නීතිය, හෘද සාක්‍ෂිය මාලය සහ උගස – දිවයින කතුවැකිය


සරසවියක දෙවන වසරේ සිසුවියක්‌ කාන්තාවකට පිහියක්‌ දික්‌කර ඇගේ රන් මාලය කඩාගෙන යැමේ පුවතක්‌ අද “දිවයින” වාර්තා කර තිබේ. මාලයේ වටිනාකම රුපියල් දෙලක්‍ෂයකි. හෙවත් දල වශයෙන් පවුම් 3 යි ග්‍රෑම් 5 ක ප්‍රමාණයකි. බැංකුවට සින්න වීමට යන සිය පවුලේ දේපළ බේරා ගැනීම සඳහා ඇය මෙම කොල්ලය සිදු කර ඇත. ඇගේ මව නැත. පියා ආබාධිතය. දැනට ඇය රක්‍ෂිත බන්ධනාගාරයේය.

සුප්‍රකට නවකතාකරුවකු වූ ප්‍රංශයේ වික්‌ටර් හියුගෝ මෙයට වසර සිය ගණනකට පෙර නවකතාවක්‌ ලිවීය. එහි නම The Misarable ය. එහි සිංහල පරිවර්තනයේ නම මනුතාපය ය. මනුතාපයේ ප්‍රධාන චරිතය වන ෂෝං වැල් ෂෝං හෙවත් “ජනවර්ජන” දුගී භාවයේ පතුලෙහි සිටින පවුලක සාමාජිකයකු වන අතර සැමියා අහිමි වී සිය එකම සොයුරිය සහ දරුවා රැක බලා ගැනීමෙහි නියුතුව සිටී. දවසක්‌ ජනවර්ජන සිය පවුලේ ප්‍රයෝජනය සඳහා බේකරියකින් පාන් ගෙඩියක්‌ සොරා ගනී. බේකරිකාරයා ඔහු පොලිසියට අල්ලා දෙන අතර උසාවිය හිරගෙට යවයි. එවිට ඔහු හිරෙන් පැන යයි. පොලිසිය යළි ඔහු අල්ලා උසාවියට ඉදිරිපත් කරන අතර පළමු වරදට හා හිරෙන් පැනීමේ දෙවැනි වරදට දිගුකාලීන සිරදඬුවමක්‌ නියම කෙරේ. මේ නිසා පාන් ගෙඩියක්‌ සොරකම් කිරීමේ වරදට පිටි මෝලක්‌ සහ පාන් බේකරියක්‌ සොරකම් කළ කෙනකුට දෙන තරම් දඬුවමක්‌ ඔහුට ලැබෙයි. පොල් ගෙඩියක්‌ සොරකම් කර දඩය ගෙවා ගැනීමට නොහැකිව අවුරුදු ගණන් හිරේ තපින මිනිස්‌සු මේ රටේ රිමාන්ඩ් සිරගෙවල සිටිති. නීතිය යනු ඇස්‌ දෙක බඳින ලද ගැහැනියක්‌ කඩුවක්‌ සහ තරාදියක්‌ අතින් ගෙන කිරුම් මිණුම්වල යෙදෙන අවස්‌ථාවකි. මේ කඩුවෙන් කපා මස්‌ වුවද කිරන්නට පුළුවන. රාත්තලක්‌ වෙනුවට තුන් කාලක්‌ කිරන්නටත් පුළුවන. හේතුව, නීතිය සංකේතවත් කරන කාන්තාවගේ ඇස්‌ බැඳ තිබීමය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවත් දේපළක්‌ උගසින් බේරා ගැනීම සඳහා කාන්තාවකගේ මාලය කඩා ගැනීමෙන් මේ රටේ සමාජ ක්‍රමයේ එක්‌තරා පැතිකඩක්‌ පෙන්නුම් කෙරේ. මාලයක්‌ කැඩීම යනු අවදානමකි. උපාධි අපේක්‍ෂිකාවක්‌ මාලයක්‌ කඩන විට එතැන ඇතිවන චිත්‍රය අමුතුම එකකි. උගත්කම විසින් මිනිසකු දෙවරක්‌ සිතීමට පොළඹවනු ලබන නමුදු උපාධිධාරිනිය මාලය කැඩීමේ සිද්ධියේදී උගත්කම කිසිදු බාධාවක්‌ වී නැත. තරුණිය තම උසස්‌ අධ්‍යාපනය, ආත්ම ගෞරවය යන සියල්ලම පසෙකලා දුප්පත්කමට එරෙහිව තමාට නිවැරැදි යෑයි හැඟෙන දේ කර තිබේ. මනුෂ්‍යයන් මෙබඳු මානසික මට්‌ටමකට පත් වීම පහසු නැත. සමාජය විසින් අද මිනිසුන් සහ ගැහැණුන් එම මානසික මට්‌ටමට තල්ලු කරනු ලැබ ඇත.

සාපේක්‍ෂව ගත් කල රටේ අපරාධ ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ ගොස්‌ තිබේ. මිනීමැරුම්, සොරකම්, ස්‌ත්‍රී දූෂණ අද ඉතා බහුලය. කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කිරීම ඉතා පුළුල් ලෙස ප්‍රචලිත වෙමින් පවතී. A ට C මැරවීමට උවමනා විට ඊ ට කොන්ත්‍රාත්තුව දෙනු ලැබේ. මෙහිදී A කිසිවක්‌ ඇඟේ ගා ගන්නේ නැත. කොන්ත්‍රාත්තුවට නියමිත ගාස්‌තුව ලබා ගැනීම පමණක්‌ නොව හිරේ යැමද ඊ ට අයත් ය. සියල්ලටම සරිලන ගාස්‌තුව ඔහුට ගෙවන කොන්ත්‍රාත් මුදල තුළ අන්තර්ගතය. මේ නිසා සංවිධානාත්මක සහ වෘත්තීයමය අපරාධ ජාලයක්‌ අද රට තුළ ස්‌ථාපනය වී ඇත. බොරැල්ලේ මැගසින් හිරගෙදර සිටින සිරකරුවා එළියේ සිටින අපරාධකාරයකුට දුරකථනයෙන් කතා කර විරුද්ධවාදියකු මැරීමට කොන්ත්‍රාත්තුවක්‌ ප්‍රදානය කරයි. මේ අපරාධ ජාලය තුළ සිටින ක්‍රියාකාරකයන්ට මරණ දණ්‌ඩනය දිය යුතුමය. එහෙත් උගසට සින්න වීමට යන ගෙය හා ඉඩම බේරා ගැනීමට මාලයක්‌ කඩා ගත් උපාධි අපේක්‍ෂක තරුණියට දිය යුතු දඬුවම කුමක්‌ද? නීතිය ඉදිරියේදී ඇය වැරැදිකාරියකි. එහෙත් හෘද සාක්‍ෂිය ඉදිරියේදීත් ඇය වැරැදිකාරියක්‌ද?

2012.04.19 – දිවයින කතුවැකිය

පුංචි අම්මාගේ ඉඩම උගසින් බේරාගන්න රන් මාලයක්‌ කැඩූ
සරසවි සිසුවිය රිමාන්ඩ්

ගම්පොල – සුරංග දිල්හාන්

විශ්වවිද්‍යාලයක දෙවන වසරේ අධ්‍යාපනය ලබන උපාධි අපේක්‌ෂිකාවක විසින් තියුණු පිහියක්‌ පෙන්වා කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්‌ෂ 02 ක්‌ වටිනා රන් මාලයක්‌ කඩාගෙන ගම්පොල නගරයේ වීදියක්‌ ඔස්‌සේ දිව යමින් සිටියදී ගම්පොල පොලිසිය හා ත්‍රිරෝද රථ රියෑදුරන් ඇය ලුහුබැඳ මහත් පරිශ්‍රමයක්‌ දරා අල්ලාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල වැලිගල්ල ප්‍රදේශයේ තරුණියක වන අතර ඇය 22 හැවිරිදි වියේ පසුවන්නියකි.

මව අහිමි මෙම තරුණිය ආබාධිත පියා හා පාසල් වියේ සොහොයුරකු හා සොයුරියක්‌ රැක ගනිමින් සිය පුංචි අම්මාගේ නිවසේ පදිංචිව සිටින බව පොලිස්‌ පරීක්‌ෂණවලින් තහවුරු වී ඇත.

බැංකුවට සින්න වීමට යන ඉඩමක්‌ උගසින් බේරා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙම මංකොල්ලය සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සිය පුංචි අම්මා සතු මෙම ඉඩම උගසින් බේරා ගෙන මිලදී ගැනීමට මේ තරුණියට රු. ලක්‌ෂ 9 1/2 ක්‌ අවශ්‍ය වී ඇති අතර ඇය මේ සඳහා රු. ලක්‌ෂ 09 ක්‌ සොයාගෙන තිබී ඇත.

ඉඩම බේරා ගැනීම සඳහා බැංකුවෙන් අවසන් නිවේදනය ලබා දීමත් මේ සඳහා තවත් රු. පනස්‌ දහසක්‌ අවශ්‍ය නිසාත් ඇය රන් මාලයක්‌ මංකොල්ල කා මෙම මුදල සොයා ගැනීමට සිතා පිහියක්‌ද අත් බෑගය තුළ දමා ගම්පොල නගරයේ බැංකුවක්‌ අසල සිට ඇත. බැංකුව වෙත පැමිණෙමින් සිටි කාන්තාවකගේ රන් මාලය මෙසේ කඩාගෙන දුව ගොස්‌ තිබේ.

මෙම සැකකාරිය ගම්පොල වැඩබලන මහෙස්‌ත්‍රාත් නිලන්ත පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (20 වැනිදා) දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

ගම්පොල සහකාර පොලිස්‌ අධිකාරී චූලනී වීරරත්න, මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති චන්ද්‍ර ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති ඩී. එන්. කන්නන්ගර පො.සැ. (32417) දසනායක, පො.සැ. (28946) රෝහිත කා.පො.සැ. (1778) රෝහිණී යන නිලධාරීහු පරීක්‌ෂණ සිදු කළහ.

- දිවයින පුවත

About these ads

One thought on “නීතිය, හෘද සාක්‍ෂිය මාලය සහ උගස – දිවයින කතුවැකිය”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )