පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. බහුතර බලයක් එජනිසයට අත්විය. බාධාවකින් තොරව පැවත්වුන මෙම මැතිවරණයේ ප්‍රතිපල සැබෑ ජනමතයක් නියෝජනය වන බව සදහන් කළ යුතු ය. ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ‍ මහතාට බහුතර ජනතා ප්‍රසාදයක් දැක්වුණ අතර එම ප්‍රසාදය පිලි නො ගන්නා මානසිකත්වයක් රටින් පිටත නිර්මාණය කරන්නට උත්සාහ දැරුව කණ්ඩායම් වලට මෙම ප්‍රතිපල තුලින් එම උත්සහායද නිෂ්ක්‍රීය කරගන්නට සිදුව ඇත.

    දේශපාලන වේදිකාව මග හැර සිටි ජනතාව නිහඬව මෙම මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කල බව පෙනෙන්නට තිබුන කරුණක් විය.

මෙම මැතිවරණ දෙකේදීම ජනතාව ජීවන වියදම ඡන්දය දිම සහ නොදීම පිලිබද සාධකයක් ලෙස සලකනු නො ලැබිනි. ඒ වෙනුවට යුද්ධයට විසඳුම සොයන ලද ආකාරයට ම ඉදිරි වසර කිහිපයක දී රට සංවර්ධනය කරා යොමු කර ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ ක්‍රියා මාර්ගයන්ට පිවිසෙනු ඇතැයි උපකල්පනය කර ඡන්දය පාවිච්චි කරන ලදි. එමෙන් ඒකීය ශ්‍රී ලංකාවක් තුල ගෞරාන්වින්තව ජීවත්වීමට සුදුසු වන පරිදි ව්‍යාවස්ථාවට නව අරුතක් ස්ථාපනය වනු දැක්මටද ඡන්දය පාවිච්චි කරන ලදි.
අතීතයේ බහුතර බලයක් ලැබු වකවානුත් සමග ගලපා මෙම ජනතා විස්වාශය තේරුම් ගැණීමත්, එම විස්වාශය බිද වට්ටවා ගැණිම තමන්ගේ අවසානයට හේතු වන බවත් සිහියෙන් යුතුව කටයුතු කිරීම නව පාලක පාර්ලිමේන්තු කණ්ඩායම තේරුම් ගත යුතු කාරණාවකි. ජනතාව අපේක්ෂා කරන වෙනස් කම් තම බලය තහවුරු කර ගැණීමේ ව්‍යාපෘති නොවනු ඇතෑයි ජනතා විශ්වාසයයි.
බලාපොරොත්තු තබා ඇති ඉහල සාධන මට්ටමකට ජනතාව පත් නොකලහොත් වහා කලකිරීමට පත්ව එම බලය ලබා දුන් පරිමාණයෙන් ම ආපසු ලබා ගැණීමට ඊලග අවස්ථාව ලද විට ජනතාව සිතනු ඇත.

    සිරිමාවෝ මැතිණියට 1970 තුනෙන් දෙකේ බලය දුන් ජනතාවම 1977දී ජේ. ආර් ට හයෙන් හතරක් කොට බලය ලබා දුන් බව අමතක කල යුතු නැත.