තෙලෙන් නාමු.

තෙලෙන් නාමු.

ආණ්ඩුවට සැලස්මක් ඇතිවුනත් ආණ්ඩුව කරන ඇත්තන්ට නම් වැඩ ගැන සැලැස්මක් නැත. ගොනා වලං කඩේට පැන්නා මෙන් වැඩ කරන්නට මේ ඇත්තෝ ගජ සමත්තුය.

තෙල් මිල වැඩි කලේය.

ඩීසල් ලීටරය රුපියල් 31 කින් ද භූමිතෙල් ලීටරය රුපියල් 35 කින්ද මිල ඉහල දැම්ම විට ඒ අනුව බස්ගාස්තු   , භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩිවෙන්නේය. ආණ්ඩු කරන ඇත්තෝ මේවා දන්නා නිසා මහජනතාවට සහන සැලසීමට සහනාධාර වෙන්කරන්නේය. මෙවර තෙල් මිල වැඩිවීමේදි සහන සැලැස්වීම සදහා කෝටි 190 ක් සහනාධාර වශයෙන් වෙන් කල බවද පලවිය. තෙල් මිල වැඩිකිරීම ඊයේ කල සැලසුමක් විය නොහැකිය. ඊයේ වන විට සහනාධාර බෙදා දීමේ වැඩ සටහනක් අරඹා තිබුනා නම්  ජනතාව කලබල වන්නේ නැත.

සහන ලැබිය යුතු කොටස් වලට මේ සහනාධාර මිල වැඩිවීමත් සමගම ලැබෙන පිලිවෙලක් සකස් කිරීමට රජයට නොහැකිවිය. තවමත් එහෙම පිලිවෙලක් සකස් කර ඇති බවක් අහන්නට වත් නැත.මේ පිලිවෙත කවදත් සිදුවන්නක් නිසා ජනතාව දෙන්නම් සහනාධාරවලටත් තෙල් මිලටත්  විරෝධය දක්වන අයුරු රජයේ  නොවන මාධ්‍ය තුලින් අපට දක්නට හැකිවිය. ආණ්ඩුවේ මාධ්‍ය  මිල වැඩිවීමත් හොදයි කියා  අදහස් පල කරන  අන්දම අපට පෙන්වීය.

පෞද්ගලික බස්රථ , පාසල් වෑන් රථ , ත්‍රීවීලර් ආදී කුලී වාහන මේ වන විටම ගාස්තු ඉහල නන්වා ඇත.ඔවුන් අතට සහණාධාර ලැබුන පසු  ආපසු  ජනතාව වෙත  සහනාධාර නිසා ලැබෙන ප්‍රතිලාබ ගෙවීමට හැකිවෙන්නේ නැත. මේ ගැන සිතාදෝ ගැමුණු විඡේරත්නගේ බස්‌ සංගමය ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීය. ( වර්ජනය කලා නොවේ .)මිනිස්සුන්ට එක් දිනක් අතින් නිවාඩු දමා ගෙන ගෙදර සිටින්නට සිදුවිය.

රජය ජීවන බරින් මිරිකී සිටි ජනතාවගේ හිසට තඩි පොල්ලකින් ගැසුවේය.

තිස්ස අත්තනායක මහතා රජයේ අධික වියදම් තුලනය කර ගැණිමට තෙල් මිල ඉහල දැමු බව පවසන අතර ඔවුන් අවුරුදු දෙකක පාලන සමයේ මැති ඇමතිවරු පයින් සහ කරත්ත වලින් ගොස් රජයේ වියපැහැදම් අඩුකල බව පැවසීය.මේ රජයේ ඇත්තන් පිරිවරා ගෙන රථ පේලි වලින් ගොස්  ගම් උදාව පන්නයේ දැයට කිරුළු පලන්දමින් ජෝගි නටන බව පවසන්නේය.

එතුමාටත්  සවන් දෙමු.

“ඛනිජ තෙල් සංස්‌ථාවට ලාභද තබා ගනිමින් ඩීසල් ලීටරයක්‌ රුපියල් 99 කටද පෙට්‍රල් ලීටරයක්‌ රුපියල් 110 කට සහ භූමිතෙල් ලීටරයක්‌ රුපියල් 89 කටද ලබාදීමට රජයට හැකියාව ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ 14 වැනිදා පැවැසීය.
එවැනි මිලකට ඉන්ධන විකුණුවද රජයට ඩීසල් පෙට්‍රල් සහ භූමිතෙල් ලීටරයකින් පිළිවෙළින් 22% ක්‌, 30% ක්‌, සහ 16% ක ලාභයක්‌ ලැබිය හැකි බවද අත්තනායක මහතා සඳහන් කළේය.
රජය ඉන්ධන මිල වැඩි කොට මහජනතාව මත බර පැටවුව ද තවම මෙරට පවතින්නේ පරණ මිල ගණන් වලට මිලදී ගත් තෙල් තොග බව ද හෙතෙම කීය.
වත්මන් රජයේ ඇති සෝබනය, නාස්‌තිය සහ දූෂණය වහාම නවතා දැමිය යුතු බවත් ඉන්ධන මිල ඉහළ දැමීම රජය වහා හකුලාගත යුතු බවත් අත්තනායක මහතා කියා සිටියේය.
විදේශයෙන් මෙරටට ඉන්ධන ගෙන එන බැවින් එම ඉන්ධන විකුණා සංස්‌ථාව පාඩු ලබන්නේ එහි ඇති අකාර්යක්‍ෂතාව නිසා බවද හෙතෙම පැවැසීය.
එක්‌සත් ජාතික පක්‌ෂ රජය සමයේ ඉන්ධන වලින් ලබා ගන්නා ආදායම 25% ට අඩුවෙන් තබා ගැනීමට හැමවිටම ක්‍රියා කළ බවද කී ඒ මහතා වත්මන් රජය එසේ නොකොට මහා පරිමාණයෙන් මහජන මුදල් ගසාකමින් සිටින බවද කියා සිටියේය. “

මේ ‍සෝබනයට ගොන් කරත්තවල යන මහත්තුරු කරත්තෙන් බැස ප්‍රාඩෝ වල නැග ගෙදර යන හැටි අප දැක ඇත.

ආණ්ඩුව කියන්නේ  වෙනම කතාවකි.

ලෝකය ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින මෙබඳු අවස්‌ථාවක ඉන්ධන මිල  ඉහල යමින් පවතින නිසා එයට ඔරොත්තු දීමට තෙල් මිල ඉහල දෑමීමට සිදුවු බව  පවසන්නේය. උතුරු කරේ තෙල් ලැබුන විට මෙම මිල ගනන් වහා අඩු කරන බව  ( හිතළුවක්) ප්‍රකාශයට පත් කර ඇත.ජනතාව මොකක්දෝ එකක් අහුලා ගන්නට  එළුවාගේ පිටිපස්සනේ යන්න පටන් ගෙන ඇත. අහුලා ගත්දාට තෙල් මිළ පහලටම බහිනු ඇත.
මේ කතා අතරට මේ ටිකත් එකතු කරන්නේ ආණ්ඩුවට කඩේ යාමේ චේතනාවෙන් බව සැලකිය යුතුය. යුරෝපයට තද ශිතල කාලයක් උදාවී ඇත. එම  නිසාවෙන් ඔවුන් ගේ ඉන්ධන පරිභෝජනය ඉහල ගොස් ඇත.වර්ෂ ගණනාවක සිට අඛණ්ඩව පොලොවෙන් උරා ගන්නා තෙල් සම්පත වර්තමාණය වන විට ක්‍ෂය වන සම්පතක් බවට පත්ව ඇත.   ඇමරිකාව ලෝකයේ විශාලතම තෙල් නිධි හිමි ඉරාණයට තර්ජණ ගර්ජණ කරමින් සිටිනා නිසා  සහ  එමෙනිම ලිබියාවෙ සහ නයිජීරියාවේ සිවිල් යුද්ධ නිසා ඔවුන්ගේ ඉන්ධණ නිෂ්පාදනය පහල වැටී ඇත.
මේ ලෝක ගැටළු වලට අමතරව අපේ රටට විශාල වශයෙන් ( 70% ක් පමණ)  තෙල් ආනයනය කරන්නේ ඉරාණයෙන් වීමද  අපට අනාගත තෙල් ගැටළුවක් වීමට හේතුවක් විය හැකිය.

Comments are closed.