උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්.

උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්.

කඩුල්ල ලියන මට ලියන්න කිසිවක් හිතට එන්නේ නැත. දිනපතා ප්‍රවෘත්ති අහන විට , කියවන විට යකා ඔළුවට ආවත්,  කඩුල්ල  මීට අවුරුදු හත අටකට පෙර දෑත් බැද ගෙන දෑස් වසා‍ ගෙන පෝලිමේ සිට හුලැගිල්ලේ තීන්ත උලවා ගෙන කරවා ගත්ත හදිය නිසා ඇටි කෙසෙල් කෑ රිලවාට වී ඇති සංගදියට සමානව අසරනව සිටිනා බව ශාතිශය සංවේගයෙන් යුතුව පලකිරීමට සිදුව ඇත.

විශ්‍රාම ගිය පසු සුබ අනාගතයක් උදා කරන්න ගොස් එකෙක් මරා ගත්තේය. තෙල් මිළ නහුතයට වැඩි කර තව එකෙක් මරා ගත්තේය. ප්ලාස්ටික් කූඩයට එළවළු දමන්න ගොස් තවත් උට්ටලමක් කලේය. දෙනවා කියන සහනාධාර දී කරන මගුලක් කලා නම් ධිවරයා මිය යන්නේ නැත. බස් ස්ට්‍රයික් කරන්නේ නැත. ජනතාව වීදී බස්සන ආණ්ඩුවට රිද්දන්න  කුපිත කරවන දැනුම් තේරුම් ඇති  ආණ්ඩුවට විපක්‍ෂ මතධාරී   මී හරක් අසරනව  සරනක් පතන ජනතාව බිල්ලට දී බඩ පුරවා ගන්න මාන බැලීමද නිවරදි නැත.

තෙල් මිල වැඩි කර මගී ප්‍රවාහණ වියදම් ඉහලද දමා බස් අයිතිකාරයින්ට වෙන් කල සහණාධාරද දෙන්නේ නම් එයත් අපූරුය. දෙනවා කියන සහණාධාර  ලංගමට ලබාදී මගී ජනතාවට ගමනා ගමනයේ සහන මිළක් ගෙවන්න සකස් කරන්න තිබුනා යයි මෝඩ අදහසක් ආවත් ගැමුණු උන්නැහේ උසාවි යාවියැයි බියක් පෞද්ගලික ගමනාගමන ලොක්කාට හිතෙන්න ඇත. ඒ නිසා උන්ට සහණාධාරයදී  ගාස්තුත් වැඩි කරගන්න ඉඩදී දෑත් බැද ගෙන දෑස් වසා‍ ගෙන පෝලිමේ සිට හුලැගිල්ලේ තීන්ත උලවා ගත් ජහමනයාට බම්බු ගහගන්න කීවාවත්දැයි නිකමට සිතුනේය.

ආණ්ඩුව කරවන්නේ මහ බැංකුවේ ආර්ථික ලොක්කෝ විය යුතුය. පඩි කන එකාලට ජහමනයාගේ දුක තේරෙන්නේ නැත. ජහමනයා පත් කල එවුන් බඩජාරීකමට කා ගෙන කා ගෙන ගොස් බඩ ලොකු කර ගත් තරමට ඔළු කට්ට ඇතුලේ තියෙනවා යි කියන මොළයේ වපසරිය පලල් කර ගන්නේ නැත. කා මතට මත්වී යලිත් කන්න බැරිවේදැයි අඩමානයෙන් තියෙන ටික කා සෑහීමට පත් වෙනවාදැයි සිතන්නට හැකිය.

අපේ අධ්‍යාපන ලොක්කා වෙළද ලොක්කා වී සිටි ඉස්සර  කාලේ මිළ සුත්‍රය කියා එකක් කියනවාය. මේ සුත්‍රය මාස දෙක තුනකට වරක් ජප කලදාට ගෑස් තෙල් පරිප්පු සීනී ඔය කොයිවත් මිල ඉහල ගියේය. විශාලා මහ නුවරට වැඩි බුදුහාමුදුරුවෝ දේශණා කල සුත්‍රයෙන් ජනතාව නිවී පහන් වී ලය සනසා ගත්තත් මේ මිළ සුත්‍රය කියවු දාට ජහමනයාගේ බඩ පපුව පත්තුවී ගියේය. දැන් දේශනා කරනුයේ කාගේ සූත්‍රයදැයි නොදනිතත් එදා දේශණා කල සූත්‍රය හොද යයි සිතෙන්නෙ මෙදා දේශණා කල සුත්‍රයෙන් මිල වැඩීවී ඇති අන්දම ගැන සිතන විට බඩ පපුව විතරක් දැවී ඉතිරි නොවී මුළු සර්වාංගයම දෑවී අළුවී ගොස් භෂ්මාවශේෂ බවට පත්වන නිසාය.

පසුගිය දින කිහිපයේ පෝලිමට පරිප්පු, සීනි ,ගෑස්‌ සහ ඉන්ධන මිල නන්වා  එහි ඊළඟ ප්‍රතිඵලය ලෙස බස්‌ ගාස්‌තු, ප්‍රවාහන ගාස්‌තු වැඩිවීමට සලස්වා , ලයිට්‌ බිල 40% කින් වැඩී කරන විට දවසකට රුපියල් හයසීයකට විතර තම ශ්‍රමය දිය කරන ජහමනයා හට ඒ හයසීයෙන් පෙරදා ගත්ත බඩු සොච්චමෙනුත් තව 40% ක් ගෙදර ගෙනියන්න බැරි විත්තිය ආර්ථික ලොක්කන්ට තේරෙන්නේ නැත්තේ යක්‍ෂයා ආරූඩ වී ඇති නිසා විය යුතුය. නැත්නම් උන් හාමතේ හිටියාම අපට මොකද කියා හිතනවා විය හැක.

බඩු මිල වැඩිවී හාමතේ සිට විදුලි බිල වැඩීවීම නිසා කරුවලේ  ඉන්න සිදුවී පහුවෙනිදා වැඩට යන විට වැඩපලේ ගේට්ටුවේ “වැඩපල වසා ඇත” බෝර්ඩ් ලෑල්ල දැක ගේට්ටුවෙන් ඔළුව දමා “ඇයි ” කියා ඇසු විට හොටු  පෙර පෙරා එන වැඩපලේ අයිතිකාරයා “ ඇයි යෝධයෝ ලයිට් බිල වැඩි වෙලා අපි හදන බඩු ගනන් ගියාම ගන්න උඹලට සල්ලි නැති නිසා මේක වහලා දැම්මා”  කියන අනාගතය දැන් අත ලගය.

එතකොට උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියාගෙන වැටෙනවාට වැඩි යමක් ඉතිරිවන්නේ නැත.

සමාවෙන්න. කඩුල්ලට ආයෙත් වරදින්නේ නැත. කඩුල්ල ආයෙත් තීන්ත උලවා ගන්න පෝලිමේ යන්නේත් නැත.

Comments are closed.