ව්‍යවස්ථා සංශෝධනයක්.


අපේ අසල් වාසියෙක් රොමානිස් . වැඩිහිටියෙක් නිසා කවුරුත් කිව්වේ රොමානිස් අයිය කියලා. සති කීපයක් ආ ගිය අතක් නැතිව හිටිය රොමානිස් අයියගේ මළසිරුර පුංචි වන රොදක් තුල තිබිලා හමු වෙන විට මිය ගොස් දින දෙක තුනක් ගත වෙලා තිබුණා.

මේ වන විට ඔහුගේ වයස අවුරුදු අසූවක් විතර වෙන්න ඇති. අපි දන්න කාලයේ සිට මනුස්සයාගේ ජීවන වෘත්තිය ආණ්ඩුවේ කැලෙන් දර කපා ගෙන ඇවිත් විකුණන එක.
ගමේ තිබුණා යකඩ කම්හලක් . පිහිය මන්න කැති වගේ උපකරණ හදන. මේ කම්හලේ ලිපට ඕන කරන දර සදහා යොදා ගත්තේ ප්‍රදේශයේ තිබුන “මරන් “ කියන ගස් වර්ගය. දර සපයන්න ජීවිත කාලය කැප කර රොමානිස් අයියා මියයන වකවානුව වන විට කම්හලත් වැසී මේ ගස් වර්ගයත් ප්‍ර දේශයෙන් වද වෙලා ගිහින්.

මුල් කාලයේ කැලේ දර කපා ගෙන විත් විකුණන්න පුළුවන් වුනත් කාලයක් යන විට දර සොයා ගන්න අපහසු වුනා. ගමේ ජනගහනය පසු ගිය දශක පහේ දස ගුණයකින් විතර වැඩි වුනා. කාලයක් යන විට වැඩි වුන ජනගහනය ට නිවාස ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවේ කැලෑව වැසියන් අතර බෙදා දුන්නා. නැත්නම් ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන පැල් කොටයක් අටවා ගෙන පදිංචි වුනා. ගම විසින් ගිල ගත් කැලෑව ජනා වාස වුනේ ඔය විදියටයි.

කැලේ දවසින් දවස අඩු වුනා. අපේ කථානායකයා වන – රොමානිස් අයියට දර සොයා ගන්න බැරි අවස්ථාව ආවාත් ඔහු රස්සාව අත් හැරියේ නෑ. අන්තිමේ කැලේ නැත්තට ම නැති වුනා. වන සංරක්ෂණ‍ය උදෙසා වගා කර තිබූ වන වගාව ආක්‍රමණය කරලා දරට විකුණා දමමින් පොලිසි උසාවි ගානේ යාමිනුත් මරණය තෙක් ම තම රක්ෂාව නම් අත් හැරියේ ම නැහැ. රජයේ නිලධාරින්ගෙන් රැකියාවට පීඩන වැඩි වෙන කොට තාවකාලික රැකියාවකට ගමෙන් බැහැර වුනත් ටික දවසකින් ගමට ආ විට ආයෙත් පරන රස්සාවට බැස්සා.

ඔහු වාමාංශික දේශපාලනය දේවත්වයට ගෙන කටයුතු කල කෙනෙක්. අප දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තදබල සමසමාජ පාක්ෂි කයෙක්. ඔහු ගේ දේශපාලනය හැමදා මත් ප්‍රතිසංස්කරනවාදියි. අවුරුදු හත අටකට ඉස්සර සමෘද්ධි සහනාධාර පිළි බද ප්‍රශ්ණයක් ඇතිවී හාත් පසින්ම විරුද්ධ දේශපාලන මතයක පිහිටි එජාපයට ගිය ඔහු පසුව තද බල එජාප වාදියෙක් වුනා.

ඔහු ගම් වැසියන් දරන හැම මතයම දැක්කේ ඔහුගේම කෝණයෙන් . ඒ හැම මතයට ම ප්‍රති විරුද්ධ මතවාදයක් ඔහු ට තිබුණා. කැලේ විනාශ කිරීම හැර. ඒ ඔහු ගේ රස්සාව නිසා කරන වැඩේ වැරැද්දක් ලෙස දුටුවේ නෑ. නිතරම කතා කලේ ගමේ සිදු වන දේවල් ගැන විරුද්ධ මතයක සිට ඔහු සෑහීමකට පත්වෙන මතවාදයක් නම් ගමේ කවදාවත් ඇතිවුනේ නැහැ. පාරක් හැදුවත්, ළිඳක් හැදුවත් ,ජල නල මාර්ගයක් එළුවත්, ඒ වැඩේ කරන අන්දම ගැන වැරදි මිසක් නිවරදි පැත්තක් ඔහු දුටුවේම නෑ .

මොහු හොද කියවන්නෙක් . දිනපතා ම පුවත් පතක් කොයි තරම් ආර්ථික අමාරු කම් මැද්දේ උනත් මිළ දි ගැණීමේ පුරුද්දක් ඔහු ට තිබුණා. කලින් “ඇත්ත , රාවය , දිවයින ,හිරු වගේ විකල්ප පුවත් පත් , පසු කාලයක ලංකාදීපය වැනි පුවත් පත් කියවන බව කවුරුත් නිරීක්ෂණ‍ය කරලා තිබුණා. මේ පුවත්පත අකුරක් නෑරම කියවීම ඔහුගේ පුරුද්දක්. මේවායින් ඔහු දැනුවත් වුනා. කේන්ති කාරයෙක් වුන රොමානිස් අයියා සමග වාද විවාදවල පැටලෙන්න නම් කවුරුත් කැමති වුනේ නැහැ.

ජීවිතයේ අවසාන මාස දෙක ටිකක් අවසිහියෙන් වගේ ගත කල ඔහුට ගම්වැසියන්ගේ ආධාර උපකාරයෙන් යැපෙන්න සිද්ධ වුනා. අවසාන කාලයේ දී ඔහු අවසිහියෙන් දේශපාලන මතවාදී තර්ක සහ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව ඔහුගේ මතවාදයන් දොඩවන්න පටන් ගත්තා.

ව්‍යවස්ථාව ගැන අපූරු අර්ථ කථනයක් ඔහුට තිබුණා. එයාගේ මතයේ හැටියට මේ පවත්වන මැතිවරණ ප්‍රමානය ඕනාවටත් වඩා වැඩියි. මේවා ඔක්කොම එක දවසින් තියන්න පුළුවන් මැතිවරණයක් බවට පත් කරන්න ඕනි.

ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එකක් වෙන්න ඕනී. ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට පත් වෙන එක් කෙනා පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න ඕන. ඇමති මණ්ඩලය වැඩි වුනාට කමක් නෑ. තරග කරන පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමානය අතර මන්ත්‍රීවරු පත් කරගෙන ඒ අනුව එම අනුපාතයට ම ඇමතිවරු පත් කර ගන්න ඕනී. “ ඇන කොටා ගන්නේ නැතිව බෙදා ගෙන කන්න හොද ක්‍රමයක් “ කියලා තමයි ඔහු ගේ අදහස වුනේ.

අසල්වාසීන් රොමානිස් අයියගේ ව්‍යවස්ථා සංශෝධනට හිනාවුනත්, අපුරු මතවාදයක් මේ අහිංසක මනුස්සයා අවසිහියෙන් වුනත් කියවන්නේ කියලා මට හිතුණා.

මීදුම මේ අහිංසක ව්‍යවස්ථා සංශෝධකයාට නිවන් සුව ප්‍රර්ථනය කරනවා.

( සත්‍ය සිද්ධියකි.)

මෙම වියමන කලකට පෙර ම විසින්ම “මීදුම“ බ්ලොග් වියමනේ පල කරන ලද්දක් . නැවත කියවීම පිණිස උපුටා දක්වන්න අදහස් කලේ අපි දකින පිස්සු වැඩ නිසා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )