Daily Archives: 2012 ජනවාරි 31

අධ්‍යාපනය අනාගෙන කනවා.

අධ්‍යාපනය අනාගෙන කනවා.

පසුගිය දිනක සුභාරතී වැඩ සටහනට සහභාගී වෙමින් සිටි මධ්‍යම රජයේ අධ්‍යාපන ඇමති  බන්දුල ගුණවර්ධන මහතා අනුරාධපුර තිසාවැව අසලදී චිත්‍ර තරගයක් පැවත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සුදානම් කල බවත් එය සංවිධානත්මක පිරිසක් විසින් කඩාකප්පල් කල බවත් පවසා සිටියේය. මේ දිනවල කඩාකප්පල් කිරීමේ චෝදනා එක් දිසාවකට යොමු වන බැවින් මේ පුවතත් එවැනි   කඩාකප්පල්  කිරීමක්ද යන්න විමසීමට කඩුල්ල ඒ පිළිබදව ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි අවධාණය යොමු කලේය.

මාධ්‍ය  සිද්ධිය වාර්තා කර තිබුනේ මේ අයුරෙන්  “…………………………..මේ චිත්‍ර තරගයට උතුරු මැද පළාතෙන් සිසු දරු දැරියන් එක්‌දහස්‌ පන්සියයක්‌ සහභාගි කරවන ලෙස අපි උතුරු මැද පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර සෞන්දර්ය විෂය භාර අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන්නා. ඊට අමතරව අපි අනිකුත් සෑම පළාතකින් සිසුන් පනස්‌දෙනෙක්‌ බැගින් මේ තරගයට සහභාගි කරවීමට කටයුතු සංවිධානය කර තිබුණා. ……………. ”—-මෙහෙම කියන්නේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය විෂය භාර අධ්‍යක්‍ෂ තුෂාර ගුණතිලක මහතා

අපි දන්නවා 13 වෙනි ව්‍යවස්ථාව ගැන. මේ ව්‍යාවස්ථාවෙන් තවත් ආණ්ඩු රැසක් මේ රට තුල ඇති වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිපල හැටියට මේ වගේ දේවල් නිර්මාණය වනවා.  ඒ නිර්මාන අතරට එක්වු හොද නිදසුනක් තමයි මේ චිත්‍ර තරගයත්.

“……………..උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැති හා අධ්‍යාපන ඇමැතිවරයා හැටියට මෙවැනි චිත්‍ර තරගයක්‌ පැවැත්වෙන බවට කිසිදු තොරතුරක්‌ මම දන්නේ නෑ.  එසේම මෙවැනි චිත්‍ර තරගයක්‌ සංවිධානය කරන ලෙසට තමන් අධ්‍යාපන නිලධාරීන්ට නියෝග කරලත් නැහැ.
ඒ නිසා මේ චිත්‍ර තරගය සංවිධානය කළ අය මේකට වගකියන්න ඕන. අපි මෙවැනි දෙයක්‌ සංවිධානය කළා නම් සංවිධානය කරන්නෙ උතුරු මැද පළාත තුළ පමණයි.

මට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මේ චිත්‍ර තරගයට අම්පාර, ගම්පහ, රත්නපුර, ගාල්ල හා කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකින් සිසු දරුවන් පැමිණ ඇති බව දැනගන්නට තිබෙනවා. නමුත් අපට පිට පළාත්වල දරුවන් ගෙන්වා තරග පවත්වන්න අයිතියක්‌ නෑ.
මේ තරගය අධ්‍යාපන අමාත්‍යංශයේ කවුරුන් හෝ සංවිධානය කරන්න ඇති. මේ තරගයට පැමිණි දරුවන් විශාල පිරිසක්‌ රස්‌තියාදු වෙනව මා දුටුවා. මේ සිද්ධිය බරපතළ ප්‍රශ්නයක්‌. මේ තරගය සංවිධානය කළ පිරිස්‌ මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි………………” උතුරු මැද පලාතේ මහ ඇමති තුමා මේ චිත්‍ර තරගය ගැන මාධ්‍යයට කියලා තිබුනේ මේ වගේ අදහසක්.

බොහෝම පැහැදිලිව පේන දෙයක් තමයි ඉසුරුපායේ නිළධාරීන් යමක් කරන්න පෙර කළයුතු ආකාරය  ගැන අවබෝධයක් නොතිබුන බව. නැත්නම් මේ අය මධ්‍යම රජයේ නිලධාරීන් කියලා හිස ලොකු කරගත්ත උදවිය. හිතන්න ඇති අපි මොකටද කාටවත් කියන්නේ කියලා. කඩුල්ලට අධ්‍යාපන පරිපාලනය තුල ඕන තරම් මේ වගේ ඔළු බක්කෝ මුණ ගැහිලා තියෙනවා.

ඉසුරුපායේ අධ්‍යාපන ඇමතිතුමාම කියනවා මට රජයේ පාසල් තියෙන්නේ තුන්සිය ගානයි ඉතිරිවා අයිති ඒ ඒ පලාත් සභා වලට කියලා. දකුණු පලාත් සභාවේ හැර අනෙක් පලාත් සභාවල අධ්‍යාපනය භාර වෙලා තියෙන්නේ මහ ඇමතිවරයාට. ඉතින් ඉසුරුපායේ ඉන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය විෂය භාර අධ්‍යක්‍ෂතුමාට  හිතා ගන්න බැරිවෙලා තියෙනවා තමන්ගේ බලතල පවතින සීමාව ඉසුරුපායේ ගේට්ටුවෙන් එහාට නැති බව.

අධ්‍යක්‍ෂතුමා තමන්ගේ උවමනාව පලාත් සභාවට දන්වලා වෙන් කර ගත්ත ගතමනාව හවුලේ බෙදා ගන්නේ නැතිව තනියම කන්න ගිහින් ඇති කර ගත්ත අවුලෙන් ඇතිවුන තත්වය මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ මෙහෙමයි.

“…………………………..මෙම චිත්‍ර තරගයට හත්දහසකට අධික සිසු සිසුවියෝ පිරිසක්‌ සහභාගි වූනා. ඔවුනට ප්‍රමාණවත් අයුරින් මූලික පහසුකම් හෝ සැලසීමට තරග සංවිධායකයන් අපොහොසත් වෙලා ඒ හේතුවෙන් දරුවන් ඉතාම දුෂ්කරතාවලට පත්වීමට සිදුවූ බව සිසු දරු දැරියන්ගේ දෙමව්පියෝ කියනවා.
දරුවන්ට එන්න කියලා රස්තියාදු කලාට එරෙහිව  සිසු සිසුවියන්ගේ දෙමව්පියන් හා තරග සංවිධායකයන් අතර මෙහිදී කළහකාරී තත්ත්වයක්‌ද උද්ගත වෙලා.
මෙහිදී කුපිත වූ දෙමව්පියන් අතින් ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශ  සෞන්දර්ය අංශයේ අධ්‍යක්‍ෂවරයෙක්‌ පහර කෑමකටද ලක්‌ වෙලා……………….”

ඉසුරුපායේ අධ්‍යාපන ඇමතිතුමාම  සුභාරතියට ඇවිත් සංවිධානත්‍මක පිරිසක් චිත්‍ර තරගය කඩාකප්පල් කලා කියුවේ මේ සිද්ධියට. හරියට වැඩක් කරගන්න බැරිවුනාම ලගම තියෙන මුව හමට තලන එක දැන් මෝස්තරයක් වෙලා.

මෙතනදී දෙමව්පියෝයි දරවොයි සෞන්දර්ය අංශයේ අධ්‍යක්‍ෂවරයෙකුට පුංචි මතක හිටින පාඩමක් උගන්නවා තියෙනවා . මින් පස්සෙවත් මේ වගේ වැඩක් කරන කොට තනියෙන් කන්නේ නැතිව වෙන් කරපු මුදල් පලාත් සභාවේ අයත් එක්ක බෙදා ගන කන්න කියලා.