සිරිපා කරුණා කරමු


වැදලා බහින මේ නඩේට.........සිළුමිණ අනුග්‍රහයෙනි

අද සිට ශ්‍රී පාද සමය ඇරඹේ. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල පන්සලේ මෙතෙක් වැඩ සිටි සමන් දෙවියන් අද සිරිපා අඩවියට වැඩම කිරීමෙන් සිරිපා සමය ඇරඹෙන චාරිත්‍ර අද එම පන්සලේ ඉටුවේ. ඉන් පසු හැටන් මාර්ගය ඔස්සේ රිය පෙරහැරකින් දෙවියන් වැඩම කරනු ලැබේ.
කඩුල්ල විවර වුයේද සිරිපා සමය සිහිපත් කරමිනි. එදා පල කළ වියමන නැවතත් පල කරනුයේ කඩුල්ලේ ඇරඹුමද සිහිපත් කරමිනි.

ශ්‍රී පාද වන්දනා සමය උදුවප් පෝයෙන් ඇරඹිනි. චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ සිට මැයි- දෙසැම්බර් දක්වා ශ්‍රී පාද වන්දනාවේ නොයන අවාරයේ තැන්පත්ව පවතින සුමන සමන් දේව ප්‍රතිමාව සහිත පුරා වස්තු ශ්‍රී පාදයට උත්සවශ්‍රීයෙන් වැඩමවාගෙන යාම උදුවප් පෝදා සිදුවිය.

එතැන් සිට වන්දනා සමය ඇරඹුනා යයි සලකනු ලැබේ.

කඩුල්ල ඇරෙන්නේද ශ්‍රී පාද වන්දනාවෙනි.

ශ්‍රී පාද වන්දනාව පිලිබදව ශාස්ත්‍රීය කතිකාවකට යනවාට වඩා දශක දෙකකට තුනකට එහා වන්දනා නඩයකට එකතුව ශ්‍රී පාදය වන්දනා කරන්නට යාම සිත් සනසන බැතිබර අත්දැකීමකි.

අපි අතීත නඩයක් සමග කරුනා කරමු. දැන් දැන් නම් ශ්‍රී පාද වන්දනාව විනෝද චාරිකාවකි.

සුර රද සමන් සමගින් සුරගන එවර

පැහැනද මදාරා පරසතු මල් පතර

කැර පුද වදින රැදිමුනි සිරිපා තඹර

සකිසද පෙනේ සමනල ගල නැගනහිර

සැළලිහිණියා ට සැළලිහිණි සන්දේශ කතුවරයා ශ්‍රී පාදයට මග දක්වන විට හංස සන්දේශ කතුවරයා හංසයාට මග පෙන්වන්නේ මෙලෙසනි.

සමනොල මුහුල සිරිපද ඔබන මගුලට

නිකසල මහ සගන ගෙන වඩින මුනිදුට

පැහරදුල සුනිල් මැණිකෙන් කළ මග ලෙසට

මනදොල පිරෙයි ගග සිරි සර දුටු තොපට

………………මහින්ද හිමියෝ

මුනි සිරිපා සිඹිමින් නේ

සමනල ගල පෙදෙසින් නේ

මද සුළගයි මේ එන් නේ

මගේ පුතා නැළවෙන් නේ

යන්න ගයන විට “කොහොමද යනු සිතමින්නේ – මගේ පුතා නිදියන්නේ ” යන්නත් අපට සිහිවන්නේ නිතැතිනි.

දශක දෙකකට තුනකට එහා සිරිපා වන්දනාව මෙත් සිතින් ගරු සරුව අනෙක් වන්දනා කරුවන්ගේද සිත සුව සදමින් කල යුතු වන්දනාවක් විය. ගමනේ මහන්සියත් දුෂ්කරබවත් නිවි පහන් වුයේ සිත් සනසන මෙවැනි ගායනාවන් ගෙනි.

“බුද්ධං සරණේ සිරස දරා ගෙන

ධම්මං සරණේ සිත පහදා ගෙන

සංඝං සරණේ සිවුරු දරා ගෙන

ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන”

සිරිපා වැද පුදා ආපසු බහින නඩයක් අතරමගදී හමුවන නන්නාදුන වන්දනාව සදහා මලුව වෙත කරුණා කරන නඩයකට වුවද ආශිර්වාද කරණුයේ,

“වදින්න යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි”

යනුවෙන් ඉතා බැතියෙන් යුතුවය.

එවිට නිතැතින්ම “වැදලා බහින මේ නඩේට – බුද්ධං සරණේ සරණයි.” පිළිතුරු ආශිර්වාදයක් ලැබේ.මෙ අයුරන් වන සංවාදයන් කොයිතරම් අපූරුද.

“වදින්න යන කිරි කෝඩුට – සුමන සමන් දෙවි පිහිටයි

වැදලා බහින කිරි කෝඩුට – සමන් දෙවිදු කරුණාවයි” සිරිපා කරුණාකරන පුංචි එකෙකුට කරන ආශිර්වාදයකි.

වෙහෙස මහන්සිය නිමාගන්න තැනක් හමුවු විට

“මෙන්න මෙතන තැනිතලාව – කෝපි බොන්න හොද වෙලාව”

යනුවෙන් පැවසීමෙන් නඩේ අවධානය විරෝධයකින් තොරව ලබා ගැණීම හොද මගකි.

වේගයෙන් ගමන් යන තරුන පිරිස් ගාටන අන් අයගෙන් මග ඉඩ ඉල්ලන්නේ

“දෙන්න අපට සන්හිදේ – දුන්න අයට පින් පිරේ” යනුවෙනි.

අළුත විවාහවු යුවලකට හෝ තරුන යුවලකට කරන සුහද විහිළුවකට පිළිතුරු ලැබෙන්නේ

“අපේ බුදුන් – අපි වැදගෙන – ගමට යන්න යනෝ

එන මත්තේදි කෝඩු සමග බුදු පුදයට එනෝ.” ………. යනුවෙනි.

පහසු ගමන් මගේදී මද රිද්මයකින් “දිදි සාදු නාදේයමු අපි සිරිපාදේ ” යනුවෙන්ගායනය කලත් හෙල ගමන් මග අපහසුවු විට මහන්සිය දුරුලන්නෙ වේග රිද්මයකට ගමන දිරිමත් කරන රිද්මයකටය.

“අපේ බුදුන් – අපි වදින්න

පෙරලි පෙරලි – අපි වදින්න

සමන් දෙවිදු පිහිට වෙන්න

නළල තබා – අපි වදින්න

දොහෙතේ නගා – අපි වදින්න

දෙ‍දන නමා – අපි වදින්න

මලුත් පුදා – අපි වදින්න

තෙලුත් පුදා – අපි වදින්න

සුවද පුදා – අපි වදින්න

පහන් පුදා – අපි වදින්න…………….” .

“අග්ගල කං ඩෝං පුතා – හෙලේ නගිං ඩෝං පුතා ” පුංචි එවුන්ට ගැම්මක් දෙන්නේ ඒ අයුරුන්ය.

ශ්‍රී පාද වන්දනාවේදි භාවිතාවන විශේෂිත පද කිහිපයක්ද වේ. වන්දනාවේ ගෙන යන අඩුම කුඩුම පොදිය කර තබාගෙන යන තරම් බරවුවත් හදුන්වන්නේ “සැහල්ලුව”යනුවෙනි. පලමුවරට වන්දනාවට එක්වන පිරිස “කෝඩු” වන අතර කිහිප වරක් වන්දනාවේ යෙදුන වැඩිහිටියෝ “දඩු කෝඩු ”වෙති.පුංචි එවුන් “කිරි කෝඩු” වෙති.

අමරදේවයන් ගේ හඩ

“මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ

නිවි පහන් වී – සිත සැනසේ. ………………………”

නිසංසල මොහොතක ඇසෙනවිට අපිටත් සිරිපා කරුනා කිරිමට සිත් වෙනු ඇත.

One comment on “සිරිපා කරුණා කරමු

  1. වටිනා ලිපියක්. මමත් මගේ මිතුරන් කණ්ඩායමක් සමඟ සිරීපාදෙ වන්දනා කරන එක වාර්ෂිකව කරන්න, 2007 සිට. නමුත් ගිය වසරේ නම් යන්න බැරි උනා. මේ වසරේ නම් අනිවාර්යයෙන්ම යන්න උත්සාහ කරන්න ඕනෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )