පැත්තකින්

අවුරුද්දේ මාස තුනක් ඉවරයි.

අද 31 වෙනිදා.

කඩුල්ල ඊයේ කිසියම් වැඩකට සබරගමුව පලාත් සභාවට ගියා .
පටන් ගත්ත තැන ඉදන්ම කඩුල්ලට වැරදීම්. ප්‍රධාන පිවිසුමෙන් එහාට යන්න ජාතික හැදුනුම් පත ඕනි බව මතක් වුනේ එතනට ගියාම.
කඩුල්ලට නැති ලොකු කමක් පාවිච්චි කරලා ඇතුලේ ඉන්න ලොක්කෙකුගේ නමක් කිවුවාම ටිකක් කල්පනා කරලා කඩුල්ල ගොඩ දැම්මා. ඔන්න අපේ රටේ පෞද්ගලික අංශයෙන් සපයලා තියෙන ආරක්ෂක විධි විධාන. ටිකක් බරපතල ඇගකුයි කතාවකුයි තියෙනවා නම් ඕන දොරක් ඇර ගන්න ඒ තරම් අපහසුවක් නැහැ.

සබරගමුව පලාත් සභාව නම් අපූරුයි. ආණ්ඩුකාර තුමා, මහ ඇමතිතුමා , ඇමති තුමන්ලා ඒ ඒ අමාත්‍යාශවල ලේකම් තුමන්ලා ,කාර්ය මණ්ඩල එකම වහලක් යට‍ දී මුණ ගැහෙන්න පුළුවන්. පිටත දැවෙන ගිණිගහන රස්නේ ඇතුලත නෑ. එතුමන්ලා කූල් පිට රාජකාරි කරනවා. සබරගමුව පලාත් සභා සංකීර්ණයේ ඉහල මාලයේ ඉදන් පඩි පෙල දිගේ පහලට බහින කඩුල්ලට – කඩුල්ල වගේ දේශපාලන කටයුතු වලදී හැංගුනේ නැති හයිය තියෙන සහෝදරයෙක් හම්බු වුනා.

ජීවිතේ සංවේදී වෙලා ගල් ගැහුනා . කඩුල්ලගේ ජීවි‍තේ දැවෙන්න පටන් ගත්තා.

ඒ නිසා අද දින පොතේ සටහන මේ මිත්‍රයා වීම අනිවාර් සිද්ධවීමක්. මතකය අවදි වෙලා අතීතය හෙලිදරව් වෙන්න පටන් ගත්තා . දින පොතේ සටහන් පාලනයකින් තොරව සටහන් වෙනවා.

කඩුල්ලට 1970 වගේ කා‍ලේ ඉදන් දේශපාලන උණක් තිබුනා. ඒ කාලේ කඩුල්ලට අවුරුදු 22 ක් විතර ඇති . නිදහස් අදහස් තිබුනත් පරපෝෂිත සත්වයෙක් නිසා නිදහස් අදහස් ක්‍රියාත්මක කරන්න බැරිව හංගා ගෙන හිටියේ. අපේ විජේවීර සහෝදරයට සහයෝගයට අදින පෝස්ටර් ඇදේ මෙට්ට යට තමයි ප්‍රසිද්ධියට පත් කරන්නේ. ඒක නිසාම රැදවුම් කදවුරකට නොගිහින් යාම්තම් ගෙදර නතර වෙන්න පුළුවන් උනා.

ගෙදර අලි ගාලක් . සද්ද නැතිව පළවෙනි ඡන්දය සිරිමා මැතිණිට දුන්නා. 1970 -1977 ව්‍යාපාරිකයන්ට සුබ කාලයක් නෙමෙයි. අපි උක්ගස් වැව්වා. සීනි වෙනුවට උක් හකුරු වික්කා. උක් හකුරු වලට ඒ කාලේ “රන් කැට” කියලා කිව්වේ. වගා කරපු අය ගෙවල් දොරවල් යාන වාහන ගත්තා.

මිරිස් පොළු , හාල් පොළු ආවා. මිරිස් වගා කරපු අය ලක්ෂපතියෝ උනා. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ආවා. වතුකරයේ හිටපු දෙමළ ජනතාව ඉන්දියාවට ගියා. ‍
ව්‍යාපාරිකයන්ට පහසුවෙන් සල්ලි හමුවෙන්නේ නැති කාලයක් ආවා. අපිත් ඒ දුක වින්දා.

සිරිමා- ෆීලික්ස් පාලනය දුකක් කියලා හිතුණා කඩුල්ලටත්. පෝෂණය කරපු ගෘහ මුලිකයා නිවරදියි කියලා අවුරුදු දෙක තුනක් යන කොට තේරුම් ගියා. “ඇට අට” ක් කර තියා ගෙන කරලියට ආපු ජේ. ආර්ට බොක්කෙන්ම “ සප් එක” දෙන්න පටන් ගත්තා. එතුමා ධාර්මිෂ්ඨ විදියට සිරිමාවෝ මැතිණියට යකඩ බෝලේ දාලා කකුලේ ලොක් කරලා ලාම්පු කළගෙඩි සෙල්ලමට යන කොට කඩුල්ලට මල පැන්නා. ඒ පාර ආයෙත් ජේ.ආර්ට විරුද්ධ පැත්තේ කඩුල්ල වාඩි වුනා.

මෙන්න මේ කාලේ – 1982 තරම තමයි අර පලාත් සභා ‍සංකීර්ණයේදී හමුවුනා කියන සහෝදරයා මුණ ගැහුනේ.

පාද යාත්‍රා , ඝෝෂා ,දම්වැල්, තැනින් තැන පුංචි රැස්වීම් තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ටිකින් ටික නැගිටින කාලේ වරින් වර අහම්බෙන් හමුවුන මිත්‍රයා කඩුල්ලගේ හිත ලග නතර වුනේ පිටු හතරක සගරාවක් නිසා.
මේ සගරාව කරලා තිබුනේ චන්ද අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට ඒ වගේ නිර්මාණයක් කරන්න තරම් නිර්මාණ වපසරියක් නැති නිසා කඩුල්ල නිර්මාණකරුවා සොයා යන මෙහෙයුමක් දියත් කලා. එහි ප්‍රතිපලය තමයි අපේ මිත්‍රත්වයේ සවිමත්වු අඩිතාලම වුනේ.

අපේ මිත්‍රයාගේ මේ සගරාව ජවිපෙ භීෂණ සමයේ අප අතට පත්වු කැලෑ පත්‍රයක ස්වරූපයෙන් සකස් කර තිබුනා. දිස්ත්‍රික්කයක් පුරා පිටපත් ලක්ෂ හය හතක් නොමිලේ බෙදා හරින්න හයියක් සමග මේ සගරාවට විශාල ඉල්ලුමක් ඡන්දදායකින් අතර තිබුන නිසා එතරම්ම ජනප්‍රිය නොවු ‍ අපේක්ෂකයෙකු විපක්ෂ මංත්‍රීවරයෙකු බවට පත්වුනා.
මිත්‍රයා පසුකාලීනව දේශපාලනේම පූර්ණ කාලීන රැකියාව බවට පත් කර ගත්තා.
කඩුල්ල තම දේශපාලන උණ චන්ද්‍රිකාගේ දෙවන පාලන සමය අරඹන්නටත් කලින්ම සනීප කර ගත්තා .

අද පලාත් සභාවේදී අබල දුබලව , නොන්ඩි ගසමින් , උරුමව තිබු චතුර කතිකත්වය වෙනුවට අනුකම්පා සහගතව ගොත ගසමින් කඩුල්ලේ දෙඅත් අල්ලා ගත් මිත්‍රයා – “ අයියේ මම වවුල් හපයක් වුනා” කියලා කිව්වේ ඇස් දෙකේ කදුළු පුරවා ගෙන.

කඩුල්ලත් මිත්‍රයත් වගේ සාමාන්‍ය මිනිස්සු අතරින් ඉදිරියට ආ දෙතුන් දෙනෙකුන් මංත්‍රීවරුන් ,නියෝජ්්‍ය අමාත්‍යවරුන් අමාත්‍යවරුන් ප්‍රබල ඇමතිවරුන් කරන්න දහඩිය හෙලාපු මේ වගේ වවුල් හප ලංකාවේ තව කොයිතරම් තවත් ඇද්ද ? කඩුල්ලත් මිත්‍රයා වෙනුවෙන් සටහන අවසන් කරන්නට පෙර නෙත් අගට උනා ආ කදුළක් පිසදා ගත්තා.

වවුල් හප.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )