කඩුල්ලී කලක් සමාජ අධ්‍යයන විෂයය ඉගැන්වු ගුරුවරියකව සිටියාය. ඈ පාසල් යන්න සැරසෙන අතර පාන්දර හයට විකාශණය වන ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අසන්නීය. ඈ හවස හයේ ප්‍රවෘත්ති සහ නවයේ ප්‍රවෘත්තිත් අනිවාර්යෙන්ම අසන්නීය. මේ පිලිවෙත ඇයගේ උගන්වන විෂයයට අත්‍යවශ්‍ය දෙයක්වු බැවින් ඈ ප්‍රවෘත්ති ඇසු අතර කඩුල්ල ඇසෙන බැවින් ප්‍රවෘත්ති අසන්නට හුරුපුරුදු විය. කඩුල්ලට 1970 බලයට පත්වු සමගි පෙරමුණ රජය කාලේ සිට යම් දේශපාලන මතකයන් ඇතිවුවත් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශන පිලිබදව නිශ්චිත මතකයක් නැත. 1978 කාලයේ සිට කඩුල්ලීත් සමග ප්‍රවෘත්ති අසන්නට පෙළබුන බැවින් ප්‍රවෘත්ති ප්‍රචාරය පිලිබද යම් මතකයක් 1978න් පසු කාලයේ ඉතිරිව ඇත.
කඩුල්ල 1965 කාලයේ පටන් පලවු දවස සහ දිණමිණ ප්‍රවෘත්ති පත්‍ර නොකඩවා කියවු පාඨකයෙකි.එකල මෙම මාධ්‍යයන්ට ආණ්ඩු හැසිරවීමේ යම් බලයක් තිබු බව කඩුල්ලට හදුනා ගැණිමට හැකිවු දෙයක් විය. මේ නිසාමදෝ 1970 දී බලයට පත් වූ සමඟි පෙරමුණු ආණ්‌ඩුව ලේක්හවුස් ආයාතනය රජයට පවරා ගත්තේය. ආම්බන් කිරීමට නොහැකිවු දවස අයාතනය වසන තැනට පත්කලේය. ගුවන් විදුලිය තම හොරණැව බවට පත් කර ගත්තේය.
ගුවන් විදුලියෙන් සහ ලේක්හවුස් ආයාතන ප්‍රවෘත්ති පත්‍ර වලින් සමගි පෙරමුනු ආණ්‌ඩුවේ පම්පෝරිය මිස අන් යමක් අසන්නටත් බලන්නටත් නොතිබු හෙයින් අප ගුවන් විදුලි යන්ත්‍ර වසා දමා ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර භාවිතයෙන් ඈත් කලේය. මේ හිදැස පුරවන්නට 1977න් පසු ඇතිවු එෆ්. එම්. නාලිකා අද වන විට ඉතා ජනප්‍රිය ය. එහෙත් මහත් කන්කරච්චලයක් බවටත් පත්ව ඇත. අප රජයේ ගුවන් විදුලියට සවන් දෙන්නේ අවමංගල දැන්වීම් දැන ගනු පිණිස පමණක් වී ඇත.
1977 බලයට පත්වු ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව රූපවාහිනිය මේ රටට හඳුන්වා දුන්නේය. එහෙත් ඡේ. ආර්. ජයවර්ධන මහතා වැඩිපුර මාධ්‍යය තම ප්‍රතිරූපය නංවාගන්නට පාවිච්චි කළේ නැත.ඔහුගේ දේශණද ඉතා කෙටිවු අතර “කොරන්න බැරි දෙයක් නොතිබු” එතුමා හට තම තිබු ප්‍රතිරූපය ඕනවටත් වඩා ප්‍රමානවත් විය. එකල ඊටත් හරියන්නට මාධ්‍ය පාවිච්චි කළේ අගමැති ප්‍රේමදාස මහතා ය. ඔහු ජනාධිපති වූ පසු තත්ත්වය තවත් බරපතළ වූ අතර ඔහුගේ මුහුණ හැම විටම රූපවාහිනිය මගින් දර්ශනය විය. ගුවන් විදුලියේ තොරතොංචියක් නැතිව ජනාධිපති ප්‍රේමදාස වර්ණනා කලේය. ජනාධිපති ප්‍රේමදාස මහතා නො කළේ ප්‍රවෘත්ති කීම සහ කාලගුණ වාර්තා කීම පමණක් බව එකල කතා බහට පත්වු යාන් හෑල්ලක් විය..
චන්ද්‍රිකා මැතිනිය බලයට පත් වූ පසු ප්‍රසිද්ධියේ දේශපාලන විරුද්ධවාදීන්ට බැණ වැදීමටත්, “ඇද කිරීමටත්” රූපවාහිනිය පාවිච්චි කළේය.
ඉන් පසු එන්නේ රාජපක්‍ෂ යුගය යි. යුද්ධය නිමවු පසු වර්තමානය වන විට රාජ්‍ය නාලිකාවලට රාජපක්‍ෂ සමාගමේ කොටස් කරුවන් ගේ ප්‍රවෘත්ති හැර වෙනත් කිසි ප්‍රවෘත්තියක් නැත. සිරසට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇදකුද සමග කුණු ගොඩවල් පෙන්වමින් රජය බිය ගැන්වීමේ ප්‍රවෘත්ති කලාවක් ඇත. ස්වර්නවාහිණියෙන් පෙන්වන්නේ ප්‍රවෘත්තිද නැත්නම් වෙනත් ප්‍රසාංගික නාට්‍යයක් ද ?. එෆ්. එම්. නාලිකාවල කියවන්නේ ප්‍රවෘත්තිද නැත්නම් මරණ දැන්වීම්ද යන්න කියා හිතා ගන්නත් බැරිය.
එදා සමාජ අධ්‍යයනය විෂයයට කරුණු සොයා ගන්න අනිවාර්යෙන්ම ප්‍රවෘත්ති ඇසු කඩුල්ලී අදවන විට හරයක් නැති පම්පෝරි අසා බලා ප්‍රයෝජනයක් නැතැයි කියා ප්‍රවෘත්ති වෙලාවට රූපවාහිණිය හෝ ගුවන් විදුලිය සොයා යන්නේ නැත.

