් ගනේවත්ත

4 comments on “හෙජින් – දිවයින

  1. මිට පෙර නොවු ආකාරයට අපේ රටේ දුෂණ වැඩි වෙලා තියෙනවා. එත් මේ පිලිබදව ජනාධිපතිතුමාවත් වගකිවයුතු නිලධාරින් කිසිවකුත් කටවත් අරින්නේ නැ. මේ වගේ වැරදි කරන අයට දඩුවම් ලබාදෙනවනම් මෙවැනි වැරදි මින් මතු සිදුවෙන්නේ නැ.. හරියට අර චිනයේ නගරාධිපතින් දෙදෙනෙක් අල්ලස් ගත්තායි කියලා ඔප්පු උනාම මරණදදුවම දෙනවා වාගේ… නැත්නම් මේ රට කවදාවත් ගොඩගන්න ලැබෙන්නේ නැ.. ඉහල සිට පහල දක්වා හැම නිලදාරියාම දුෂිතයි..

  2. පින්ග්කිරීම: මේ සතුන් බැඳ දමන්න තරම් කොන්දක් ලංකාවේ ආණ්ඩුවේ එකෙකුටවත් නැත්ද ? « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diar

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )