“අධ්‍යාපනෙත් මෙච්චර අවුල්ද? සර් .“


බාර් එකේ කොල්ලාගේ මූණ නිකම් කරත්තයට අහු වුන පුවක් ලෙල්ල වගේ. ට්‍රේ එකත් අරන් වීදුරු ටික ගණන් කරනවා, මේසේ ඉන්න ගාන හිතෙන් හදාගෙන. බාර්මන් අහනවා මොකද බන් කියලා. මේ ස්කෝලේ මහත්තුරු කටිටියක් කොල්ලා උත්තර බදිනවා.
ගල් දෙකයි සෝඩා බෝතලයයි රට කජු පැකට් තුනයි කීය ද කොල්ලා බිල අහනවා. ටක් ටික් ටුක් කියලා කැල් එකේ ඇගිලි ඇනලා බාර්මන් ගාන කිව්වාම අන්තිම ශතේට කොල්ලා සල්ලි ගෙනත් බදිනවා. මේසේට ඕඩරේ යනවා.

කොල්ල දන්නවා ටිප් එක “නිල්“ කියලා. තවත් මේසයක සිහිනයක් හිතේ මවාගෙන පාළු යන්න මේ ගොල්ලන්ගේ කතා නිවාඩු පාඩුව අහන්න හිත හදා ගන්නවා.

මේසේ අට දෙනෙක් වට වෙලා එක්කෙනෙක් පලමුවෙනි රවුම සම සමව බෙදා ගෙන යනවා. කොල්ලා හිතනවා ඒ ගොල්ලන්ගේ චාරිත්‍රයක් කියලා. රට කජු පැකට් එකකුත් සකසුරුවමට කඩලා පීරිසියකට දාගන්නවා.

“සර් ගන්න “ ඉස්සෙල්ලා ආරධනාව පුංචි සර් කෙනෙක් ගෙන් ලොකු සර්ට. වීදුරු යාන්තම් උස්සලා හිනා වෙනවා. මූණ ඇඹුල් කර ගෙන උරහිස් උඩට නටවලා වීදුරු ටික මෙසේ උඩට පාත් වෙනවා. කොල්ල ඉස්කෝලේ යන කාලේ සරඹ පංතිය මතක් වෙලා අතීතයට යනවා.

මොකක් හෝ විශේෂ සිද්ධියක් අද වෙන්න ඇති කොල්ලගේ අනුමානය එහාට මෙහාට විසිවෙන අදහස් වලින් ගොඩ නැගෙනවා. අද පාසල අධික්ෂණයකට පලාත් කාර්යාලයෙන් නිලධාරි කණ්ඩායමක් ඇවිල්ලා. උදේ ඉඳන් පිපිරෙන්න වෙර දරාපු ආතතිය රාජකාරි කටයුතු ඉවර කරලා බාර් එකේ මේසයේ දිය කර අරින්න මේ ගොල්ල ඇවිත් තියෙන්නේ.

පළමු වෙනි රවුම එවර වෙනවා. කා ගෙත් කතාවල කොළුවා ට ඇහිඳ ගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. ඔය ආ ගිය කතා ඉස්කෝලයේ එදිනෙදා සාමාන්‍ය සිද්ධි හුවමාරු වෙනවා. ස්ටාෆ් මීටින් එකක් වගේයි කියලා කොළුවා හිතනවා. කියන ඒවත් කොල්ල ගේ විෂයය පථයට ගැළපෙන්නේ නෑ.

හදිසියේ ගෙදර බෝම්බ පුපුරයි කියලා සිහි වෙලා ද කොහේද දෙවෙනි බෝතලේ දිහා එකිනෙකා හොරෙන් බලනවා ලොකු සර් කියනවා “ගම්මු , ගම්මු ඒකත් “ කියලා.

ඒ රවුම වීදුරු වලට පෙර පරිදි බෙදෙනවා. ටික වෙලාවක් යන කොට කාණ්ඩේ තව තවත් දොඩමළු වෙනවා . ඔන්න උදේ ආපු අධික්ෂණ කන්ඩායම මතකයේ කරලියට එනවා. “අම්මා – මෝ “ මතක් වෙන්නේ දැන්. කොල්ලගේ කම්මැලිකම සුරුස් ගාලා පැනලා ගිහින් අවධාණය මේසේ පැත්තට යොමු වෙනවා.

පාසල් පිරියත පංති සටහන් , වාර සටහන්, පැමිණීමේ ලේඛණ , ඉගැන්වීමේ කටයුතු , විෂයය නිර්දේශ , ලොග් පොත වගේ දේවල් අධීක්ෂ ණ කණ්ඩායමේ මහත්වරුන් ගේ නම් එක්ක සම්බන්ධ කරමින් කතා බහට ලක්වෙනවා.

ලොකු සර් මැදිවියේ කෙනෙක් . පොඩි සර්ලා ලොකු සර්ගේ තරාතිරම සාකච්ඡාවට ගන්නවා. විදුහල්පති ශ්‍රේණි ගැන කතා වෙන කොට එතුමා පළවෙනි ශ්‍රේණියේ කෙනෙක් කියලා කොල්ලට ඇහුනා. තව තව අය මෙතන ඉන්නවා. කීප දෙනෙක් ගුරු සේවයේ එකේ කියලා කොල්ල ඇහිදා ගත්තා. මේ ගොල්ලන්ට මළ පැනලා තියෙන්නේ අළුතින් බදවා ගෙන තියන අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන පන්තියේ නිළධාරීන් ගැන.
කොල්ලට මේව තේරුම් ගන්න බැරිවුනත් අවුලක් තියෙනවා කියලා හිතා ගත්තා.ලොකු සර් තමන්ගේ මාසික වැටුපයි නිළධාරීන්ගේ මාසික වැටුපයි ගලපනවා. “ඔය යක්කුන්ට මට වඩා හයදාහක් විතර අඩුවෙන් හම්බුවෙන්නේ “ලොකු සර් කියනවා. ගුරු සේවයේ එකේ අය ඉන්නවා සර් උපගුරුවරු හැටියට සර්ගේ ගානට කිට්ටුවෙන් ගන්න“ , තව සර්ලා කිහිපදෙනෙක් සක්කයක් තියනවා.
“මුන්ටත් තියෙන්නේ ප්‍රාථමික උපාධියක්. මාස හතරක් පහක් පුහුනු කරලා එව්වාම මුන් හිතනවා අපිට වඩා ලොක්කෝ නෑ කියලා. මුන්ට තියෙනවා වගේ උපාධියකුයි අවුරුදු විස්සක විසිපහක සේවා පළපුරුද්දයි තියෙන අපි අධීක්ෂණයට මුන් ගැලපෙනවද ?. “ ප්‍රශ්නයක් බොහෝම වේගවත්ව මේසෙට වැටෙනවා.

මුන් එන්නේ අපි වගේ අය අධික්ෂණය කරලා උපදෙස් දෙන්න.
උදේ වුන සිද්ධියක් මේසේට එනවා. ලොකු සර් ට උපදෙස් දෙන්න ගිය එකාට එහෙම කියාපු එක හොදයි තව සර් කෙනෙක් කියනවා . සර්ගේ කේන්තිය අවුස්සන්න හිතලා “මොකක්ද සර් කිව්වේ “තව එක් කෙනෙක් නැවත සිහිපත් කරනවා.

ලොකු සර් උත්තර බදිනවා “මට ලොග් පොතේ සටහන් තියන හැටි උගන්නන්න ආවා එක මහත්තෙක්“ . මම ඒ මහත්තයාට කිව්වා “මහත්තයගේ අම්මාගේ බඩට මහත්තයා එන්න ඉස්සෙල්ලා මම ලොග් පොතේ සටහන් තියන්න පටන් ගත්තේ“ කියලා.

මොන කතාත් කෙළවර වන්නේ දේශපාලනයෙන් රිචර්ඩ් පතිරණ මහත්තයාට පින්දෙන ගමන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාට මේ පාර පාර්ලිමේන්තුවට එන්න නො ලැබේවා ! කියලා ප්‍රාර්ථනයක් මේසෙන් ඇහැනෙවා .

කොල්ලා තව රවුමක් අළවි කරගන්න පුළුවන්ද කියලා හිත හිතා මේසේට කිට්ටු කරන ගමන් “අධ්‍යාපනෙත් මෙච්චර අවුල්ද? සර්“ කියලා පුංචි සර් කෙනෙක්ගේ කණට කිට්ටු කරලා ඇහුවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )